දකුණු ඉන්දීය අන්තවාදී සුළු පිරිසක්‌ ශ්‍රී ලංකාව
හා ඉන්දියාව අතර මිත්‍රත්වය පලුදු කිරීමට හදනවා

- නි. ඇමැති නියෝමාල් පෙරේරා

අපේ බැතිමතුන්ට නිදහසේ ඉන්දියාවේ
සංචාරය කිරීමට අවස්‌ථාව උදාකරන්න

- කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී දයාසිරි ජයසේකර

ලසිත දුමින්ද සහ අකිත පෙරේරා

එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාවෙන් අරමුදල් ලබන දකුණු ඉන්දීය අන්තවාදී සුළු පිරිසක්‌ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පලුදු කිරීමට උත්සාහ දරන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 වැනිදා) පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ගෙන ආ කල් තැබීමේ විවාදයේ පිළිතුරු කතාව සිදුකරමින් ඒ මහතා මේ බව කීය.

ශ්‍රී ලාංකිකයන්ට දකුණු ඉන්දියාවේදී එල්ලවන බලපෑම් පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය ගෙන එමින් කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජාප)-

ඉන්දියාවේ වන්දනාවේ යෙදෙන මෙරට බැතිමතුන්ට තමිල්නාඩුවේදී හිරිහැර එල්ල වෙනවා. මේ ප්‍රශ්නයට රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමින් විසඳුමක්‌ ලබා දිය යුතුයි. ඉන්දියාවේ අන්තවාදී සංවිධාන බැතිමතුන්ට පමණක්‌ නෙමෙයි සාමාන්‍ය ජනතාවටත් හිරිහැර කරනවා. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක්‌ බුදුදහම නිසා සමීප සබඳතාවක්‌ තිබුණා. අද කනගාටුවෙන් කියනවා ඒ සබඳතා ගිලිහී ගිහින්. මේ ප්‍රශ්නයට මැදිහත් වූ නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතාට ස්‌තුති කරනවා. මේ වෙලාවේ තමිල්නාඩුවේ තත්ත්වය භයානකයි. ජයලලිතා, වයිකෝ, කරුණානිධි විවිධ ජාතිවාදී සටන් පාඨ කියමින් ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරනවා.

කොටි කොඩි ඔසවාගෙන ශ්‍රී ලාංකිකයන්ට පහර දෙනවා. තමිල්නාඩුවට ඕන විදිහට වැඩ නොකළ යුතුයි. අපි කිව්වා යුද්ධය අවසන් වූ වහාම දේශපාලන විසඳුමක්‌ දිය යුතුයි කියලා. රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමින් කියූ බොරුවල ප්‍රතිඵල තමයි අපි අත්විඳින්නේ. ජනපති ඉන්දියාවේ විශ්වවිද්‍යාල විවෘත කරනවා. ලංකාවේ විශ්වවිද්‍යාල වසා දමලා. මෙයට මැදිහත් විය යුතුයි. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න දඩමීමා කරගෙන ද්‍රවිඩ ජනතාව නැටවීම වහාම නතර කළ යුතුයි. රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමින් මේ අර්බුදය විසඳිය යුතුයි. අපේ බැතිමතුන්ට නිදහසේ ඉන්දියාවේ සංචාරය කිරීමට අවස්‌ථාව උදාකර දෙන්න.

මහනුවර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා (එජාප) -

ඉන්දීය රජයේ සහාය නිසා යුද්ධය අවසන් කරන්න හැකිවුණා. ඉන්පසු දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක්‌ දෙනවා කියලා පොරොන්දු වුණා. අද ඉන්දියාව අහනවා දේශපාලන විසඳුම කෝ කියලා.

13 වැනි සංශෝධනය දෙනවා කිව්වේ අපිද? රජය ජයලලිතාව එල්. ටී, ටී. ඊ. ය ගොඩට ඇද දැමුවා. සන්ධානයේ වගකීමක්‌ නැති ප්‍රකාශ නිසා මුළු දකුණු ඉන්දියාවම ගිනි අරන්. අද ප්‍රාන්ත තමයි බලවත්. ඉන්දියාව සමඟ තිබෙන විදේශ ප්‍රතිපත්තිය අනාගෙන. මුළු දකුණු ඉන්දියාව එල්. ටී. ටී. ඊ. ගොඩට දමලා. දේශපාලන විසඳුම වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. උගත් පාඩම් කොමිසමෙන් කියලා තිබුණා දේශපාලන විසඳුම දිය යුතු බවට. දේශපාලන විසඳුම දුන්නොත් සන්ධානය දෙදරනවා.

