බල සීමාව තේරුම් ගැනීම

අධිකරණය හා විධායකය අතර පවතින ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අත්දැකීම් තිබෙන නමුත්, ඒවා රටට බියජනක අත්දැකීම් ලබාදෙන තැනකට පත්වූයේ නැත. යම්තාක්‌ දුරකට තමන්ගේ බලසීමාවෙන් පැන අනෙකාගේ සීමාවට අත දාන තැනට මේ දෙගොල්ලන්ම ගියද එය රටේ පෙරළිකාර ගැටලුවක්‌ නොවීය. ඒ සඳහා ප්‍රධාන හේතුව වූයේ විධායක ජනාධිපති තනතුරය.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරන්නේ පාර්ලිමේන්තුව මගින් නොවේ. රටම එක ආසනයක්‌ ලෙස ගෙන ජනතාවගේ ඡන්දයෙනි. ඒ තුළ ද ජනතා කැමැත්තෙන් 50% ට වැඩි ඡන්ද සංඛ්‍යාවක්‌ ඔහු ලබාගත යුතු අතර එසේ නොවුනහොත් දෙවැනි මනාපය ගණන් කිරීම ද සිදුවේ. අධිකරණයට ද ඉහළින් සිටීමේ බලය විධායක ජනාධිපතිවරයාට ලැබෙනුයේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය මගින් සෘජුවම ඔහු හෝ ඇය පත්වන නිසාය. මේ නිසා අධිකරණය හා විධායකය අතර ගැටුමක්‌ පැමිණිය ද එම දෙපාර්ශ්වයටම බලය සමතුලිත වෙමින් ප්‍රශ්නය දිගට ඇදෙනවා වෙනුවට අධිකරණයට ඉහළින් සිටිනා විධායකය සටනින් ජයගැනීමේ ඉඩකඩ තිබෙන නිසා එවැනි තත්ත්වයකින් රට අවුල් ජාලාවක්‌ වීමේ ඉඩකඩ නැත. පාකිස්‌තානයේ අගවිනිසුරු හා අගමැති අතර ඇති වූ ගැටුම හේතුවෙන් එරට අරාජික තත්ත්වයක්‌ නිර්මාණය වුවත් එවැනි තත්ත්වයක්‌ ශ්‍රී ලංකාව විෂයෙහි ඇති නොවන්නේ මේ නිසාය.

දැන් යළිත් පැමිණ තිබෙන්නේ විධායකය හා අධිකරණය අතර ගැටුමක්‌ද?

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් මාධ්‍ය ප්‍රධානීන් කැඳවා අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විවේචනයක්‌ එල්ල කළේය. එම කතාව බොහෝ දෙනකු තේරුම් ගත්තේ විධායකය හා අධිකරණය අතර ගැටුමක්‌ ලෙසය. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ ක්‍රියා පටිපාටිය විවේචනය කිරීම, අධිකරණ ක්‍රියාවලියක්‌ විවේචනය කිරීම හෝ අධිකරණයට බලපෑම් කිරීමක්‌ ලෙස සැලකිය නොහැකිය.

රටක තිබිය යුත්තේ නීතියේ ආධිපත්‍යයයි. සමාජ සංස්‌ථා සියල්ලටම ඉහළින් නීතිය තබා ඇත්තේ එම සංස්‌ථා පාලනය වන අවසාන රාමුවත්, උසස්‌ පහත් භේදයකින් තොරව සමාජයේ සිටින සියලුම පුද්ගලයන් සඳහා සාධාරණය ඉෂ්ටවීමත් සඳහාය.

නීතියේ ආධිපත්‍යය සමාජයකට අත්‍යවශ්‍යය. එම ආධිපත්‍යයේ ප්‍රබලතාවය නිසාම එය ක්‍රියාත්මක කරන හා අරුත් පසිඳන පුද්ගලයන්ගේ ආධිපත්‍යයට සමාජයට නතුවීමට සිදුවී තිබේ. එය, එම වෘත්තියේ පැවැත්ම සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට තිබිය යුතු වුවත්, සමහර අවස්‌ථාවල අත්විඳීමට සිදුවී තිබෙන්නේ නීතියේ ආධිපත්‍යය නොව එම පුද්ගලයන්ගේ ආධිපත්‍යයය. එය ද සාධාරණ තත්ත්වයක්‌ නොවේ. බැලූ බැල්මට රට තුළ විවේචනයට ලක්‌වන්නේ අධිකරණයට විධායකයෙන් හෝ අන් ආයතන මගින් එල්ල වන බලපෑම්ය. ඒ සඳහා හේතු වන සුළු සිද්ධියක්‌ වුවද නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්‌වාධීනත්වය යන තත්ත්වය රැක ගැනීම සඳහා විවේචනයට ලක්‌වේ.

