වෛද්‍ය වර්ජනයෙන් ගාල්ලේ
රෝහල්වල ප්‍රතිකාර ඇනහිටී


ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල - විශේෂ ලලිත් චාමින්ද

ගාල්ල මහ නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ රෝහල්වල ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනයක්‌ හේතුවෙන් ඊයේ (27 දා) රෝහල්වල කටයුතු ඇනහිට තිබිණි.

ගාල්ල, කරාපිටිය, මහමෝදර, බලපිටිය, ඇල්පිටිය, උඩුගම, හිනිඳුම, නෙළුව, හබරාදුව, කලුගල ආදී වූ රෝහල් සියල්ලේම පාහේ අත්‍යවශ්‍ය සේවා හැර සෙසු ප්‍රතිකාර කටයුතු ඊයේ (27 දා) පෙරවරුවේ සිට නොපැවැත්විණි.

ගාල්ල කරාපිටිය රෝහලට හා මහමෝදර රෝහලට සායන සඳහා සහභාගි වීමට පැමිණි රෝගීන්ට ආපසු හැරීයැමට සිදුවූ අතර මහමෝදර රෝහලේ සායනවලට පැමිණි ගැබිනි මව්වරු සිය ගණනක්‌ මෙම වර්ජනය හේතුවෙන් ආපසු හැරී ගියහ.

කෙසේ වෙතත් ගාල්ල මහ නගරාධිපතිවරයා ඇතුළු හය දෙනකුගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අදාළ සිද්ධිය පිළිබඳව විභාග කිරීමට සමථ මණ්‌ඩලයට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට ලිතව දැනුම්දී තිබේ.

ගාල්ල කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදී රෝහලේ සායනික හා සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු ඇනහිට ඇති අතර අත්‍යවශ්‍ය සේවා පමණක්‌ කරගෙන යන බව පැවසීය.

ගාල්ල නගරාධිපතිවරයා පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක්‌ ද සමග අද (28 දා) සිංගප්පූරු සංචාරයක යෙදීමට නියමිතව තිබූ අතර මේ පිළිබඳව නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතාගෙන් අප කළ විමසුමකදී තමා විදේශගත වන්නේ තවත් දින තුන හතරකින් බව පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.