සෑම ආගමකටම ගරු කිරීම
බුදුරජාණන් වහන්සේගේ පණිවුඩයයි

- ඉන්දියාවේ සාංචි නුවරදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියයි

සෑම ආගමකටම ගරු කිරීම ශේ්‍රෂ්ඨ ශාස්‌තෘන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පණිවුඩය වූ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බැව් පැවසූවේ ඊයේ (21 වැනිදා) සාංචි බෞද්ධ සහ භාරතීය අධ්‍යයන විශ්ව විද්‍යාලයට මුල්ගල තැබීමේ උළෙලට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

මෙම සාංචි පූජනීය ප්‍රදේශයේ සිටයි මෙයට වසර 2300 කට පෙර ශ්‍රේෂ්ඨ අශෝක අධිරාජයා විසින් සිය පුත්‍රයා සහ දියණිය මහින්ද රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය මගේ රටට එවූයේ. ඔවුන් සාමයෙන් සහ මිත්‍රත්වයෙන් මගේ රටට සැපත් වූවා. ශ්‍රේෂ්ඨ ශාස්‌තෘන් වහන්සේ වන ගෞතම බුදුන්ගේ පණිවුඩය එනම් දයාවේ, අවිහිංසාවේ, උපේක්‍ෂාවේ, ඉවසීමේ සහ අවබෝධයේ පණිවුඩය රැගෙනයි ඔවුන් මගේ රටට සැපත් වූයේ.

ජනාධිපතිතුමන් සාංචි බුද්ධ මන්දිරයට ගොස්‌ සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමෙන් පසු එම ධාතූන් වහන්සේලා බානගල උපතිස්‌ස නාහිමියන් විසින් ජනාධිපතිතුමන්ට පෙන්වන අයුරු.

ශ්‍රී ලංකාවේ විසූ මගේ මුතුන් මිත්තන් සුවිශේෂ ගෞරවාදරයකින් යුතුව ඔවුන් පිළිගනු ලැබුවා. ගෞතම බුදුන් බුද්ධත්වයට සපැමිණීමේදී පිටදුන් බෝධි වෘක්‌ෂයේ අංකුරයක්‌ බුද්ධ ගයාවෙන් රැගෙන ආවා. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමේ 2600 වන ජයන්තිය අප මේ වසරේදී සමරනවා. මෙම පූජනීය වෘක්‌ෂය ලෝක ඉතිහාසයේ වාර්තාගත පැරණිම වෘක්‌ෂය ලෙස පිළිගෙන තිබෙනවා. ක්‍රිස්‌තු පූර්ව 03 ශත වර්ෂයේ සිට එය අද වනතුරු ශ්‍රී ලාංකිකයන්ගේ වන්දනාමානයට ලක්‌වෙමින් මගේ රටේ අනුරාධපුරයෙහි පවතිනවා. සාංචි ප්‍රදේශයට පැමිණෙන්නන්හට වන්දනාමාන කරනු පිණිස රෝපණය කිරීමට එම වෘක්‌ෂයෙහිම අංකුරයක්‌ අද මා විසින් මෙහි ගෙන ආවා.

බුද්ධත්වයට සපැමිණ දෙවන සතියේදී ගෞතම බුදුන් සංසාරයෙන් එතරවීමට තමාට සෙවණ දුන් වෘක්‌ෂයට කෘතවේදීත්වය පල කිරීම සඳහා සතියක්‌ බෝරුක ඉදිරිපිට අනිමිස ලෝචනයෙහි යෙදී සිටියා. සොබා දහම කෙරෙහි අප රට බෞද්ධයන්ගේ කෘතවේදීත්වයෙහි මූලාරම්භය ගෞතම බුදුන්ගේ එම ක්‍රියාව දක්‌වා විහිදී තිබෙනවා. වර්තමානයේ දී අවශ්‍යතාවන් වන පාරිසරික සංරක්‍ෂණය සහ තිරසාර සංවර්ධනය සාක්‌ෂාත් කර ගැනීමෙහිලා ඉන් අපට ආදර්ශයක්‌ ගත හැකියි.

අද සාංචිය වෙත මගේ සංචාරය මූලික වශයෙන් මගේ රටවැසියන් වෙනුවෙන් සිදු කරන කෘතවේදී ක්‍රියාවක්‌. පූජනීය සාංචි වෙහෙරට ගෞරවාදරය පුද කිරීමටත් මෙම ප්‍රදේශයේ අභිමානවත් අතීතයට ආචාර කිරීමටත් මා මෙහි පැමිණියේ වන්දනාකරුවකු ලෙසයි.

