උඩු ගුවන ජය ගත් පෙරළිකාර කත
වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා


පෘථිවියේ වාසය කරන අපට ජය ගත හැකි ඉහළම ඉලක්‌කය අභ්‍යවකාශය මත පා තැබීමයි. ඇමෙරිකාව සහ සෝවියට්‌ දේශය අතර සීතල යුද්ධයක්‌ පැවැති සමයේ අභ්‍යවකාශය ජය ගැනීම විශ්වය තම ග්‍රහණයට නතු කර ගත්තා සේ සලකනු ලැබීය. මෙම අභියෝගය පළමු වරට ජය ගනු ලැබුවේ සෝවියට්‌ දේශය විසිනි. 1961 වසරේ දී යූරි ගගාරින් උඩු ගුවනට යෑවීමෙනි. ඒ එයින් නොනැවතුණ රුසියානුවන් ඉන් වසර 2 කට පසුව එනම් 1963 වර්ෂයේ ජුනි මස 16 වැනි දින තවත් අපූරු අභ්‍යවකාශ ගමනක්‌ දියත් කරනු ලැබීය.

සියුමැලි යෑයි ද භාරදූර අභියෝග ජය ගැනීම අපහසු යෑයිද සැලකෙන කාන්තාවන් උඩු ගුවන් ගත කිරීම එම අමරණීය මොහොතයි. 1937 මාර්තු මස 06 වැනි දින සෝවියට්‌ දේශයේ බොල්ශෝ මැස්‌ලෙනිකෝවා ප්‍රදේශයේ උපන් වැලෙන්ටිනා වැලෙඩ්මිරෝව්නා තෙරෙෂ්කෝවා මෙසේ අභ්‍යවකාශගත වූ ප්‍රථම කාන්තාව ලෙස මිනිස්‌ ඉතිහාසය පවතින තුරා අමරණීය වී ඇත. 1961 වර්ෂයේ දී යූරි ගගාරින් අභ්‍යවකාශ ගත වූ පසු ඊළඟ පියවර ලෙස කාන්තාවකද සමග උඩු ගුවන් චාරිකාවක්‌ සැලසුම් වූ අතර මේ සඳහා හාරසියයකට අධික අයෑදුම්පත් ප්‍රමාණයක්‌ ලැබී තිබුණා. ඉන් අවසාන වශයෙන් තෝරා ගනු ලැබුවේ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා ද සමග පස්‌ දෙනෙකි. ඒ වන විට ඇය සිවිල් පැරෂුට්‌ භටයකු ලෙස සේවය කරමින් සිටියාය.

අභ්‍යවකාශ චාරිකාවක්‌ තුළදී කාන්තා ශරීරයේ කායික සහ මානසික ක්‍රියාවන් අධ්‍යයනය උඩු ගුවනට කාන්තාවක්‌ යෑවීමේ ප්‍රධාන අරමුණ විය. සෝවියට්‌ දේශයේ අභ්‍යවකාශ වැඩ පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු සර්ජි කොරලෙව්වොෂ් විසින් මෙම කටයුතු අධීක්‍ෂණය කරන ලදී.

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවාගේ දෙමාපියන් බෙලරුසියාවේ සිට මධ්‍යම රුසියාවට සංක්‍රමණය වූවන්ය. තෙරෙෂ්කෝවා ගේ පියා ට්‍රැක්‌ටර් රියෑදුරකු වූ අතර ඇයගේ මව ඇඟලුම් කම්හලක සේවිකාවක්‌ වූවාය. තෙරෙෂ්කෝවා ප්‍රථම වතාවට තම පාසල් ගමන ආරම්භ කළේ 1945 වර්ෂයේදී ය. ඒ වන විට ඇගේ වයස අවු( 8 ක්‌ විය. එහෙත් 1953 වර්ෂයේදී ඇය පාසලෙන් ඉවත් වූවාය. ඉන් අනතුරුව ඇය වෙනත් බාහිර පාඨමාලා කිහිපයක්‌ම හදාරන ලදී. මේ අතර පැරෂූට්‌ ක්‍රීඩාව හා අහසේ ඇවිදීම (skydiving) ප්‍රධාන විය. ඇගේ ප්‍රථම පැරෂුට්‌ පිම්ම පනින විට ඇයගේ වයස අවු( 22 ක්‌ වූවාය. ඒ වන විට ඇය ඇඟලුම් කම්හලක සේවිකාවක ලෙස ක්‍රියා කරමින් සිටියාය. පැරෂූට්‌ හා skydiving ක්‍රීඩාව මගින් ඇය ලද නිපුණතාවයන් හා නිර්භීතකම අභ්‍යවකාශගාමිනියක්‌ වීමට දොරටු විවර කරන ලදී. අධ්‍යාපනය රැකියාව මෙන්ම දේශපාලනයටද ඇය තරුණ අවධියේ සිට යොමු වන ලද අතර මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ප්‍රාදේශීය තරුණ කොමියුනිස්‌ට්‌ ලීගයේ ලේකම්වරිය ලෙසද වරක්‌ තේරී පත් වූවාය. පසුකාලීනව ඇය සෝවියට්‌ දේශයේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක වූවාය.

