තලවාකැලේ උමං මාර්ගය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌

පැවැත්වීමට පුරාවිද්‍යා නිලධාරින් පිරිසක්‌ යවනවා
පුරාවිද්‍යා කොමසාරිස්‌ ලිඳුල නගර සභාපතිට දන්වයි

මස්‌කෙළිය ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්‌කරණය සඳහා බැකෝ යන්ත්‍ර යොදා මාර්ගය පළල් කිරීමේදී පසුගියදා සොයාගනු ලැබූ උමං මාර්ගය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ලබන සඳුදා (24 දා) කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිට නිලධාරින් පිරිසක්‌ උමං මාර්ගය පිහිටි තලවාකැලේ "බෙයාවිල්" ප්‍රදේශයට එවීමට කටයුතු කරන බවට පුරා විද්‍යා කොමසාරිස්‌ ආචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් තමා වෙත දුරකථනයෙන් දැනුම්දුන් බව තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවැසීය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නිලධාරීන් පිරිසක්‌ පෙරේදා (20 දා) උමග පිහිටි ස්‌ථානයට පැමිණ කළ පරීක්‍ෂණයෙන් අනතුරුව ඒ පිළිබඳ වාර්තාවක්‌ පුරා විද්‍යා කොමසාරිස්‌ ජනරාල් වරයාට ලබා දී ඇත. පෙරේදා දහවල් මෙම උමං මාර්ගය පරීක්‍ෂා කිරීමට මධ්‍ය පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි හා තලවාකැලේ ලිඳුල නගර සභාපති අශෝක සේපාල යන මහත්වරුන් එම ස්‌ථානයට පැමිණියහ. අඩි 10 ක්‌ පළලින් හා අඩි 06 ක්‌ පමණ උසින් යුත් මෙම උමග නැරඹීම සඳහා පෙරේදා දිනද එම ස්‌ථානයට විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්‍ෂණ අවසන්වන තෙක්‌ මෙම උමගේ පිවිසුම් ස්‌ථානය විශාල ගල් යොදා ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ලිඳුල පොලිසියේ සහයෝගය මත පොලිස්‌ ආරක්‍ෂාව සැපයීමට පියවර ගත් බව අශෝක සේපාල නගර සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.