මෙම පූජනීය භූමියට පැමිණීමටත් බෞද්ධ සහ භාරතීය අධ්‍යයන පිළිබඳ සාංචි විශ්වවිද්‍යාලයේ මුල්ගල තැබීමේ උත්සවයට සහභාගිවීමටත් මට ආරාධනා කිරීම ගැන මගේ ස්‌තුතිය ඔබට පුද කරනවා. මෙම ආරාධනය මට කරන ලද ගෞරවයක්‌ පමණක්‌ නොව සාංචියේ සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සම්බන්ධතාව අගය කරන මගේ රට වැසියාට ද කරන ගෞරවයක්‌ ලෙස මා සලකනවා.

අප සැවොම දන්නා පරිදි වසරකට 150,000 පමණ ශ්‍රී ලාංකිකයන් මෙම පූජනීය භූමිය වෙත පැමිණෙනවා. එම වන්දනා ගමනේදී ඉන්දියාවේ අතිශය ශාන්ත ප්‍රදේශයක්‌ වශයෙන් හැඳින් විය හැකි ඔබගේ ප්‍රාන්ත ආණ්‌ඩුවේ සහ මධ්‍ය ප්‍රදේශ ජනතාවගේත් සුහද සත්කාරය ඔවුන් විඳිනවා.

අශෝක අධිරාජයා ගෞතම බුදුන්ගේ ධර්මයෙහි ගැබ් වූ ඉවසීම හා අවබෝධය අනුගමනය කරමින් තම අධිරාජ්‍යයේ සෙසු සියලු ආගම්වලට ගෞරව සහ ආධාර කළා. කෙනෙකු තම ආගමට ගරු කළ යුතු අතර අන් ආගම් හෙලා නොදැකිය යුතු බවද අන්‍යයන්ගේ විශ්වාසයන්ට ගරු කළ යුතු බවද ඔහු පැවසුවා.

ජන සමාජයට සුවිශාල හානි සිදු කරමින් වෙනත් ආගම්වලට එරෙහිව ප්‍රචණ්‌ඩ හා විනාශකාරී ක්‍රියාවල ෙ€දජනක ප්‍රතිඵල හමුවේ මෙම ඉවසීමේ සහ යථා අවබෝධයේ පණිවුඩය වර්තමානයට අතිශයින්ම අදාළ බව කිව යුතුයි. මෙම ඉවසිSමේ පණිවුඩය පෙරදිග හා අපරදිග රටවලට එකසේ වැදගත්.

ඉන්දීය නිදහස්‌ අරගලයට අධ්‍යාත්මික ශක්‌තිය ලබා දුන් නූතන ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතමයා වන මහත්මා ගාන්ධිතුමා අපේ කලාපයේ හරයාත්මක සාරධර්ම ලෙස අදත් පවතින අවිහිංසාව සාමය කරුණාව වැනි ශ්‍රේෂ්ඨ සාර්ධර්මවලින් ආභාෂය ලැබූ බව අපි සිහිපත් කරමු.

භෞතිකවාදී ප්‍රගතියේ සිර වී සිටින වර්තමාන ලෝකයෙහිත් අපගේම රටවලත් මෙම පණිවුඩය තව තවත් ගැඹුරින් පතුරුවාලීම අපගේ යුතුකම බව මා විශ්වාස කරනවා.

ඉන්දියාවේ සහ වෙනත් රටවලද බෞද්ධ සහ භාරතීය චින්තනයේ සාරධර්මවල සහ භාවිතයන්ගේ පුනර්ජීවනයට තම දායකත්වය සැපයූ මෙම කලාපයේ අනෙකුත් ශ්‍රේෂ්ඨ දූ පුතුන්ට මෙම අවස්‌ථාවේ දී මා ප්‍රණාමය පුද කරනවා. සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික බෞද්ධයකු වූ අනගාරික ධර්මපාලතුමා ඉපැරණි බෞද්ධ සිද්ධස්‌ථාන පුනරුත්ථාපනය කිරීමට ඉන්දියාවෙහි ජීවිත කාලයක්‌ම ගත කළා. ලබන වසර 2013 ධර්මපාලතුමා විසින් චිකාගෝ නුවර පැවැති ලෝක ආගම් සමුළුවේදී බුද්ධාගම පිළිබඳ සුවිශේෂ දේශනය පැවැත්වීමේ 120 සංවත්සරය අපි සමරමු. එහිදී ධර්මය ගැන ව්‍යක්‌ත දේශනයක්‌ ස්‌වාමි විවේකානන්ද විසින් ද පවත්වනු ලැබුවා.