හාරසියයකට අධික ඉල්ලුම් පත් අතුරින් ප්‍රථම වරට උඩුගුවන් ගත වන කාන්තාවක වීමේ අවසන් වටයට තරුණියන් හතර දෙනකු තෝරා ගනු ලැබීය. වැටියානා, කුශෙනෙෂ්සාවා, අයිරිනා සොලොවෝයා, ශානා යොරිකිනා, වැලෙන්ටිනා පෝනෝමාරියෝවා සහ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා එම තරුණියන් පස්‌ දෙනාය. මෙහිදී තෝරා ගැනීමේ මූලික නිර්ණායක අතර උස සෙ. මීටර් 170 ක්‌ වීමද බර කිලෝ 70 ට අඩු වීම හා වයස අවු( 30 ට අඩු වීම ප්‍රධාන වශයෙන් සලකන ලදී.

පැරෂුට්‌ සහ ස්‌කයි ඩ්‍රයිවින් වලදී දක්‌වන ලද දක්‍ෂතාවලට අමතරව වැලෙන්ටිනා තෙරෙෂ්කෝවාගේ පවුල් පසුබිම තුළ යුද බිමේ දී දක්‌වන ලද දක්‍ෂතාවයන් ද විශේෂ සැලකිල්ලට දක්‌වන ලදී. වැලෙන්ටිනා තෙරෙෂ්කෝවාගේ පියා යුද වීරයකු ලෙස සෝවියට්‌ දේශය විසින් සලකන ලදී. වැඩ්මිර් තෙරෙෂ්කෝවා වන ඔහු යුද ටැංකි මෙහෙය වීම සම්බන්ධ සාජන්වරයකු වූ අතර දෙවැනි ලෝක යුද්ධය ආශ්‍රිත පින්ලන්ත සීත සෘතු යුද්ධයේදී තම මවුරට වෙනුවෙන් දිවි පුදනු ලැබීය. ඒ වන විට වැලෙන්ටිනා තෙරෙෂ්කෝවාගේ වයස අවුරුදු දෙකක්‌ පමණි.

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා තම සුවිශේෂී අභ්‍යවකාශ ගමන නිමා යළි පෘථිවියට පැමිණි අවස්‌ථාවේදී තම මවුරට වන සෝවියට්‌ රුසියාව විසින් මෙම සාඩම්බර වීර දියණියට උපහාර පිදිය යුත්තේ කෙසේදැයි බලධාරීන් විසින් විමසන ලදුව ඇය පැවසුවේ තමන්ට පුදන ලොකුම උපහාරය තම පියා යුද බිමේදී මියගිය ස්‌ථානය සොයා දීම බවයි. සෝවියට්‌ රජය එම ඉල්ලීම භාරගත් අතර අසීරු ප්‍රයත්නයකින් අනතුරුව වැලෙන්ටිනාගේ පියා මියගිය ස්‌ථානය අනාවරණය කර ගන්නා ලදී. ඉන් පසුව එම ස්‌ථානයේ ස්‌මාරකයක්‌ තනනු ලැබීය. පසුව වැලෙන්ටිනා අවස්‌ථා කිහිපයක්‌ම තම පියාගේ ස්‌මාරකය නැරඹීමට පින්ලන්තයට සංචාරය කළාය. මෙය රුසියානු - පින්ලන්ත දේශ සීමාවේ ලෙමෙන්ට්‌ නම් ස්‌ථානයේ පිහිටා ඇත.

