සංජීව බණ්‌ඩාර අත්අඩංගුවට ගැනීම විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය මර්දනයට ගත් උත්සාහයක්‌

- කැෆේ සංවිධානය හා මානව හිමිකම් කේන්ද්‍රය කියයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය මර්දනය කිරීමට ගත් උත්සාහයක්‌ යෑයි කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කරමින් පවසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා සහ මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය විසින් නිකුත් කරනු ලැබ ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකින් පසුව බස්‌ රථයකින් ගමන් කරමින් සිටියදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ සභාපති සංජීව බණ්‌ඩාර අත්අඩංගුවට ගැනීම ශිෂ්ට සමාජයකට තරම් නොවන ක්‍රියාවකි. විරෝධය දැක්‌වීම සඳහා සෑම පුරවැසියකුටම ඇති අයිතියට අප ගරු කළ යුතුව තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලය සරසවි ආචාර්යවරුන්ගේ අරගලයට සහාය දක්‌වන කණ්‌ඩායමකි. එම කණ්‌ඩායම සතු පිරිස්‌ බලය හේතුවෙන් රජය කැළඹී සිටී. අද ගැටඹේදී පැවැත්වෙන උද්ඝෝෂණයත්, සැප්තැම්බර් 24 දින ගාල්ලේ සිට කොළඹ දක්‌වා පැවැත්වීමට සංවිධානය කොට ඇති පා ගමනත් වැළැක්‌වීමට රජය මේ වන විට උත්සාහ දරමින් සිටී. අ.වි.ශි.බ.මයේ සභාපති සංජීව බණ්‌ඩාර මහතා අත්අඩංගුවට ගැනීම මෙම රැස්‌වීම් සහ විරෝධතාවන් වැළැක්‌වීම සඳහා දරන උත්සාහයක්‌ වෙයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාව සහ එයට සහාය දක්‌වමින් ශිෂ්‍ය කණ්‌ඩායම් විසින් සිදුකරන විරෝධතාවන් මේ වන විට පුළුල් මහජන විරෝධයක්‌ බවට පත්වී තිබේ. එම විරෝධයට හේතු වී ඇත්තේ සමස්‌ත උසස්‌ අධ්‍යාපන ක්‍රියාවලියම අර්බුදයක්‌ බවට පත්වී තිබීමයි.

ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැතිවීම, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම, ශිෂ්‍ය සංගම් මර්දනය, උසස්‌ පෙළ විභාග අර්බුදය යනාදී වශයෙන් සමස්‌ත උසස්‌ අධ්‍යාපන ක්‍රියාවලිය අර්බුදයට ලක්‌වී තිබේ.

විශ්වවිද්‍යාල අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවට මේ වන විට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට මඩ ප්‍රහාර එල්ල කරමින් සිටී. සිසුන් මර්දනය කරමින් සිටින්නේ සාමකාමී විරෝධතාවකට ජනතාවට ඇති අයිතිය ද උල්ලංඝනය කරමිනි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදයට නිsසි විසඳුම් ඉදිරිපත් නොකර මර්දනය තුළින් ගැටලු විසඳිය නොහැකි බව කැෙµa සංවිධානයත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයත් දැඩිව අවධාරණය කරයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.