පසුගිය පස්‌ වසර තුළ රු. කෝටි 43 කට
අධික බිත්තර මෙරටට ආනයනය කරලා


ලසිත දුමින්ද සහ අකිත පෙරේරා

2007 සිට 2011 දක්‌වා වූ පසුගිය වසර පහ තුළ රුපියල් කෝටි 43 කට අධික වටිනාකමකින් යුත් බිත්තර ප්‍රමාණයක්‌ මෙරටට ආනයනය කර ඇතැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද ලේඛනයක දැක්‌වේ.

එලෙස එම වසර පහ තුළ ගෙන්වන ලද බිත්තර තොගයෙහි බර කිලෝග්‍රැම් දශලක්‌ෂ පනස්‌ පන්දහස්‌ හයසිය තුනක්‌ බව ද අදාළ සභාගත කරනු ලැබූ ලේඛනයෙහි සඳහන් කර තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්‌ෂාවෙන් අසනු ලැබූ ප්‍රශ්නයක්‌ සඳහා ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

රුපියල් 8,859,149 ක වටිනාකමකින් යුත් බිත්තර කිලෝග්‍රෑම් 457,067 ක්‌ 2011 දී ආනයනය කර ඇත. එම එක්‌ බිත්තරයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා එම වසරේදී වැය වූ පිරිවැය රුපියල් 08 - 24 ක්‌ වී තිබේ.

2009/2010 යන වර්ෂයන්හි මෙරට ගෘහස්‌ථ බිත්තර පරිභෝජනය බිත්තර 609,146,460 ක්‌ බව ද අදාළ පිළිතුරෙහි සඳහන් කර ඇත.

කිලෝග්‍රෑමයකට ආනයන තීරු බද්ද රුපියල් 100 ක්‌ ලෙස පනවා තිබුණද 2011 ජනවාරි මස 06 දින දක්‌වා එවකට පැවැති බිත්තර හිඟය නිසා එය ඉවත් කළ බව ද එම පිළිතුරෙහි සඳහන් කර තිබේ.

එසේ වුවද 05%ක වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්දක්‌ හා 02% ක ජාතික ගොඩනැගීමේ බද්දක්‌ ද අයකර ඇතැයි එහි දක්‌වා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.