නමුත් අධිකරණය විසින් කරන වැරැදි සඳහා එවැනි විවේචන එල්ල වූයේ අඩුවෙනි. වික්‌ටර් අයිවන් වැනි විවේචකයකු එම කාර්ය භාරය ඉටු කළ ද එවැනි විශේෂ අවස්‌ථාවලදී හැර අනිකුත් සෑම තැනකදීම විවේචනයට ලක්‌වූයේ අධිකරණයට සිදුවන බලපෑම්ය. මෙය එක්‌තරා අන්දමකින් නීතියේ ආධිපත්‍යය සුරැකීමක්‌ ද විය.

නමුත් අධිකරණය සම්බන්ධ ගැටලු තිබේ නම් ඒවා ද කතා කිරීමේ අයිතියක්‌ අන් අයට තිබේ. එම ආයතනවල පවතින ප්‍රශ්න, ඒවායේ බලය හොබවන පුද්ගලයන්ගේ වැරදි ඇතොත් ඒවා කතා කිරීම, නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමක්‌ නොවේ.

ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විසින් අගවිනිසුරු ලෙස පත් කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වූ නෙවිල් සමරකෝන් මහතාය. ඡේ. ආර්. ගේ ක්‍රියා කලාපයට එරෙහිව නීතිය ඉදිරියේදී, නෙවිල්, සමරකෝන් විසින් ඡේ. ආර්. හා ඔහු අතර තිබූ හිතවත්භාවය හේතුවක්‌ කරගත්තේ නැත. මෙම තත්ත්වය අවසානයේදී ඡේ. ආර්. හා නෙවිල් සමරකෝන් අතර විරසකයක්‌ බවට පත්ව තිබිණි. නෙවිල් සමරකෝන් විසින් දෙන ලද තීන්දු මගින් උත්සාහ ගැනුණේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට මිස ඔහු විසින් අනාගතයේ දේශපාලන තරගයකට ඉදිරිපත් වීම නොවේ. නෙවිල් සමරකෝන් විශ්‍රාම ගිය පසු දේශපාලන පක්‍ෂයකට ආධාර කරන තැනකට හෝ තනතුරකට තරග කරන්නට නොගිය අතර ඔහු ඇත්තටම විශ්‍රාම ගියේය. එමගින් පෙන්නුම් වූයේ ඔහු හා ඡේ. ආර්. අතර ඇති වූ ගැටුම නෙවිල් සමරකෝන් විසින් අනාගත දේශපාලන තනතුරු ගැන බලාපොරොත්තුවක්‌ මත සිදු නොවූවක්‌ බවය.

ඡේ. ආර්. විසින් සිය මිත්‍රකම මත නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයට පත්කළත් ඔහු එම මිත්‍රත්වයට තැන දෙනවා වෙනුවට රාජකාරියට තැන දුන්නේය. නෙවිල් සමරකෝන්ගේ ක්‍රියාකලාපය එසේ නොවන්නට ඡේ. ආර්. ගේ පත්කිරීම මගින් රටේ නීතිය වල් වදින්නට ඉඩ තිබිණි.

මෙයින් ලත් අත්දැකීමෙන් ඡේ. ආර්. පාඩමක්‌ ඉගෙන ගත්තේය. ඔහු විසින් ඊළඟ අගවිනිසුරු පත්කරන ලද්දේ ඉල්ලා අස්‌වීම ලබාගැනීමෙන් පසුය. දින රහිත ඉල්ලා අස්‌වීම් ලිපියක්‌ තමන්ට දෙන ලෙස අගවිනිසුරු ලෙස පත්වීමට සුදුසුකම් කියූ රාජා වනසුන්දර මහතාට ඡේ. ආර්. විසින් දන්වා තිබිණි. වනසුන්දර මහතා, එයට නොකැමැති වූ අතර දින රහිත ඉල්ලා අස්‌වීම ලබාදුන් විනිසුරුවරයාට අගවිනිසුරුකම ලැබිණි.

