ළමුන්ගේ හදවත් සැත්කම් කරන්න
විදේශික වෛද්‍ය කණ්‌ඩායමක්‌ කරාපිටියේ


වංචාවල අතිරේක - ගැමුණු චන්ද්‍රලාල්



විදේශික වෛද්‍යවරු කණ්‌ඩායමක්‌ ගාල්ල කරාපිටිය - රෝහලේදී ළමුන්ගේ හදවත් සැත්කම් සිදුකරයි. මෙම වෛද්‍යවරු කණ්‌ඩායම මීට පෙර වසර 6 ක්‌ අඛණ්‌ඩව ලංකාවට පැමිණ මෙම සැත්කම් සිදුකර ඇත.

එංගලන්තයේ ක්‍රියාත්මක වන ටේක්‌හාට්‌ මර්සි මිෂන් නමැති සමාජ සේවා ආයතනය මගින් මෙම සැත්කම් සිදුකිරීම සංවිධානය කර ඇත. ගාල්ල කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් ඒකකයේ ප්‍රධානි විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතාගේ සම්බන්ධීකරණය යටතේ සිදුවන මෙම සේවාව මගින් කුඩා ළමුන්ගේ උපතින්ම හදවත්වල ඇතිවන විකලතා මෙම ශල්‍යකර්ම මගින් නිවැරදි කරනු ලබයි හදවත්වල ඇතිවන සිදුරු වැනි දැද මෙයට ඇතුළත් වේ. සෑම වසරකම සතියක පමණ කාලයක්‌ මෙම වෛද්‍ය කණ්‌ඩායම පැමිණ සිය සේවාව නොමිලේ ඉටුකරනු ලබයි.

මෙවරද මෙවැනි රෝග වලට ගොදුරු වූ කුඩා සාමනේර නමක්‌ ඇතුළු ළමුන් 17 දෙනකුගේ සැත්කම් සිදුකරනු ලැබිණි. පසුගිය 14 වැනිදා සිට සතියක්‌ මෙම සැත්කම් කරනු ලැබේ. දැනට මෙම වසර 7 තුළ මෙවැනි සැත්කම් කුඩා ළමුන් 120 දෙනකුට පමණ සිදුකොට සුවපත් කර ඇත.

ගාල්ල කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් ඒකකය මගින් හදවත්වල මෙවැනි විකලතා ඇති ළමුන් පිළිබඳ තොරතුරු එක්‌රැස්‌ කොට රෝග ලක්‍ෂණ හා ඔවුන්ගේ බැරෑරැම් තත්ත්වය අනුව සකස්‌ කරන ලද පොරොත්තු ලේඛනයක්‌ මගින් මෙම වෛද්‍ය කණ්‌ඩායම වෙත රෝගී ළමුන් යොමුකරනු ලබයි.

මෙම වෛද්‍ය කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස එංගලන්තයේ විශේෂඥ ශල්‍යවෛද්‍ය කෙනෙල් ඕස්‌ටින් මහතා කටයුතු කරයි. මෙම කණ්‌ඩායමට හෘද රෝග විශේඥ වෛද්‍යවරයකුද නිර්වින්දක වෛද්‍යවරයකුද පෙනහලු නිවේශකයකුද හෙද හෙදියන්ද ඇතුළු 15 දෙනකුගෙන් සමන්විතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.