සංස්‌කරණය : නාරද නිශ්ශංක

සේමගේ කලාගාරය

ජයසිරි සේමගේ චිත්‍ර ප්‍රදර්ශනයක්‌ තායිලන්තයේ විවෘත වූ අවස්‌ථාව. ශ්‍රී ලංකා තානාපති තිලක්‌ අමුණුගම මහතාද වෙයි.

ලෝකයේ සෑම රටකම ඒ ඒ චිත්‍ර කලාකරුවන්ට තමාගේම පෞද්ගලික කලාගාර ඇත. මේ කලාගාරයන්හි ඒ ඒ චිත්‍ර ශිල්පීන්ගේ අග්‍රගණයේ යෑයි සැලකෙන කලා කෘති ඉතා ආරක්‍ෂා ඇතිව තැන්පත් කර ඇති අතර සෑම කලා රසිකයකුටම පැමිණ කලා රස විඳීමට හැකිවන පරිදි සලසා ඇත. විශේෂයෙන් සති අන්තයන්හි තම සිය පවුල් පිටින් පැමිණ මුළු දවස පුරා ඒ ඒ කලා කෘති නරඹමින් රස විඳිනු දැක ගැනීම ඉතාම සුලභ දර්ශනයෙකි. අවසර පත්‍රයක්‌ රැගෙන ඒමෙන් කලාගාර කීපයකටම ඇතුල් වී තමාට කැමැති වේලාවක්‌ ගතකර කලා කෘතිවල රසය විඳීමට හැක.

අප ශ්‍රී ලංකාවේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීම සඳහා පමණක්‌ වෙන්වූ චිත්‍ර කලාගාර කීපයක්‌ පමණක්‌ ඇත. නමුත් ලංකාවේ වෙසෙන ප්‍රවීණයෑයි කිවහැකි චිත්‍ර ශිල්පීන්ට තමාගේම නිර්මාණ ස්‌ථිරවම තැන්පත් කර කලා රසිකයන්ට නැරඹීමට හැකි චිත්‍ර කලාගාර ඇත්දැයි නොදනිමි.

අද ශ්‍රී ලංකාවේ වෙසෙන අග්‍රගණයේ, ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ චිත්‍ර ශිල්පි "කලාසූරී" ජයසිරි සේමගේ නොයෙකුත් රටවල තමාගේ චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ලැබූ අත්දැකීම් අනුව, තමාගේ පමණක්‌, සේමගේටම ආවේනික වූ චිත්‍ර ශෛලියෙන් නිර්මාණය වූ නොයෙකුත් මාදිලියේ චිත්‍ර රාශියක්‌ එක්‌තැන්වූ "සේමගේ කලාගාරය" නමින් චිත්‍ර කලාගාරයක්‌ දැන් ගල්කිස්‌සේ, ලිලියන් මාවතේ අංක 03 දරන ස්‌ථානයේ විවෘත කර ඇත. මෙම කලාගාරය මුළු අවුරුද්දෙම, සෑම දිනකම උදේ 9.00 සිට රාත්‍රි කාලය දක්‌වා විවෘතව ඇති අතර නොමිලයේ නැරඹීමටද හැකිවනු ඇත.

මෙම කලාගාරය අවට පාසල් ගණනාවක්‌ ඇත. මෙම පාසල් දරු දැරියනට මෙන්ම සෑම පළාතකම කලා රසිකයන්ට පැමිණ, නිවී සැනසිල්ලේ අසුන්ගෙන, ඉතා මියුරු සංගීත රාවයකටද සවන් දෙමින් පනවා ඇති අසුන්හි තමාට කැමැති වේලාවක්‌ ගතකර, චිත්‍ර ශිල්පියා සමඟ සුහද කතා බහ කරමින්, චිත්‍රයන්හි තමාට දැන ගතයුතු විස්‌තරද දැන ගෙන යම් කිසි අවබෝධයක්‌ ද ලබා ගත හැකි වන පරිදි සකස්‌කර තිබීම විශේෂ කරුණකි. තවත් විශේෂ කරුණක්‌ නම් සේමගේ චිත්‍ර ශිල්පියා තමාගේ කලා කෘතියක්‌ හැඩ කරන අයුරුද දැක බලා ගත හැකි වීමයි.

ජයසිරි සේමගේ තම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන ලෝකයේ රටවල් කීපයකම පවත්වා ඇත. ඒ ඒ රටවල තානාපතිවරුන්ගේ ඇරයුම් පරිදි එම තානාපති කාර්යාලයන්හි සංවිධානයෙන් මෙම චිත්‍ර ප්‍රදර්ශන සංවිධානය කර ඇත. සේමගේ ශිල්පියාගේම චිත්‍ර මෙම තානාපතිවරුන් ඉල්ලා සිටින්නේ, එයින් බලාපොරොත්තු වනුයේ, ඒ ඒ රටවල කලා රසිකයන්ට, "ශ්‍රී ලංකාවේ යෑයි" කිව හැකි ශ්‍රී ලාංකික චිත්‍ර ප්‍රදර්ශනය කිරීමයි. සේමගේ ගේ චිත්‍රයන්හි ඇති සීගිරි, අජන්තා වැනි චිත්‍රවල ආභාෂයෙන් රිද්මය, ලාලිත්‍යය අලංකාරය මුසුකොට නිර්මාණය වූ මාහැඟි චිත්‍ර ශෛලිය අද ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ සමහර රටවලද කලා රසිකයන් අතර ඉතාම ජනප්‍රිය වී ඇත.

මෙම සේමගේ චිත්‍ර කලාගාරයෙහි තමා ඒ ඒ රටවල ප්‍රදර්ශනය කළ බොහෝ ගණනාවක චිත්‍ර ද දැක නැරඹීමට හැකිවනු අතර, දැනට ජිනීවා නුවර, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් එම රටේ ස්‌ථීරවම තැන්පත් කර ඇති "රට රකින දැත්" නමැති විශාල තෙල්සායම් චිත්‍රයේ අනුරුවක්‌ වන කුඩා ප්‍රමාණයේ චිත්‍රය ශ්‍රී ලංකා කලා රසිකයන්ට දැක බලා ගැනීමටද හැකි වනු ඇත.

සචිත්‍ර ඇල්වලගේ

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.