යකඩ කැබැල්ලක්‌ රැගෙන අධිබල විදුලි රැහැනකට නැගි
බණ්‌ඩාරගම පුද්ගලයෙක්‌ එළොව ගිහින් මෙලොව එයි

ජීවිතය බේරුණේ පොලිසිය
ක්‍ෂණිකව ක්‍රියාත්මකවීම නිසයි

- බණ්‌ඩාරගම විදුලි අධිකාරි

බණ්‌ඩාරගම - බී. එස්‌. ජයසිංහ

 

විදුලි කුලුන මත සිටි පුද්ගලයා පටි ආධාරයෙන්
බැස්‌සවීමට විදුලි බල මණ්‌ඩලයේ කාර්මිකයන්
උත්සාහ දරන අයුරු........


 

බණ්‌ඩාරගම මිල්ලගස්‌හන්දියේ ගල් කොරියක සේවකයකු අඩි සියයක්‌ පමණ උසැති අධි බලැති විදුලි කුලුනකට නැග සිටියදී බණ්‌ඩාරගම පොලිsසිය ක්‍ෂණිකව මැදිහත්වීමෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සමත්විය.

බරපතළ ලෙස පිළිස්‌සුම් තුවාල ලබා සිටි සේවකයා ප්‍රතිකාර සඳහා බණ්‌ඩාරගම රෝහලට ඇතුළත් කර ඇත.

අධි බලැති විදුලි කුලුනක පුද්ගලයකු නැග සිටින බවට බණ්‌ඩාරගම පොලිසියට ලද දුරකථන ඇමතුමක්‌ අනුව වහා ක්‍රියාත්මකවූ බණ්‌ඩාරගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක චාල්ස්‌ වික්‍රමසිංහ මහතා සැනෙකින් විදුලි බල මණ්‌ඩලයට දුරකථන ඇමතුමක්‌ දී විදුලිය විසින්ධි කිරීමට පියවර ගැනීමෙන් ඔහුගේ ජීවිතය බේරි තිබේ.

විදුලි කුලුන මත නැග සිටි සේවකයා ගෙන් බණ්‌ඩාරගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක චාල්ස්‌ වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරමින්.....

එසැනින් එම ස්‌ථානයට ගිය බණ්‌ඩාරගම පොලිසියේ නිලධාරීන් විදුලි බල මණ්‌ඩලයේ නිලධාරීන් හා එක්‌ව කුලුන මත නැග සිටි සේවකයා පටි ආධාරයෙන් බිටම ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

ගල්කොරියේ අයිතිකරු පොලිසියට දුරකථන ඇමතුම ලබාදෙන අතරතුරදී කුලුන මත සිටි සේවකයා සඟවා ගෙන සිටි යකඩ කැබැල්ලකින් විදුලි රැහැනකට ගැසීමෙන් ඇති වූ විදුලි කාන්දුවකින් එසේ පිළිස්‌සුම් තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.

මේ පිළිබඳ බණ්‌ඩාරගම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ විදුලි අධිකාරි ඩබ්ලිව්. එන්. බී. වීරසිංහ මහතාගෙන් මේ පිළිබඳ විමසීමේදී මෙසේ පැවැසීය.

මෙම පුද්ගලයා එලොව ගිහින් මෙලොව ආවා කීවොත් වඩාත් නිවැරදියි. යකඩ කැබැල්ලක්‌ අත දරා මරණය සොයා ගිය ගමනක්‌.

මොහු විදුලිය විසන්ධි කරනවාත් සමග විදුලි රැහැනට යකඩ කැබෙල්ලෙන් පහරදී ඇති බව විශ්වාස කරනවා. එසේ නොවන්නට මොහුගේ ජීවිතය ගැන කෙසේවත් විශ්වාසයක්‌ තැබිය නොහැකියි.

මොහුගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුමේ ගෞරවය බණ්‌ඩාරගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රමුඛ නිලධාරීන්ට හිමිවිය යුතුයි.

පතන, කැලේවත්ත, කැලේවත්ත වතුයායේ පදිංචි වයස අවුරුදු 39 ක්‌ වන මෙම පුද්ගලයා විදුලි කුලුනට නැගීමට හේතුව ඊයේ (21 දා) සවස්‌ වන විටත් අනාවරණය වී නොතිබිණි.

පානදුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි එච්. එම්. ධර්මසේන, සහකාර පොලිස්‌ අධිකාරි රංජිත් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බණ්‌ඩාරගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක චාල්ස්‌ වික්‍රමසිංහ මහතා පරීක්‌ෂණ පවත්වයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.