විවිධ තරාතිරම්වල බලපෑම් එල්ල වුණත්
අධිකරණ සේවා කොමිෂන් සභාව ගන්නා තීන්දු
කිසිවකට යටත් නොවී ක්‍රියාත්මක කරනවා

- අධිකරණ සේවා කොමිෂන් සභාව

සරත් ධර්මසේන

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් විවිධ තරාතිම්වල පුද්ගලයන්ගෙන් දෝෂාරෝපණ, බලපෑම්, බිය ගැන්වීම් එල්ල වන නමුත් ඒ කිසිවකට යටත් නොවී අධිකරණයේ ස්‌වාධීනත්වය රැකගැනීම අත්‍යන්ත වගකීමක්‌ හැටියට සලකා නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව කොමිෂන් සභාව අවධාරණය කරයි.

යමෙක්‌ අධිකරණ සේවා කොමිසමට හෝ සාමාජිකයකුට කිසියම් ආකාරයකින් බලපෑමක්‌ කිරීම හෝ තැත් කිරීම මහාධිකරණයක්‌ හමුවේ නඩු විභාගයක්‌ පැවැත්විය හැකි වරදක්‌ වන බවද කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දී ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිවේදනය ඊයේ නිකුත් කරනු ලැබුවේ එහි ලේකම් මංජුල තිලකරත්න මහතා විසිනි.

එහි මෙසේද සඳහන් වේ.

මේ දිනවල මාධ්‍ය මගින් අධිකරණ සේවා කොමිෂන් සභාව සහ සමස්‌තයක්‌ ලෙස මෙරට අධිකරණය ඉලක්‌ක කරගනිමින් සිදු කරන පදනම් විරහිත විවේචන සහ දෝෂාරෝපණ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු වී ඇත. මේ අයුරින් අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණය හෑල්ලුවට ලක්‌ කිරීම සඳහා ක්‍රියා කරන කුමන්ත්‍රණකාරී බලවේගයන්ගේ මූලික අරමුණ වී ඇත්තේ මෙරට අධිකරණයේ ස්‌වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය විනාශ කර දැමීම මගින් ඔවුන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහාය.

මේ වන විට අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් විවිධ බලපෑම් සහ තර්ජන එල්ල වෙමින් පවතින බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. සේවා අවශ්‍යතා මත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගත් තීරණවලදී එකී තීරණ සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත විවිධ බලපෑම් එල්ල කිරීමට උත්සාහ දරා ඇත. මෑතකදී එක්‌තරා විනිසුරුවරයකුට එරෙහිව කොමිෂන් සභාව විසින් විනයානුකූල පියවරක්‌ ගත් අවස්‌ථාවේදීද එකී තීරණය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත විවිධ ආකාරයේ බලපෑම් එල්ල විය. තවද අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිනිය වන අගවිනිසුරුතුමිය සහ අනෙකුත් සාමාජිකයන් වන ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා දෙදෙනා සාකච්ඡාවකට කැඳවීමට දරන ලද උත්සාහයක්‌ද කොමිෂන් සභාවේ සහ අධිකරණයේ ස්‌වාධීනත්වය රැකගැනීමේ වටිනාකම අදාළ ආයතනවලට අවබෝධ කරදීමෙන් පසුව අසාර්ථක විය. මේ පිළිබඳ ලිත සාක්‌ෂි අධිකරණ සේවා කොමිෂන් සභාව සතුව ඇත.

මහෙස්‌ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් පත්කිරීමේ, උසස්‌ කිරීමේ, ස්‌ථාන මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ සහ ඔවුන් විෂයෙහි විනය පාලනය ක්‍රියාවේ යෙදවීමේ පූර්ණ බලය සහිත උත්තරීතර ආයතනය වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.