වැලෙන්ටිනා ඇතුළු පිරිස අභ්‍යවකාශ වැඩසටහනට තෝරා ගනු ලැබූ පසුව දැඩි කැපවීම හා දුෂ්කරතා සහිත පුහුණුවීම් අරඹන ලදී. බර රහිත තත්ත්වයන් යටතේ ඉහළ පියාසරියත් එකිනෙකාගෙන් වෙන්ව තැබීමේ පරීක්‍ෂණයත් කේන්ද්‍රාභිසාරි පරික්‍ෂණය, රොකට්‌ යානා ඉතිහාසය, අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව ආදී පරීක්‍ෂණ මෙන්ම පැරෂුට්‌ පැනීම් 120 ක්‌ සිදු කිරීම මිග් ගුවන් යානා පැදවීම සම්බන්ධ පුහුණුවද මේ අතර සුවිශේෂී විය.

සමස්‌ත අභ්‍යවකාශ ගගනගාමී කණ්‌ඩායමට ඉතා අසීරු හා අභියෝගාත්මක පුහුණු කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවිය. මෙම පුහුණු පාඨමාලාව 1962 වසරේ නොවැම්බර් මස අවසන් වූ අතර විශේෂ විභාගයකින් අනතුරුව ඔවුහු සෝවියට්‌ ගුවන් හමුදාවේ උප ලුතිනන්වරියන් ලෙස අධිකාරි නිලයට පත්කරන ලදී. පුහුණුව අවසානයේදී සෝවියට්‌ ගගන පර්යේෂණ කණ්‌ඩායමේ අරමුණ වූයේ 1963 වසරේ මාර්තු හෝ අප්‍රේල් අතර කාලයේදී එක ළඟ දින දෙකකදී අභ්‍යවකාශ ගාමිනියන් දෙදෙනකු උඩු ගුවන් ගත කිරීමයි.

මේ යටතේ වොස්‌ටොස්‌ 05 යානයේ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා උඩු ගුවන් ගත කිරීමත් ඉන් පසුව වොස්‌ටොන් 06 යානයේ පොනෝවෙරිකෝවා උඩු ගුවන් ගත කිරීමත් මූලික සැලසුම විය. එහෙත් පසුව සැලසුම වෙනස්‌ වූ අතර මෙහිදී වොස්‌ටොස්‌ 05 ෂටලයෙන් අභ්‍යවකාශගාමී වැලර් බිකෝස්‌ව් උඩු ගුවනට යෑවීමට තීරණය විය. මේ අනුව වොස්‌ටොස්‌ 06 යානයේ වැලෙන්ටිවා තෙරෙෂ්කෝවා අභ්‍යවකාශ ගතවීමට නියම විය. මෙම දෙවැනි සැලසුම අනුමත විය. ඒ වන විට තෙරෙෂ්කෝවා එතෙක්‌ උඩු ගුවනට පිවිසි ළාබාලතම ගගනගාමිනියාට වඩා අවුරුදු 07 ක්‌ පමණ වයසින් අඩුවීමද කැපී පෙනෙන කරුණක්‌ විය.

1963 වසරේ ජුනි මස 14 වැනි දින වොස්‌ටොස්‌ 05 අභ්‍යාවකාශ ගත විය. දිනය 1963 ජුනි මස 16 වැනි දිනය. එය අභ්‍යවකාශ ඉතිහාසයට තීරණාත්මක දිනයක්‌ විය. සුරූපී, සියුමැලි එහෙත් නිර්භීත සෝවියට්‌ දියණියක වූ 26 හැවිරිදි වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා උඩු ගුවන් ඉතිහාසය යළි රන් අකුරින් ලිවීමට සූදානම් වූවාය.

පෙර සූදානම් සියල්ල අවසන් විය. තෙරෙෂ්කෝවා වොස්‌ටොස්‌ 06 යානයට ඇතුළු කරන ලදී. යානය තුළදී ඇයට ආමන්ත්‍රණය කරන ලද්දේ Chaika යන නාමයෙනි. පසුව මෙම නාමය සිහිවීමට උල්කාපතයක්‌ද (1971 Chaika) නම් කරන ලදී.