බුදුන්ගේ දේශය වන මෙහි බෞද්ධ චින්තනයේ පුනර්ජීවනයට සුවිශේෂ මෙහෙයක්‌ ඉටු කළ ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර්ගේ නාමය අපි ගෙරවයෙන් යුතුව සිහිපත් කළ යුත්තේ ඉන්දියාවේ නූතන පාලන ක්‍රමයට බෞද්ධ සහ භාරතීය සාරධර්ම ඇතුළත් කිරීමෙහිලා ඔහු ගත් උත්සාහය නිසාය.

තක්‌ෂිලා, නාලන්දා, වල්ලභී සහ වික්‍රමශීලා වැනි සම්භාව්‍ය ඉන්දීය විශ්වවිද්‍යාලවල සම්ප්‍රදාය අනුගමනය කරමින් උසස්‌ අධ්‍යාපනයේ සුවිශේෂ මාවතක්‌ මෙම විශ්ව විද්‍යාලය ද පාදා ගනු ඇත. බෞද්ධ දර්ශනය එහි විවිධ පැතිකඩ සමග අධ්‍යයනය, පර්යේෂණ සහ දැනුම පතුරුවාලීමෙහි නව විශ්ව විද්‍යාලය යෙදෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

භූතානය සහ ශ්‍රී ලංකාව යන දකුණු ආසියා රටවල් දෙකක රාජ්‍ය නායකයන් මෙම සුබ අවස්‌ථාවට පැමිණ සිටින්නේ අහම්බයකින් නොවේ. අප දෙරටම බෞද්ධ දර්ශනයේ උදාව සමග විහිදුනු ශිෂ්ඨාචාරයේ දීප්තියෙන් ආලෝකය ලැබුවා. මෙම අවස්‌ථාවේ ප්‍රීතිය බෙදාහදා ගැනීමට අපේ සහෝදර රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ගරු ජිග්මේ තිල්ලෙ මැතිතුමාද මා සමග සිටීම ගැන මා මහත් සන්තෝසයට පත්වෙනවා.

යටත් විජිත යුගයේ දායාදයක්‌ වන වර්තමානයේ සම්ප්‍රදායක අධ්‍යාපනය මිනිස්‌ සිතෙහි සංවර්ධනය සීමා කරන අතර සිත සහ ජීවිතයට අදාල කරුණු අතර සම්බන්ධතාවය නොසලකා හරින බව එහි වැඩි අවධානය ඇත්තේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සහ අභිමථාර්ථ සාක්‌ෂාත් කර ගැනීමට වන අතර එය උග්‍ර තරගයකටද නාස්‌තිකාර පරිභෝජනයකටද මං පාදා තිබෙනවා.

පුද්ගලයන් සැබෑ හා වටිනා හරයන් වෙත ළඟාකරවීමට එය අසමත්වී තිබෙනවා. පූර්ණ පුද්ගලයකු නිර්මාණය කිරීමට සහ සමස්‌තයක්‌ වශයෙන් ජීවිතය හසුරුවා ගැනීමට සමත් පුද්ගලයන් බිහි කිරීමට එම අධ්‍යාපනය අසමත්වී තිබෙනවා.

පූර්ණ අධ්‍යාපනයක්‌ තුළ ආත්මීය අවධිය සහ ප්‍රඥව සහ ආත්මාවබෝධය සාක්‌ෂාත් කර ගැනීම අපගේ දීර්ඝ කාලීන සම්ප්‍රදායයි. අර්ථවත් ජිවිතයකට අවශ්‍ය නිපුණතා පෝෂණය කරා මිනිස්‌ සංහතියේ යහපතට තම ජීවිතය සාක්‌ෂාත් කර ගැනීමට අධ්‍යාපනය උපකාර කළ යුතුයි.

