මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
වසා දමන ලෙසට නියෝගයක්‌ ඉල්ලා
ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌


සරත් ධර්මසේන

මාලබේ පිහිටුවා ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම, වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා එහි පංති පැවැත්වීම අත්හිටුවීම හා මුළුමනින්ම නතර කළ යුතු බවට එම විද්‍යාලය පවත්වා ගෙන ආයතනයට විධානයක්‌ කරන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා වෛද්‍ය වෘත්තිකයන් දෙදෙනකු හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු දෙදෙනකු එක්‌ව ශේ්‍රෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනුකර ඇත.

සවුත් ඒෂියන් ඉන්ස්‌ටිටියුට්‌ ටෙක්‌නොලොජි ඇන්ඩ් මෙඩිසින් නමැති එම ආයතනය එම්.බී.බී.එස්‌. වෛද්‍ය උපාධිය පිරිනමන උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ ලෙස පිළිගනිමින් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා නිකුත් කළ ගැසට්‌ නිවේදනය හා ආයෝජන සමාගම හැටියට මෙහි පවත්වාගෙන යැමට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය දුන් අනුමැතිය බල රහිත කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් වන එස්‌. එස්‌. අමරසිංහ, උපුල් ගුණසේකර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් පෙරේරා මෙහි පෙත්සම්කරුවෝ වෙති.

ශ්‍රී ලංකා වෛද්‍ය මණ්‌ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම උසස්‌ අධ්‍යාපන ඇමති එස්‌. බී. දිසානායක, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, මාලබේ වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඇතුළු 16 දෙනකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටින්නේ වෛද්‍ය විෂය පිළිබඳව මනා දැනුමක්‌ හා පුහුණුවක්‌ සිසුන්ට ලබාදී දක්‌ෂ වෛද්‍යවරු රටට බිහි කිරීමට හැකියාව මුලසිටම එම ආයතනයට නොතිබුණ බවයි.

එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ප්‍රබල මහජන මතයක්‌ ගොඩනැඟී ඇති අතර විවිධ වෘත්තීය සංවිධාන, ශිෂ්‍ය සංවිධාන එම විරෝධයේ පෙරමුණේ සිටිති. ශ්‍රී ලංකා වෛද්‍ය මණ්‌ඩලය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එම වෛද්‍ය විද්‍යාලයේ පවතින අඩුපාඩු දුර්වලකම් නොහැකියාව පෙන්වා දෙමින් විටින් විට වාර්තා නිකුත් කර ඇත. උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එම විද්‍යාලය පිළිගැනීමට තීරණය කරනු ලැබුවේ එවැනි විරෝධයක්‌ ප්‍රකාශ වී තිබියදී බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සම ඔක්‌තෝබර්Êමස 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.