උඩු ගුවන් ගමන ඇරැඹිය. ආරම්භයේදී තෙරෙෂ්කෝවාට වමනය සහ ඔක්‌කාර ගතිය දැනුණද, පසුව එය නොදැනී යන්නට වූවාය. ඇය පෘථිවිය වටා 48 වතාවක්‌ භ්‍රමණය විය. මේ සඳහා ගතවූ කාලය දින 03 කට ආසන්න ය. ඊට පෙර ඇමෙරිකානු ගගනගාමින් අභ්‍යවකාශයේ ගතකළ කාලවල එකතුවලට වඩා වැඩි කාලයකි. එය රුසියාව තුළ තෙරෙෂ්කෝවා යන නාමය දෙවැනි වනුයේ යූරි ගගාරින්ට පමණි. ඇය ඈත ක්‌ෂතිජයේ ඡායාරූපද ලබා ගත්තාය. විවිධ උෂ්ණත්වවලදී වායු ස්‌ථර හඳුනා ගැනීමට මෙම ඡායාරූප පසුව ඉවහල් විය.

රුසියානු අභ්‍යවකාශ වැඩසටහනේ අවසන් වොස්‌ටොක්‌ ව්‍යාපෘතියද වොස්‌ටොක්‌ 06 විය. ඊට පෙර උඩු ගුවනට ගිය වොස්‌ටොක්‌ 05 යානය උඩු ගුවනේ දින 05 ක්‌ පමණ ගත කළ අතර වොස්‌ටොක්‌ 5 සහ වොස්‌ටොක්‌ 6 යානා අභ්‍යවකාශයේදී කිලෝමීටර් 5 ක දුරකදී එකිනෙකට හමුවිය. මෙහිදී එම යානයේ සිටි වැලරි බිකෝෂ්වයි සමගද පෘථිවියෙහි වූ පාලන මධ්‍යස්‌ථානයේ ක්‌රූෂ්වෙච් සමගද තෙරෙෂ්කෝවා එකිනෙක පණිවුඩ හුවමාරු කර ගන්නා ලදී.

තෙරෙෂ්කෝවා සමග ප්‍රථම අභ්‍යවකාශ ගමනට පුරුදු පුහුණු වූ අන් කිසිදු කාන්තාවකට උඩු ගුවනට යැමට තරම් වාසනාවක්‌ හිමි නොවීය. රුසියාව 1969 වසර වන විට මෙම කාන්තා උඩු ගුවන් කණ්‌ඩායමද විසුරුවා හරින ලදී. තෙරෙෂ්කෝවාගෙන් පසුව නැවත වරක්‌ කාන්තාවක උඩු ගුවන් ගත වනුයේ ඊට වසර 19 කට පසුවය.

මෙම ඓතිහාසික අභ්‍යවකාශ ගමනෙන් අනතුරුව තෙරෙෂ්කෝවා දිගටම අභ්‍යවකාශ විද්‍යාව හදාරන ලද අතර 1977 වසර වන විට අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක්‌ දිනා ගැනීමට තරම් ඇය සමත්කම් දැක්‌වූවාය. ඒ සමගම ඇයට දේශපාලන තනතුරු ගලා එන්නට වූවාය.

ඇය සෝවියට්‌ දේශයේ ඉහළ පාලන මණ්‌ඩලයේ සාමාජිකත්වයද දැරූ අතර 1969 වර්ෂයේ සිට 1991 දක්‌වා කාල පරිච්ඡේදය තුළ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ මධ්‍යම කමිටුවේද සාමාජිකාවක්‌ වූවාය. කෙසේ වුවත් 1997 වසර වන විට ඇය විශේෂ ජනාධිපති නියෝගයක්‌ මත රුසියානු ගුවන් හමුදාවෙන් හා අභ්‍යවකාශ වැඩසටහන්වලින් විශ්‍රාම ගනු ලැබීය.

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා 1963 වසරේ නොවැම්බර් මස 03 වන තවත් දක්‍ෂ අභ්‍යවකාශගාමියකු වූ ඇන්ඩි්‍රයන් නිකොලෙව් සමග විවාහ වූවාය. මෙම විවාහයෙන් ඇයට එලීනා තෙරෙෂ්කෝවා නිකොලොව් නම් දියණියක ලද අතර දැනට ඇය වෛද්‍යවරියක්‌ ලෙස සේවය කරයි. එලීනාගේ සුවිශේෂීත්වය නම් අභ්‍යවකාශ ගතවූ මවකට සහ අභ්‍යවකාශ ගතවූ වූ පියකුට දාව උපන් ලොව ප්‍රථම දරුවා වීමය. බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිත අතරමඟදී දික්‌කසාදවලින් කෙළවර වන ලෙසින්ම ඇය 1987 වසරේදී තම ප්‍රථම සැමියාගෙන් වෙන් වූවාය. ඉන් පසුව ඇය සුලී සැෂොප්නිකොව් සමග විවාහ වූ අතර ඔහු 1999 වර්ෂයේදී මිය ගියේය.

