මේ අනතුර ගැන අපිට බරපතල
සැකයක්‌ තියෙනවා!

- අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ
කැඳවුම්කරු- සංජීව බණ්‌ඩාර




පසුගිය දිනවල පොලිස්‌ අත්අඩංගුවට පත්වුවද, 
ඒ මුහුණෙහි කිසිදු සැක සංකාවක සේයාවක්‌ තිබුණේ නැත. එහෙත් ඉතා විමසිලිමත්ව බොහෝ කරුණු කාරණා සොයා බලමින් හේ ක්‍රියාශීලීව උන්නේ හදිසි අතුරකින් මෙලොව හැර ගිය සිය සගයන් වෙනුවෙනි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අප මුණගැසුණේ කොළඹ නගරයේ අතිශය ජනාකීර්ණ කලබලකාරී පරිසරයක්‌ තුළය.

ඒ ඉස්‌පාසුවේ සිය ජවය පිරි වදන් සංජීව අප හමුවේ මුදාහළේ මෙසේය.

ප්‍රශ්නය - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට, ශිෂ්‍ය සංවිධානයක්‌ විදියට අන්තරය සහභාගි වන්නේ නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් සියයට හයක්‌ වෙන් කරනු යන බැනරය යටතේ. මේ ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්‌ තිබෙනවාය යන්න ආණ්‌ඩුව පාර්ශ්වයෙන් කියෑවෙනවා. මේක ඔබ පිළිගන්නවාද?

පිළිතුර - මේ ප්‍රකාශයම හාස්‍යජනකයි. මේ හරහා ප්‍රකාශයට පත්වෙන්නේ පාලක පක්‍ෂයේ බංකොළොත්භාවය. විශ්වවිද්‍යාල ආචාර්යවරු යම් සාධාරණ ඉල්ලීම් සමූහයක්‌ වෙනුවෙන් සටන් වදිමින් ඉන්නවා. ඒ තුළ කිසිදු කුමන්ත්‍රණයක්‌ නෑ. කුමන්ත්‍රණය තිබෙන්නේ රජය පාර්ශ්වයන් තුළමයි. විශ්වවිද්‍යාල ආචාර්යවරු පාරට ඇදල දාපු ආණ්‌ඩුවේ.... ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති තුළයි මේ කුමන්ත්‍රණය තිබෙන්නේ. ඉතිහාසයේ කෙදිනකවත් ඔවුන් පාගමන් ගිහින් නෑ. උද්ඝෝෂණ කරලා නෑ. එතකොට පැහැදිලියි මේ කුමන්ත්‍රණය ආණ්‌ඩුවේ කියලා.

ප්‍රශ්නය - ආචාර්යවරුන්ගේ සටනට ඇයි ශිෂ්‍යයෝ මුක්‌කු ගහන්නේ. එක ධජයක්‌ යටතට එන්නේ.

පිළිතුර - අපි අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින ව්‍යාපාරයක්‌. අපි දකිනවා මේක හුදු වැටුප් ප්‍රශ්නයක්‌ මත නෙවෙයි කියන එක. වැටුප් ප්‍රශ්නය පවා විශ්වවිද්‍යාලවල අනාගතයට බලපානවා. මේ මොහොතේ ගත්තොත් මේ වැටුප් සඳහා පමණක්‌ මේ අරගලය දියත් වෙන්නේ නෑ. රාජ්‍ය අධ්‍යාපනය සුරක්‍ෂිත කරගැනීම අයවැයෙන් සියයට හයක්‌ අධ්‍යාපනයට වෙන්කර ගැනීම, විශ්වවිද්‍යාලවලට ස්‌වාධීනත්වය ලබාගැනීම, අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවලදී ආචාර්ය, මහාචාර්යවරු සම්බන්ධ කර ගැනීම, විශ්වවිද්‍යාල මිලිටේරිකරණය නැවැත්වීම, මේ ආදී වූ ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලබාගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. අධ්‍යාපනයේ අනාගතය සඳහා ඒ ඉල්ලීම් ජයග්‍රහණය කළ යුතුයි. මේ ඉල්ලීම් ජයග්‍රහණය කිරීම මත විශ්වවිද්‍යාලවල ගුණාත්මක බව ඉහළ යනවා. පරාජයවීම මත විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාවැටෙනවා. එතකොට පැහැදිලිවම ශිෂ්‍යයෝ විදියට මෙය විශ්වවිද්‍යාල රැකගැනීමේ අරගලයක්‌ විදියට හඳුනාගනිමින් ඊට සහාය දෙනවා. මෙය එක පාර්ශ්වයකට සීමා වූ සටනක්‌ ලෙස නෙමෙයි අපි දකින්නේ. මෙය අපි කාගෙත් සටන.

