ශ්‍රී ලංකාව ඇතුළු තුන්වැනි ලෝකයේ රටවල
හෘද රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවෙයි

- හෘදරෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක

ඒමන්ති මාරඹේ

දියුණු රටවල හෘද රෝගවලට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් පවතිද්දී ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය ඇතුළු දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල හෘද රෝගවලට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව බෝ නොවන රෝගවලින් මිය යන්නන්ගෙන් සියයට තිහක්‌ම මියයනුයේ හෘද රෝගවලට ගොදුරු වීමෙන් බව අනාවරණය වී තිබේ. ලොව සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද කාන්තාවන් පිරිමින් හා සමානවම හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස්‌ ඇති අතර ඇතැම් මවුවරුන්ගේ මරණවලටද හෘද රෝග හේතු වී ඇතැයි ඔහු කීවේය.

අධි රුධිර පීඩනය, රුධිරගත කොලෙස්‌ටරෝල් ප්‍රමාණය ඉහළ යැම, දියවැඩියාව, මානසික ආතතිය, දුම් පානය, මත්පැන් පානය, ශරීරයේ බර වැඩිවීම (ස්‌ථූලභාවය), ව්‍යායාම මදිකම හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි කරන බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 4 දෙනකුගෙන් එක්‌ අයකු අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන බවත් ඔවුන්ගෙන් සියයට 50 ක්‌ම එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර නොගන්නා බවත් සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. මෙරට වැඩිහිටියන් 10 දෙනකුගෙන් 3 දෙනකුටම ශරීරයේ බර නියමිත බරට වැඩි හෝ ස්‌ථුලභාවයෙන් යුතු බවත් වැඩිහිටියන් 10 දෙනකුගෙන් දෙදෙනකු දුම්පානයටද, 10 දෙනකුගෙන් 3 දෙනකු මත්පැන් පානයටද ඇබ්බැහි වී ඇති බවත් හෙළි වී තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල වැඩිහිටියන් 5 දෙනකුගෙන් එක්‌ අයකු දියවැඩියාවෙන් පෙළෙන බව හෝ එම රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙළෙන බවද මෙම සමීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය තලතා ලියනගේ මහත්මිය පෙන්වා දෙනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුද්ගලයකු විසින් දිනකට පරිභෝජනය කළ යුතු සීනි හා ලුණු ප්‍රමාණයන් දක්‌වා තිබියදී වැඩි ප්‍රමාණයන්ගෙන් ඒවා පරිභෝජනය කිරීමට ශ්‍රී ලාංකිකයන් පෙළඹී ඇති බවයි. පිරිමියකුට දිනකට තේ හැඳි 9 ක්‌ද, කාන්තාවකට තේ හැඳි 6 ක්‌ද වශයෙන් සීනි පරිභෝජනය කිරීමටත් එක්‌ පුද්ගලයකු දිනකට ලුණු තේ හැන්දක්‌ පරිභෝජනය කළ යුතු බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබේ.

හෘද රෝග වැළඳීමෙන් වැළකී සිටීම සඳහා පැණි රස හා ලුණු අඩුවෙන් පරිභෝජනය කිරීමටත් එළවලු හා පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම, මත්පැන් හා දුම්පානයෙන් වැළකීම, ව්‍යායාම කිරීම වැනි යහපත් පුරුදු ප්‍රගුණ කරගත යුතු බව ඇය කීවාය.

ලෝක හදවත් දිනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (27 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී මෙම කරුණු අනාවරණය විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.