චන්ද්‍රිකා විසින් අගවිනිසුරු පුටුවට රැගෙන එන ලද්දේ තමන්ගේ හිතවතෙකි. පියවරෙන් පියවර ඔහු අගවිනිසුරු පුටුවට රැගෙන ආ අතර ඒ සඳහා සුදුසුකම් තිබූ පිරිස්‌ අධිකරණයට ආයුබෝවන් කියා ගෙදර ගියේය. සරත් සිල්වා විසින් දෙන ලද තීන්දු හේතුවෙන් චන්ද්‍රිකා හා ඔහු අතර අමනාපයක්‌ ගොඩනැගුණේය. මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණි පසු ද සරත් සිල්වා සමඟ මහින්ද අතර යම් අමනාප තත්ත්වයක්‌ ගොඩනැඟුණු අතර සරත් සිල්වාගේ බලාපොරොත්තුව වී තිබුණේ විශ්‍රාම යැමෙන් පසු දේශපාලන පිටියට පිවිසීමය. මේ නිසා ඔහු හා විධායකය අතර ඇති වූ සිද්ධිය, සරත් සිල්වා විසින් තමන්ගේ දේශපාලන ඉදිරි ගමන සඳහා සකස්‌ කරගත් මාර්ගයක්‌ බව බොහෝ දෙනාගේ වැටහීම විය.

එසේ බලනවිට ඡේ. ආර්. විසින් නෙවිල් සමරකෝන් අගවිනිසුරු කරන ලද්දේත්, සරත් සිල්වා විසින් මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව සමඟ ගැටුම් ඇතිකර ගත්තේත් නීතියේ ආධිපත්‍යය සුරැකීමට නොව තමන්ගේ ආධිපත්‍යය රැක ගැනීමටය. දේශපාලකයන් සේම විනිසුරුවන් ද එවැනි ක්‍රියාවල යෙදී තිබේ.

මහින්ද රාජපක්‍ෂ බලයට පත්වී සරත් සිල්වා සමඟ යම් ඝට්‌ටනයක්‌ ඇති වුවත් එය එතරම් දුර දිග යැමට කාලයක්‌ නොවීය. අර්බුදයෙන් පසුව මහින්ද විසින් ඡේ. ආර්. මෙන් ඉල්ලා අස්‌වීමේ ලියුම් රැගෙන නව අගවිනිසුරුවරයා පත් නොකළේය. එසේම ඡේ. ආර්. හා චන්aද්‍රිකා මෙන් එළියෙන් හිතවතුන් රැගෙනවිත් අගවිනිසුරු කළේ ද නැත. ඒ වෙනුවට සිදුකළේ පටිපාටිගතව අගවිනිසුරුවරුන් පත්කිරීමය.

එසේ තිබියදී මහින්දට අධිකරණයට බලපෑම් කරනවා යෑයි චෝදනා එල්ල වී තිබෙන්නේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට පිරිසක්‌ පහරදීම නිසාය. ජනාධිපතිවරයා විසින්ම, මාධ්‍ය ප්‍රධානීන්ට, මංජුqල තිලකරත්නගේ ක්‍රියාකලාපය ගැන විවේචනය කර ජනාධිපතිගේම අනුදැනුම ඇතිව මංජුල තිලකරත්නට පිරිසක්‌ පහර දෙනවා යෑයි කීම විශ්වාස කිරීමටත් අමාරුය. මංජුල තිලකරත්නට කවුරුන් මේ මොහොතේ පහර දුන්නත් එයට හසුවන්නේ මහින්දය. නමුත්, මහින්ද රාජපක්‍ෂ විසින් එළිපිට මංජුලව විවේචනය කර, ඔහුට පහර දුන්නා යෑයි සිතිය හැකිද? ලසන්ත වික්‍රමතුංගගේ සිද්ධිය ගත්තත් මෙවැනිය. ලසන්ත ඝාතනයට රටෙන් බැණුම් ඇසුවේ මහින්දය. නමුත් ඝාතනය පිටුපස සිටියේ වෙන අයය.

කෙසේ වෙතත් මංජුලට පහරදීම ගැන පරීක්‍ෂණයක්‌ කර එහි වරදකරුවන් අල්ලා ගැනීම ආණ්‌ඩුවේ කර්තව්‍යයකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.