ප්‍රශ්නය - අන්තරය සිය දේශපාලනය යම් සීමාවක්‌ තුළ රඳවාගෙන හිටියා. විශ්වවිද්‍යාල ආචාර්ය සටනට මේ වෙනකොට දේශපාලන මුහුණුවරකුත් ඇවිත් තියෙනවා. සරත් ෆොන්සේකා, සෝමවංශ අමරසිංහ, විපක්‍ෂ නායකවරයා මේ අයත් ඒ සටනේ ඉන්නවා. මේක ඇතුළේ අන්තරයේ භූමිකාව මොකක්‌ද?

පිළිතුර - මේ සටනේදී අපි පැහැදිලි ස්‌ථාවරයක සිට මැදිහත් වෙනවා. අපිට විවිධ දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති ව්‍යාපාර, සටන් ව්‍යාපාර සමඟ ගනුදෙනු කිරීමේ නොහැකියාවක්‌ නෑ. ඒ හැකියාව... විවෘත ලෙස ගනුදෙනු කිරීමේ හැකියාව අපට තිබෙනවා. අපේ පාගමන ක්‍රියාත්මක වෙන්නෙත් ඒ පදනමේ ඉඳලා. ඔය මතු කරන ප්‍රශ්නයේදී අපි මේ දේශපාලන පක්‍ෂ සමඟ සම්බන්ධවෙලා කටයුතු කරන්නේ නෑ. අධ්‍යාපනය උදෙසා වූ සටනක්‌ තිබෙනවා. ඒ සටනට සහාය දෙනවා. ඔය සඳහන් කළ දේශපාලන පක්‍ෂ හෝ පුද්ගලයන් බලයට ගෙනඒම සඳහා හෝ ඒ අයගේ දේශපාලන ව්‍යපෘතීන්වල කොටස්‌කරුවන් ලෙස අප කටයුතු කරන්නේ නෑ. ඒ වගේම අපි ඉතිහාසය පුරා අරගෙන ආපු අරගලයක්‌ තියෙනවා. ඒ අරගලය අපි තවදුරටත් ගෙන යනවා.

ප්‍රශ්නය - විශ්වවිද්‍යාල ආචාර්යවරු ජාතික අධ්‍යාපනය සුරකිමු කියන සටන් පාඨය භාවිත කරද්දී අන්තරය නිදහස්‌ අධ්‍යාපනය සුරකිමු කියන සටන් පාඨයෙන් මේ අරගලයට එකතුවෙනවා. මොකක්‌ද මේ වෙනස. මොකක්‌ද ඒ ගැටුම.

පිළිතුර - අපි පැහැදිලිවම කියන්න ඕන ආචාර්යවරුන්ගේ සටනට අපි උපරිම ලෙස සහයෝගය දෙනවා. නමුත් අපට ප්‍රශ්න දෙකක්‌ තිබ්බා. එක ඔය සටන් පාඨයට අදාළ කාරණාව, දෙක අධ්‍යාපනය පෞද්ගලීකරණයට එකඟ පක්‍ෂ, අධ්‍යාපන අයිතිය අහෝසි කිරීම තම ප්‍රතිපත්තිය කරගත් සමහර දේශපාලන පක්‍ෂ එක්‌ක අපිට ගනුදෙනු කළ නොහැකිවීම කියන කාරණාව. එජාපය අධ්‍යාපන පෞද්ගලීකරණය කියන කාරණය වෙනුවෙන් සෘජුවම පෙනී සිටිනවා. ඒ අය සමඟ අපට පාගමන් යන්න බෑ!

ඊළඟට රාජ්‍ය අධ්‍යාපනය කියන කාරණය සම්බන්ධයෙන් විශාල ගැටලුවක්‌ අපිට නෑ. රාජ්‍ය අධ්‍යාපනයට වඩා ඉහළ තැනක තමයි අධ්‍යාපනයේ සම අයිතිය කියන කාරණය තිබෙන්නේ. අපි ඉන්නේ එතැන. අප පෙනී සිටින්නේ ඒ කාරණයටයි. එතැනදී රාජ්‍ය අධ්‍යාපනය සුරක්‍ෂිත වෙන්න ඕන. අධ්‍යාපනයට සියයට හයක්‌ ප්‍රතිපාදන වෙන් වෙන්න ඕන. කොන්දේසි විරහිතව අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි විය යුතුයි. මේ හැර තවත් සටන් පාඨ ගණනාවක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - මේ සියල්ල කතා කරන අන්තරයේ මූලික අරමුණ අධ්‍යාපන අයිතීන් දිනාගන්න එකද? ආණ්‌ඩුව පෙරළන එකද?

