"කාසෙ" කියලමද තවම හිතාගෙන ඉන්නෙ

ඇත්තටම ඒ දවස්‌වල කාසේ, නැතිනම් ක්‍ෂය රෝගය ගැන මිනිස්‌සු බැලුවේ පුදුම පිළිකුළකින්. බයකින් ඒ දවස්‌වල පරම්පරාවේ ''කාසේ'' හැදිච්ච කෙනෙක්‌ ඉන්නවානම් ඒ පවුලෙන් ''හිරයක්‌ ගන්නෙත් නෑ'' කාසේ හත්මුතු පරම්පරාවක තිබුණ කියල ආරංචි වුණොත් ඒ පරම්පරාවේ අයට දීගයක්‌ දෙන්නේ නැතිලු.

ඒ කාලේ අය හිතුවේ ''කාසේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන ලෙඩක්‌ කියලලු. (ඒත් දැන් අපි දන්නවනේ මයිකො බැක්‌ටීරියම් ටියුබකියුලෝසිස්‌ කියන බැක්‌ටීරියාව නිසයි ක්‍ෂය රෝගය හැදෙන්නේ කියලා.

මේ බැක්‌ටීරියාවෙන් ආසාදනය වෙච්ච කෙනෙක්‌ ඒ කියන්නේ රෝගියෙක්‌ කහින, කිවිසුම් යවන වගේ වෙලාවට පිටවෙන පුංචි පුංචිම කෙළ බිඳිති එක්‌කයි මේ විෂබීජ අපි හුස්‌ම ගන්න වාතයට එකතු වෙන්නේ. මේ විෂබීජ එක්‌ක හුස්‌ම ගත්තාම ආසාදනය වෙනවා. ඒත් ඉතිං විෂබීජ ඇඟට ඇතුළු වුණ පලියටම හැම කෙනාටම ලෙඩේ හැදෙන්නේ නැහැ (සිය දෙනෙකුට විෂ බීජ ශරීර ගත වුණොත් ඒකෙන් දහ දෙනෙකුටම විතර ක්‍ෂය රෝගය හැදෙන්න පුළුවන්.)

ක්‍ෂය රෝගය වැඩියෙන්ම වද දෙන්නේ පෙනහළු වලට. ඒත් ඉතින් අස්‌ථි පද්ධතියට, මොළය වගේ තැන් වලටත් මේ ලෙඩේ පැතිරෙන්න පුළුවන්. (80% ක්‌ පෙනහළු 20% අනෙක්‌ තැන් වල)

හොඳයි. කියන්න බලන්න ක්‍ෂය රෝගයේ රෝග ලක්‍ෂණ. ''සති තුනකට වඩා වැඩි කාලයක්‌ පවතින කැස්‌ස්‌' කියල වැඩි දෙනෙක්‌ පැනලා කියයි. ඒත් දැන් අලුත්ම පණිවුඩේ තමයි ''සති දෙකකට වඩා පවතින කැස්‌ස ක්‍ෂය රෝගයේ ප්‍රධාන රෝග ලක්‍ෂණයයි'' කියලා කියන එක.

ඒ වගේම අනෙක්‌ රෝග ලක්‍ෂණ මොනවාද කියලා කවුරු හරි ඇහුවොත් කියන්න සෙම එක්‌ක ලේ පිටවීම, රාත්‍රීයේ උණ ගතිය (මද උණ) රෑට අසාමාන්‍ය විදියට දාඩිය දාන එක. (ඒ කියන්නේ දාඩිය දාන්න සාධාරණ හේතුවක්‌ නැතිව) කෑම කන්න අප්පිරිය වෙන එක. හදිසියේ ඇඟේ බර අඩුවෙන එක. වැඩක්‌ පොලක්‌ කරලා ඇඟ මහන්සි නොකලත් දාහකට ගහලා ආව වගේ කෙඩෙත්තු, තෙහෙට්‌ටු ගතියක්‌ දැනෙන එක කෙනෙකුට ක්‍ෂය රෝගය හැදිලා කියලා සැක කරන්න පුළුවන් කරුණු.