ඉන්දියාව සමඟÊසාකච්ඡා කරන්න අපි සහාය දෙනවා. ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂය සුළුතරයක්‌ වෙලා. දැන් තමයි දේශපාලන විසඳුමක්‌ දිය යුතු හොඳම කාලය බීඡේපී බලයට පත්වුණොත් තත්ත්වය තවත් භයානක වෙනවා. ඉන්දියාව සමඟ හිත හොඳ වර්ධනය කරගත යුතුයි.

ආගමික හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා-

ජනපතිට විදේශයකදි විරෝධතා එල්ල වෙනවා නම් අපි ඊට එරෙහි විය යුතුයි. නමුත් ඒ දෙයිනුත් විපක්‍ෂය සතුටු වෙනවා. අපි වන්දනාකරුවන්ට කියලා තියෙනවා ඉන්දියාවේ සංචාරය කරනවා නම් දකුණු ඉන්දියාව හරහා නොයන ලෙසට. ඉන්දියාවේ කොටි සමඟ එකතුවෙලා තමයි රජීව් ගාන්ධි ඝාතනය කළේ. ඉන්දියාව ඒක හොඳින් දන්නවා. ත්‍රස්‌තවාදයට එරෙහිව අපි සටන් කරනවා.

වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සෙල්වම් අඩෛක්‌කලනාදන් මහතා (ද්‍රජාසං)

ජනවාර්ගික ප්‍රශ්නය විසඳන තෙක්‌ මෙවැනි ගැටුම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. දෙමළ ජාතික සන්ධානය සමඟ මේ සඳහා සාකච්ඡා කළ යුතුයි. තමිල්නාඩුවට දොස්‌ කියලා වැඩක්‌ නැහැ. මුළා කිරීම් වෙනවා නම් තත්ත්වය තවත් බරපතළ වේවි. මේ වනවිට 6 ක්‌ ගිනි තබාගෙන තිබෙනවා.

අපිට අයිති භූමිය තවමත් ආරක්‌ෂක අංශ සීමාවක්‌ බවට නම් කරලා. අතුරුදන්වීම් තවමත් තියෙනවා. අපේ ජනතාව මර්දනය කිරීමේ චින්තනයෙන් කටයුතු නොකළ යුතුයි. දෙමළ ජනතාවගේ හදගැස්‌ම හඳුනාගත යුතුයි.

විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතා- අන්තවාදී සංවිධානයන් මේවා මෙහෙයවන්නේ. ඉන්දීය මධ්‍යම රජයත් සහ අපත් එය දකිනවා. ප්‍රබල ඉන්දියාව ත්‍රස්‌තවාදය නැති කරන්න ලබා දුන් සහායට ස්‌තුතිවන්ත වෙනවා. වඩමාරච්චි මෙහෙයුම නතර වුණේ දකුණු ඉන්දියාව නිසයි. එදාම යුද්ධය අවසන් කරන්න තිබුණා. එසේ වුණා නම් මෙවැනි ජීවිත හා දේපළ හානියක්‌ වෙන්නේ නැහැ. දකුණු ඉන්දියාවට යන බැතිමතුන් අතකොළුවක්‌ බවට කොටි හිතවාදීන් පත්කරගෙන. විපක්‍ෂය උරදෙනවා දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා බිඳ දමන්න.

නිදහස අගය කළ ජනතාවට එල්ල කළ ප්‍රහාරයක්‌ ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. කරුණානිධි මෙම ප්‍රහාර අනුමත කළේ නැහැ. තමිල්නාඩුවේ එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාව මෙවැනි ප්‍රහාර සංවිධානය කළේ. අප ඉන්දියාව සමඟ දීර්ඝකාලීනව සබඳතා පවත්වනවා. මෙම ප්‍රහාර හමුවේ ඉන්දියාවත් අසරණ වුණා. චෙන්නායි සංචාරය කරනවා නම් මේ පිළිබඳව ලබාදුන් උපදෙස්‌ පිළිපැදිය යුතුයි.

ඉන්දියානු රජය ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‌ෂාව තහවුරු කොට තිබනෙවා. විදේශ දෙමළ ඩයස්‌පෝරාවේ අරමුදල්වලින් ඉතා සුළු පිරිසක්‌ මෙවැනි දේවල් කරන්නේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සබඳතා බිඳ දැමීමට ඔවුන් උත්සාහ කරනවා. විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ඉන්දීය රජයට අප ස්‌තුතිය පළ කරනවා මෙන්ම පිටුපස ඉන්නේ කවුරුද කියලා අප දන්නවා.
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.