අද ලෝක මානසික සෞඛ්‍ය දිනයයි

මිනිසා යනු සම්, මස්‌, ලේ නහරවලින් සමන්විත කිසියම් සුවිශේෂ ආකාරයක යන්ත්‍රයක්‌ නොවේ.

ඔහු වූ කලී සිතන්නෙකි. සිතීම මගින් ඔහු ලෝකය නිර්මාණය කරයි. ලෝකයට අවශ්‍ය දෑ නිෂ්පාදනය කරයි. ඒ සඳහා ඔහුට පිටිවහලක්‌ සපයන ඉන්ද්‍රිය හඳුන්වනු ලබන්නේ "මනස" යනුවෙනි. මනස විසින් මිනිසා වෙනත් සත්ත්වයන්ගෙන් වෙනස්‌ කරනු ලැබුවා පමණක්‌ නොව ඔහු මේ ලෝකයේ බිහිවූ ඕනෑම සත්ත්වයකුට වඩා උත්තරීතර තත්ත්වයකටද පත් කළේය. එහෙත් මේ ලෝකයේ ජීවත්වන හැම මිනිහාමත් උත්තරීතර සත්ත්වයකැයි එයින් අදහස්‌ කෙරෙන්නේ නැත.

මනසක්‌ තිබුණා වුව තිරිසනුන්ටත් අන්ත මිනිස්‌සුත් මනුෂ්‍ය සමාජයේ ජීවත්වෙති. මනසක්‌ තිබුණා වුව තිරිසන් සතකු කෙරෙහි තැබිය හැකි විශ්වාසයවත් තැබිය නොහැකි මනුෂ්‍යයෝද මනුෂ්‍ය සමාජයේ ජීවත්වෙති. එසේ වුවද, මනුෂ්‍යයන් වශයෙන් හැඳින්විය හැකි මනුෂ්‍යයන්ද මනුෂ්‍ය සමාජයේ තවමත් ජීවත්වන නිසා මිනිස්‌ සමාජය යනුවෙන් හැඳින්විය හැකි යමක්‌ මේ ලෝකයේ තවමත් තිබෙන්නේය.

මානසික රෝග යනු ඒ මනුෂ්‍ය සමාජයේ මනුෂ්‍යයන්ට වැළඳෙන රෝග විශේෂයකි. ඒවා සුවකළ හැකිය. සුවකළ යුතුය. අදට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය මේ දෙකරුණ අවධාරණය කරන බව අපගේ වැටහීමය.

මානසික රෝගවලට අදාළ රෝග විනිශ්චයන් සහ ප්‍රතිකාර විධීන් එතරම් දියුණු තත්ත්වයක නොතිබුණු පැරැණි ශත වර්ෂවල මානසික රෝගියා බිහිසුණු සත්වයකු වශයෙන් සැලකුණා පමණක්‌ නොව ඔහු සමාජයෙන් වෙන්කොට, කොන්කොට තැබිය යුත්තකු වශයෙන්ද සලකන ලද්දේය. එහෙත්, නූතන මානෝ වෛද්‍ය විද්‍යාවත් ඒ විසින් සොයාගනු ලැබූ සුවිශේෂ ප්‍රතිකාර ක්‍රමවේදත් අද ඉපැරැණි තතු මුළුමනින්ම වෙනස්‌ කරනු ලැබ තිබේ. ශාරීරික වශයෙන් රෝගී වූ මිනිසුන් නොසලකා නොහරින්නේ යම් සේද මානසික වශයෙන් රෝගී වූ මිනිසුන්ද අද කිසිදු ශිෂ්ට සමාජයක්‌ විසින් නොසලකා නොහරී.

ලෝකයේ වෙනත් රටවල කෙසේ වෙතත් අද ශ්‍රී ලංකාව තුළ මානසික රෝගීන් බිහිවීමේ ප්‍රවණතාව වැඩිය. මේවාට විවිධ හේතූන් තිබිය හැකිය. බොහෝ සමාජ මනෝවිද්‍යාඥයන් අවධාරණය කරන ආකාරයට ඒ සඳහා පවත්නා සමාජ, ආර්ථික හා දේශපාලනික විෂමාචාරයන් ගේ සෘජු සම්බන්ධයක්‌ද තිබිය හැකිය. කාගේත් පිළිගැනීම් අනුවත් සම්ප්‍රදයානුකූලවත් ගොඩනැගුණු සමාජ සැකැස්‌මත් අමු අමුවේ උල්ලංඝනය කරන දේශපාලනඥයන්, විවිධ සමාජ තක්‌කඩීන් ආදීන් නිසා අද සමස්‌ත සමාජයම එක්‌තරා මානසික අවපීඩනයකට ලක්‌ව ඇති බව පෙනෙයි. දේශපාලන බලයෙන් මත්වූවෝ ප්‍රසිද්ධියේම මිනිසුනට පහර දෙති. ස්‌ත්‍රීන් දූෂණය කරති. බලය අයුතු ලෙස යොදවති. පොලිසියද නීතියද ඉතාම ලඡ්ජාසහගත නිහඬතාවකට පත්කරති. මේ සමාජ, මානසික අවපීඩනය දරාගත නොහැකි මිනිසුන් මානසික රෝගීන් නොවී අන්කවර රෝගීන් පිරිසක්‌ බවට පත්වන්නද?

මේ හැරුණු කොට සාම්ප්‍රදායික මානසික රෝගවලින් පෙළෙණ අසරණ මිනිසුන් බොහෝ පිරිසක්‌ද අදාළ ප්‍රතිකාර සඳහා නොයොදවන ප්‍රවණතාවක්‌ තවමත් මේ රටේ තිබේ. සමාජයේ මානසික රෝගීන් අරභයා තවමත් පවත්නා වැරැදි සහ පසුගාමී ආකල්ප මත ඉක්‌මනින් සුවකළ හැකි මානසික රෝගී තත්ත්වයන් පවා සඟවා සිටින පිරිස බහුලය.

මෙම රෝගීන් තමන් වෙත එනතුරු නොසිට ඔවුන් සොයා ගොස්‌ ප්‍රතිකාර කිරීමට තරම් දයාර්ද වූ මනෝ වෛද්‍යවරුන් පිළිබඳවද අපි දනිමු. එහෙත්, මානසික රෝග අරභයා අප සමාජයේ තවමත් නිවැරැදි කතිකාවක්‌ ගොඩනැගී නොමැතිකම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු කිසිවක්‌ තවමත් විසඳෙන පාටක්‌ දක්‌නට නැත.

අප පෙර සඳහන් කළ ආකාරයේ සමාජමය කරුණුත්, පවුල් ආශ්‍රිතව හා හුදු පුද්ගල තත්ත්වයන් මත පැන නඟින කරුණුත් හේතුකොට ගෙන ශීඝ්‍රයෙන් පිරිහෙන මානසික සෞඛ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කළහැකි මහඟු මෙහෙවරක්‌ තිබේ.

අද ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ඔබගේ අවධානය විශේෂ වශයෙන් දිනාගත් මෙම ක්‍ෂේත්‍රය අදින් පසු අමතක නොකිරීම එහි පළමු පියවරය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.