පැරණි ඉගැන්වීම ස්‌වයං විමර්ශනය සහ සාම්ප්‍රදායික දැනුම මත පදනම් වුණු බෞද්ධ සහ භාරතීය අධ්‍යාපනයන් මෙම විශ්වවිද්‍යාලය විසින් පුනර්ජීවනය කරනු ඇත. වානිජකරණය, නාගරිකකරණය, වනාන්තර විනාශය සහ උග්‍ර තරගකාරිත්වය නිසා ව්‍යසනයට පත් අප කලාපය තුළ අත්‍යවශ්‍ය කාර්යභාරයක්‌ මෙම සරසවිය විසින් ඉටු කරනු ලබනවා ඇති. සමාජ වගකීම් පිළිබඳ සාම්ප්‍රදායික සංකල්පවලට පුනර්ජීවයක්‌ දීමට මාර්ග සොයා යනු ඇතැයි අපි විශ්වාස කරමු.

පැරණි යුගයේ පැවති ප්‍රඥව සොයා යැමේ අවශ්‍යතාවය නිසැකවම මතුව ඇත. මානව හිමිකම් හා නන්වැදැරුම් මූලික නිදහස වෙත මං පෑදු බෞද්ධ සහ භාරතීය හර පද්ධතීන් පුනර්ජීවනයට අවශ්‍යව ඇත.

මෙම සන්දර්භය තුළ

අසහනශීලිත්වය සහ වෛරය

බෙදුම්වාදය සහ වාර්ගීය අගතිගාමිත්වය

ත්‍රස්‌තවාදය සහ ප්‍රචණ්‌ඩත්වය

සමාජ අසමානතාවය සහ පිටු දැකීම

එරෙහිව අප සිදු කරන අරගලයේදී බෞද්ධ සහ භාරතීය අධ්‍යාපනය පිළිබඳ විශ්වවිද්‍යාලය ඉටු කරන කාර්යභාරයෙන් මතුවන ප්‍රඥව ආලෝක ධාරාවක්‌ වනු ඇත යනු අපි බලාපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකාවේ අපි ඉන්දියාව සහ එහි ජනතාව මිතුරන් ලෙස සැමදාම සැලකූ බව මෙහිදී සිහිපත් කරමි. අතීතයේදී මෙන්ම අදත් අප රටේ ජනතාව විසින් ඉන්දියාව හඳුන්වනු ලබන්නේ දඹදිව සහ ජම්බුද්වීපය වශයෙන් බව කිව යුතුයි. අප රටේ බෞද්ධයන් තවමත් දඹදිව වන්දනාවේ යනවා. ඉන්දියාව මිත්‍රත්වයෙන් සහ ඓතිහාසික බැඳීම්වලින් පිරි එකම රටක්‌ ලෙස අප තුළ ඇති දෘෂ්ඨිය සන්ධීය රාජ්‍යයක්‌ තුළ පවතින ප්‍රාන්ත ආණ්‌ඩු නිසා වෙනස්‌ වී නැත. අපේ සම්ප්‍රදායික අධ්‍යාපනය පැරණි ඉන්දීය සහ භාරතීය සාම්ප්‍රදායන්ට බෙහෙවින්ම ණයගැතියි. සමස්‌ත ඉන්දියාවම මිත්‍රත්වයෙන් වැළඳ ගැනීම අප දෙරට අතර සම්බන්ධතා ශක්‌තිමත් කෙරෙන අඛන්ඩ ක්‍රියාමාර්ගයක්‌ ලෙස මා හඳුන්වනවා.

මෙම විශ්වවිද්‍යාලයේ සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයද ජනතාවද ඇප කැප වන බවද ඒ සඳහා අඛණ්‌ඩව දායක වන බවද මා ප්‍රතිඥ දීමට කැමැත්තෙමි. මෙම විශ්වවිද්‍යාලය දිනෙන් දින ශක්‌තිමත් වන බව මගේ විශ්වාසයයි. එමෙන්aම මෙම විශ්වවිද්‍යාලයේ බිහිවන ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයම අද දින සවස අප නිවාරණය කළ කුළුණෙහි සඳහන් බුදුන් වහන්සේගේ වදන් වෙතින් ප්‍රබෝධයක්‌ ලබන බවට මට විශ්වාසයයි.

zzයහගුණ සහ ප්‍රඥවෙන් පිරි පුද්ගලයා දැවෙන ගින්නක්‌ මෙන් බබලනු ඇත.ZZ

ඔබ සැමට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට පතමි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.