තම ප්‍රථම අභ්‍යවකාශ ගමනින් අනතුරුව රටවල් ගණනාවක විදේශ සමුළුවලදී සෝවියට්‌ දේශය නියෝජනය කළ තානාපතිනිය වූයේ තෙරෙෂ්කෝවාය. මේ අතර 1969 ලෝක සාම සමුළුව, 1975 ජාත්‍යන්තර කාන්තා වර්ෂ සමුළුව ප්‍රධාන වෙයි. එසේම කෝපන්හේගන් කාන්තා සමුළුව, සමාජවාදී කාන්තා ව්‍යාපාරය ආදී රැස්‌වීම් රැසක ඇය පෙරමුණ ගත්තාය. මෙයට අමතරව සෝවියට්‌ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ඉහළ නිලතල රැසක්‌ම දරන ලද්දේ බොහෝ විද්‍යාඥයින් දේශපාලකයන් ප්‍රතික්‌ෂේප කරන සමයක ඊට විරුද්ධ දිශාවකට තම ජීවිතය මෙහෙයවමිනි.

වැලෙන්ටිනා තෙරෙෂ්කොවා විසින් දිනාගෙන ඇති සම්මාන හා සහතික ප්‍රමාණය අතිමහත්ය. මේ අතර සෝවියට්‌ සමාජවාදී රාජ්‍යයේ ඉහළ පිළිගැනීමක්‌ වන ජාතික වීර සම්මානය, ලෙනින් සම්මානය, ඔක්‌තෝබර් විප්ලව සම්මානය ප්‍රධාන ය. මෙයට අමතරව කාල් මාර්ක්‌ස්‌ සම්මානය එක්‌සත් ජාතීන්ගේ සාමය සඳහා වන සම්මානය, ජාතියේ සාමය සඳහා වන සම්මානය, වියට්‌නාම ජාතික වීර සම්මානය, චෙකොස්‌ලෝවැකියා ජාතික වීර සම්මානයද දිනාගෙන ඇත.

1990 වසරේදී එඩිම්බර් සරසවියෙන් සම්මාන ආචාර්ය පදවියකින්ද පුදනු ලැබීය. මෙයට අමතරව සෝවියට්‌ දේශය සහ රුසියාවේ රාජ්‍යයේ හමුදාවල ජෙනරාල් නිලයක්‌ දරන ලද ප්‍රථම සහ එකම කාන්තාව වන්නේද වැලෙන්ටිනා තෙරෙෂ්කෝවාය. අද දක්‌වා මෙම වාර්තාව බිඳ වැටී නැත.

සෝවියට්‌ දේශය බිඳ වැටීම සමග ඇයට රාජකාරීමය වශයෙන් ස්‌ථානය අහිමි වුවද යුරි ගගාරින්, ඇලෙක්‌සි ලෙනොව් හැරුණු විට එරට ඉහළම පිළිගැනීම ලද වර්තමානයේ පවා වීරවරියක ලෙස සලකන කාන්තා චරිතය ඇයයි. ඇය මේ වන විට තම දේශපාලන ජීවිතයෙන් සමුගෙන නිහඬ ජීවිතයක්‌ ගත කරන අතර ඇගේ අවසාන බලාපොරොත්තුව තමාට අවස්‌ථාවක්‌ ලද හොත් යළි කිසිදා පෘථිවියට නොපැමිණීමට අඟහරු බලා පියාසර කරන බවයි.

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා යනු පිරිමින් පය ගැසූ තැන තම ආධිප්‍යයය පතුරවන ලද දිරිය කතකි. උත්සාහය, අධිෂ්ඨානය, කැපවීම තුළින් නොසැලී විවිධ බාධක මධ්‍යයේ නොවැටෙමින් කාන්තාව යනු කුස්‌සිය මුල්ලට සීමා වූ චරිතයක්‌ නොවන බවත් ලොවට ක්‍රියාවෙන්ම ආදර්ශය කර පෙන්වූ අපේ කාලයේ සැමටද ආදර්ශයක්‌ වන වීරවරියන් බව සඳහන් කළ හැකිය.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.