ඒත් ඉතින් මේ වගේ රෝග ලක්‍ෂණ ගැන කියන කොට සමහරුන්ට හිතෙනවා අනේ මටත්a අර ලක්‍ෂණ, මේ ලක්‍ෂණ තියෙනවා ඒ ලෙඩේ මගෙන් තියෙනවද දන්නෙ නෑ කියලා. එහෙම පේන බල බලා ඉන්නේ නැතිව පරීක්‍ෂා කර ගන්න යනවා මිසක්‌ බොරුවට කලබල වෙන්න එපා හරිද?

මෙහෙම සැක සංකා ඇති උනොත් ළඟම තියෙන දිස්‌ත්‍රික්‌ ළය චිකිත්සාගාරයට ගිහින් නොමිළේම පරීක්‍ෂා කර ගන්න පුළුවන්. (සෙම පටල පරීක්‍ෂාව කියල කියන පරීක්‍ෂණය) මේ සරල, පහසු විශ්වාසදායි පරීක්‍ෂණය විතරක්‌ නෙමෙයි එක්‌ස්‌ කිරණ පරීක්‍ෂණය වගේ පරීක්‍ෂණයක්‌ කරන්න පහසුකම් අවශ්‍ය නම් ඒ අය සලසා දෙනවා. ඕනෑම කාරණාවක්‌ ` අහල දැනගන්නත් පුළුවන්.

ඇත්තටම, මෙන්න මෙහෙම ගැටලුවක්‌ තියෙනවා. ඒ තමයි මොනවා හරි ලෙඩකට බෙහෙතක්‌ දුන්නට ඒ බෙහෙත් නියම විදියට එක දිගටට පාව්චිචි නොකිරීම අද ගන්නවා හෙට මතක නැති වෙනවා. ආයේ දවස්‌ දෙක තුනකින් මතක්‌ වුණාම බෙහෙත් බොනවා. සමහරු ''දැන් මට ටිකක්‌ සනීපයිනේ බෙහෙත් ඇති''. කියලා හිතුනම තමන්ට හිතලා බෙහෙත් නවත්වනවා.

ඒaත් ක්‍ෂය රෝගයේදී මෙහෙම කරන්න ගියොත් වැඩේ හොඳටම නරක්‌ වෙන්න පුළුවන්.

ක්‍ෂය රෝගය තියෙනවා කියල කෙනෙකුට බෙහෙත් නියම කළොත් නියම මාත්‍රාව හරියටම එක දිගට නියම පිළිවෙලට නොකඩවාම මාස හයක්‌ බෙහෙත් බොන්නම ඕන. මේ බෙහෙත් කඩින් කඩ ගන්න ගියොත් ''ඇඟට අහන්නේ නැතිව යනවා'' බහු ඖෂධ ප්‍රතිරෝධය කියන්නේ මේකට.

ඒ නිසා මේ පණිවිඩේ අපි හරියටම කියන්න ඕනෑ. හිතූ මනාපෙට බෙහෙත් එක්‌ක, ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ එක්‌ක සෙල්ලම් කරන්න එපා කියන එකත් ලෙඩකට, විශේෂයෙන්ම ක්‍ෂය රෝගයට බෙහෙත් දුන්නොත් ඒක නියමාකාරයෙන් පාවිච්චි කරන්න ඕන කියලත් අපි මේ රටේ මේ කාරණාව ගැන ගැඹුරින් නොහිතන අයට කියලා දෙමු.

ලංකාවේ දහදාහක්‌ විතර ගාණක්‌ අවුරුද්දකදී අලුතින්ම ක්‍ෂය රෝගය ආසාදිතයන් කියලා හඳුන ගන්නවා. ඒ නිසා තාමත් ''ක්‍ෂය රෝගය'' ගැන සුළුවෙන් හිතන්න කොහෙත්ම බැහැ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.