පිළිතුර - මේ සටන් ඉදිරියේ ආණ්‌ඩුව භීතියට පත්වෙලා ඉන්නවා. ආණ්‌ඩුව තමයි ඔය කතාව කියන්නේ. ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව බරපතළ විවේචනයක්‌ පැහැදිලිවම අපට තිබෙනවා. හැබැයි ඒක අධ්‍යාපනයට විතරක්‌ නොවෙයි සියලුම ක්‍ෂේත්‍රවලට අදාළයි. මේ ආණ්‌ඩුව නොහැකියාවෙන් පිරුණු ආණ්‌ඩුවක්‌. එහි විවාදයක්‌ නෑ. ඒකට එරෙහි විවේචනයක්‌ සහ අරගලයක්‌ තියෙනවා. අපි බහුජන ව්‍යාපාරයක්‌. අපිට ආණ්‌ඩු පෙරළීමේ වුවමනාවක්‌ නෑ. අපි සටන්වලදී ඉන්නේ යම් යම් අයිතීන් දිනාගන්නයි. ආණ්‌ඩු පෙරළලා කවුද අපි ගේන්නේ. කවුරු දැම්මත් මේකේ අපි වෙනසක්‌ දකින්නේ නෑ. අපි සියලු පක්‍ෂවල ප්‍රතිපත්ති දන්නවා. මුළු ඉතිහාසයේම අපි අයිතීන් දිනාගෙන තියෙන්නේ සටන් වැදිලා. අපි අධ්‍යාපනය අයිතිය දිනාගැනීම සඳහා අඛණ්‌ඩ අරගලයක යෙදී ඉන්නවා. අපේ සටනේදී ආණ්‌ඩුව පෙරළෙනවද නැද්ද කියන එක ආණ්‌ඩුව තීරණය කරන්න ඕන.

සමහර විට එහෙම බයක්‌ තියෙන නිසා වෙන්නත් පුළුවන් මේ මර්දනකාරී ක්‍රියාදාමයන් දියත් වෙන්නේ. පහුගිය බ්‍රහස්‌පතින්දා පාන්දර අපේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් දෙන්නෙක්‌ හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වුණා. හැබැයි මේ සම්බන්ධයෙනුත් අපට බරපතළ සැක සංකා මතුවෙලා තියෙනවා. රිය අනතුර දුටු අය කියන්නේ අපේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ගිය යතුරුපැදිය පසුකර එක ළඟ වාහනයක්‌ ගිය බවයි.

අපිට පැහැදිලිව පේනවා අප ආ මාවත කඩා බිඳ දමමින් තිබෙනවා. අප විශ්වවිද්‍යාලයට එන්නේ අපේ අම්ම තාත්තාගේ මුදල්වලින් විතරක්‌ නෙමෙයි. මේ රටේ ජනතාව බදු ගෙවන මුදලුත් ඒකට අයිතියි. නිදහස්‌ අධ්‍යාපනයට බදු ගෙව්වේ මේ රටේ ජනතාව. ඒ නිසා අපට යුතුකමක්‌ වගකීමක්‌ තියෙනවා ඉදිරි පරම්පරාවටත් මේ අයිතිය රැකදෙන්න.

ප්‍රශ්නය - ඔබ ඒ වෙනුවෙන් ප්‍රචණ්‌ඩත්වය මුදාහරින්න වුණත් සූදානම්ද? පසුගිය දිනවල ඔබ අත්අඩංගුවට ගැනුණේ එම චෝදනා යටතේ.

