නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි ගාල්ලේ වෛද්‍යවරු වර්ජනයේ

ඒමන්ති මාරඹේ, ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි හා ගාල්ල විශේෂ ලලිත් චාමින්ද

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙනුර කේ. සිංසාරච්චි මහතාට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සියලු රජයේ රෝහල් වෛද්‍යවරුන් අද (27 දා) වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා "දිවයිනට" පැවැසීය.

කරාපිටිය ශික්‍ෂණ, මහමෝදර, බලපිටිය, ඇතුළු ප්‍රධාන රෝහල් හා ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සෙසු රෝහල් වෛද්‍යවරුන්ද මෙම වර්ජනයට සහභාගි වන බව කී වෛද්‍ය සොයිසා මහතා එමගින්ද සිය ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොලදහොත් දකුණු පළාතේ සියලු රජයේ වෛද්‍යවරුන් වර්ජනයට එක්‌ කර ගන්නා බව අවධාරණය කළේය.

බැණ වැදීමේ සිද්ධියට සම්බන්ධව නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ඉකුත් 24 දා ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ග්‍රාමීය රෝහල්වල වෛද්‍ය වර්ජනයක්‌ ක්‍රියාත්මක විය.

මේ සම්බන්ධව ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ තමා කිසිවිටක අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට බැණ වැදුණු හෝ තර්ජනය නොකළ බවයි. නගරයේ මහජනතාවට වගකිවයුතු නගර සභාවේ ප්‍රධානියා ලෙස තමා වෛද්‍ය නිලධාරිවරයාට උපදෙස්‌ දුන් බවත් ඔහු ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇති බවත් කී නගරාධිපතිවරයා මේ අයුරින් කටයුතු සිදුවන්නේ නම් ඉදිරියේදී නගර සභාවේ කිසිදු නිලධාරියකුට උපදෙස්‌ දී වැඩක්‌ කරවා ගත නොහැකි වන බවද අවධාරණය කළේය.

පොලිසිය විසින් තමාගෙන් සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක්‌ ලබාගත් බවත් තමා කිසිදු වරදක්‌ කර නැති බවත් හෙතෙම සඳහන් කළේය. අදාළ වෛද්‍ය නිලධාරිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා නොමඟ යවා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.