ශ්‍රී ලංකා - ද.අප්‍රිකා තරගය අද
අපරාජිතව සිටීම දෙපිලේම අරමුණයි!

අසේල විතාන සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ සිට

සිව්වැනි විස්‌සයි 20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ 'සී' කාණ්‌ඩයෙන් අපරාජිතව සුපිරි අට වටයට පිවිසීමේ අපේක්‍ෂාවෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ දකුණු අප්‍රිකාව අද (22 දා) සුරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී තරග වදිති. තරගය ප.ව. 3.30 ට ආරම්භ වීමට නියමිතය.

සිම්බාබ්වේට එරෙහිව පහසු ජයග්‍රහණ ලබා ගනිමින් 'සී' කාණ්‌ඩයෙන් සුපිරි අට වටයට පිවිසීමට කණ්‌ඩායම් දෙකම සමත්ව තිබීම මත අද තරගයේ ජය ගන්නා කණ්‌ඩායමට අපරාජිත මානසිකත්වයෙන් සුපිරි අට වටයට එළඹීමට අවස්‌ථාව ඇත. එබැවින් ජයග්‍රහණය වෙනුවෙන්ම සටන් වදින බව නායකයන් දෙපලගේද පොදු අදහස වී තිබේ. සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 82 ක පහසු ජයක්‌ ලැබූ අතර දකුණු අප්‍රිකාව කඩුලු 10 ක පහසු ජයක්‌ ලැබීමෙන් පසු අද සටනට අවතීර්ණ වේ.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංයුතිය සඳහා අජන්ත මෙන්ඩිස්‌ සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පසුවේ. සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී ඇලපත ආශ්‍රිතව සුලු ආබාධයකට ලක්‌වූ මෙන්ඩිස්‌ ඊයේ පුහුණුවීම් සඳහාද නොපැමිණි සිටි බැවින් අද ඔහු වෙනුවට රංගන හේරත් හෝ 18 හැවිරිදි අකිල ධනංජය ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇත. අකිල ධනංජය අද තරගයට ක්‍රීඩා කළහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 තරග වරම් ලබන 47 වැනි ක්‍රීඩකයා වන අතර පානදුර මහානාම විදුහලෙන් අන්තර්ජාතික ක්‍රිකට්‌ වරම් ලබන පළමු වැන්නා වශයෙන්ද ධනංජය ඉතිහාස ගතවනු ඇත. ඊයේ පුහුණුවීම්වලදීද ධනංජය වැඩි වාර ගණනක්‌ පන්දු යෑවීමේ නිරත වූ අතර රංගන හේරත්ද සුපුරුදු පුහුණුවීම්වල නිරතව සිටියේය. කෙසේ වෙතත් අවසන් සංයුතිය තීරණ කරනු ලබන්නේ අද උදෑසන තණතීරුව නිරීක්‍ෂණය කිරීමෙන් බව ශ්‍රී ලංකා නායකයා පවසයි.

20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින මහේල ජයවර්ධන අද තවත් ලකුණු 6 ක්‌ ලබාගතහොත් 20-20 අන්තර්ජාතික තරගවල ලකුණු දහස ඉක්‌මවා යන පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා මෙන්ම එවැනි දස්‌කමක්‌ කරන ලොව සිව්වැනි පිතිකරුවා බවටද ඔහු පත්වේ. මහේලට අමතරව ලකුණු දහස සිමාව ආසන්නයටම පැමිණ සිටින තිලකරත්න ඩිල්ෂාන් (956) සහ කුමාර් සංගක්‌කාර (954) අද දිනයේදී එම කඩඉම පසු කිරිමට සිටින සෙසු පිතිකරුවන් යුගල වේ.

20-20 ලොව වේගවත්ම ශතකයට හිමිකම් කියන දකුණු අප්‍රිකානු පිතිකරු රිචඩ් ලිවී දවා ගැනීමේ ප්‍රධාන අභියෝගය ශ්‍රී ලංකා පන්දු යවන්නන් හිසමත පැටවී ඇති අතර ඔහු සිම්බාබ්වේට එරෙහිව නොදැවී අර්ධ ශතකයක්‌ ලබා ගනිමින් ලකුණු අතරට පිවිස සිටිති. හසීම් අම්ලා සහ ජැක්‌ කලීස්‌ද දකුණු අප්‍රිකානු පිතිකරු බල ඇණියේ විශේෂඥයන් වන අතර ඩේල් ස්‌ටේන් සහ ජොහාන් බෝතා දකුණු අප්‍රිකානු පන්දු යෑවීම ශක්‌තිමත් කිරීමේ ප්‍රධාන තුරුම්පු බවට පත්ව තිබේ,

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව 20-20 ජාත්‍යන්තර තරගයකදී හමුවන පළමු අවස්‌ථාව වන අතර දකුණු අප්‍රිකාව වත්මන් ජාත්‍යන්තර 20-20 ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි ස්‌ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි තෙවැනි ස්‌ථානයේ සිටිමින් අද සටනට අවතීර්ණ වේ. විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහි ප්‍රතිශතය 59.52% ක්‌ වන අතර දකුණු අප්‍රිකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 65.95 ක්‌ ලෙස සටහන් වේ.

අද තරගය සඳහා සූදානම් කර ඇති තණතීරුව ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය සඳහා යොදාගත් තණතීරුව වන අතර එය තණකොළ රහිත තණතීරුවක්‌ වේ. තරගය සඳහා සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී ඇති බව වාර්තා වන අතර 35000 කට ආසන්න ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ තරගය නැරඹීම සඳහා පැමිණෙනු ඇතැයි අපේක්‍ෂිතය. මාස කිහිපයකට පසුව මේ දිනවල සූරියවැව ආශ්‍රිත කාලගුණ තත්ත්වය වෙනස්‌ වී ඇති බැවින් ඉකුත් දින දෙකෙහිදීම මඳ වැසි එම ප්‍රදේශයේ තැනින් තැනට ඇද හැලුණද ඊයේ දිනයේදී ක්‍රීඩාංගණය ආශ්‍රිත කාලගුණය වැසි රහිත විය.

අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්‌ඩායම - ඩිල්ෂාන් මුණවීර, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන (නායක), කුමාර් සංගක්‌කාර, ජීවන් මෙන්ඩිස්‌, ඇන්ජලෝ මැතිව්ස්‌, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, රංගන හේරත් හෝ අකිල ධනංජය

අපේක්‍ෂිත දකුණු අප්‍රිකානු කණ්‌ඩායම රිචඩ් ලිවී, හසීම් අම්ලා, ජැක්‌ කලීස්‌, ඒබී ඩිවිලියර්ස්‌ (නායක), ඡේ.පී ඩුමනි, µර්හාන් බෙහාර්දීන්, ඇල්පි මෝර්කල්, රොබින් පීටර්සන්, ජොහාන් බෝතා, ඩේල් ස්‌ටේන්, මෝන් මෝර්කල්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.