පිළිතුර - කිසිසේත්ම අපි ප්‍රචණ්‌ඩකාරී ලෙස සටන් වදින්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමයි අපේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන් වදිමින් ඉන්නේ. නමුත් අපේ පා ගමන්, උද්ඝෝෂණ, පෙළපාලි, සත්‍යග්‍රහයන්ට පොලිසිය යොදාගෙන ඉතාම නින්දා සහගත ලෙස පහරදීලා ගැටුම්කාරී වාතාවරණයක්‌ නිර්මාණය කර ශිෂ්‍යයන්ට චෝදනා කරනවා ශිෂ්‍යයන් ප්‍රචණ්‌ඩකාරියි කියලා. ආසන්නතම උදාහරණය තමයි අපි අරලියගහ මන්දිරය දක්‌වා ඉතාම සාමකාමී පාගමනක්‌ ගියා. අතරමැදදී පොලිසිය ඒක නතර කරලා කඳුළු ගෑස්‌ ගහනවා. ජල ප්‍රහාර එල්ල කරනවා. ඒ විතරක්‌ නෙවෙයි ගල්මුල් ප්‍රහාරයකුත් එල්ල කරනවා. සාක්‍ෂි ලෙස ඡායාරූප අප ළඟ තිබෙනවා. පොලිසිය එහෙම කරන්නේ ශිෂ්‍යයෝ සමඟ ගැටුමක්‌ ඇති කරගන්නයි. ඒක කරන්නේ එතකොට අපිද? ආණ්‌ඩුවද? ප්‍රචණ්‌ඩ ලෙස හැසිරෙන්නේ අපිද? ආණ්‌ඩුවද? පැහැදිලි ලෙසම අප ආයුධ අරගෙන නෙවෙයි සටන් කරන්නේ. අපි මේ ප්‍රශ්නය ආණ්‌ඩුවට දිගින් දිගටම ලිඛිතව දැනුම් දීලා තියෙනවා. මාධ්‍ය සාකච්ඡා තියලා තියෙනවා. හැබැයි ඒවාට ඇහුම්කන් දීලා නෑ.

ප්‍රශ්නය - මේ වෙනකොට ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය උඩ විශ්වවිද්‍යාල වසා දමා තිබෙනවා. ඒ හැරත් විශ්වවිද්‍යාල තුළ තිබෙන ගරාවැටීම පෞද්ගලික විශ්වවිද්‍යාලවල අවශ්‍යතාව පෙන්නුම් කරනවා. ඔබේ සටන විශ්වවිද්‍යාල ගරාවැටීම බේරාගැනීම කියන තැනක ඉඳලා මෙහෙයවන්න බැරි ඇයි?

පිළිතුර - අපි කිසිසේත්ම අවසන් තැනින් පටන් අරන් නෑ. අපි මුල් තැනින් පටන් අරන් තියෙන්නේ ලිඛිතව දැන්වීමෙන්. ඒ කිසිවකට ප්‍රතිචාර නොමැති තැන තමයි පාරට බැහැලා තියෙන්නේ. අපි සටන් කරන නිසා නෙමෙයි මේ ගරාවැටීම ඇතිවෙන්නේ. ඔය කතාව කියන්නේ ආණ්‌ඩුව. ඕක ඔබ දෙදෙනා යොමු කරන ප්‍රශ්නයක්‌ නෙමෙයි. ඒ ප්‍රශ්නය මතුකරන්නේ ආණ්‌ඩුව. පා ගමන් යන නිසා, ශිෂ්‍ය උද්ඝෝෂණ, සිසු ගැටුම් නිසයි විශ්වවිද්‍යාල වහන්නේ කියලා. අපි අහනවා මෑතදී වාර්තා වූ සිසු ගැටුමක්‌ කියන්න. දැන් මේ විශ්වවිද්‍යාල අර්බුද මතුවෙලා තියෙන්නේ ඇයි? මේ විශ්වවිද්‍යාල වහලා තියෙන්නේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය නිසයි. ඇයි ඒ අය වැඩවර්ජනය කරන්නේ. ඔවුන්ව ජනාධිපතිවරයා විසින් රවට්‌ටපු නිසා. ජනාධිපතිවරයා දීපු පොරොන්දු කඩලා ඔවුන්ව රවට්‌ටලා තියෙනවා. මේක විශ්වවිද්‍යාලවලට පමණක්‌ නොවෙයි පාසල් පද්ධතියට පවා පොදු දෙයක්‌. මේක ගණන් හදලා බැලුවොත් දවස්‌ හයකට සැරයක්‌ ඉස්‌කෝලයක්‌ වහන ආණ්‌ඩුවක්‌.

මේවා කතා කරන එක නවත්තන්නයි ආණ්‌ඩුවට ඕන. හැම ශිෂ්‍ය නායකයෙක්‌ පිටුපසම නාඳුනන පුද්ගලයන්, ඔත්තුකරුවන් ලුහුබඳිනවා. අපේ මියගිය සහෝදරයන් දෙදෙනාගේ රිය අනතුර ගැන බරපතළ සැක සංකා මතුවන්නේ ඒ නිසයි. දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වෙනවා. එවැනි වටපිටාවක්‌ තුළ අපි දන්නවා ආණ්‌ඩුව දේශපාලනිකව හිතන්නේ කොහොමද කියන කාරණය අපි දන්නවා. හදිසි අනතුරු දේශපාලනිකව භාවිතා වූ හැටි ඉතිහාසය, මෑත ඉතිහාසය අපට පෙන්නලා දීලා තියෙනවා.

සාකච්ඡා කළේ - මනෝජ් අබයදීර
උදේශ සංජීව ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.