අද සිට අධිකරණ කටයුතු යළි ඇරැඹේ
අධිකරණයේ නිදහසට යෝජනා මාලාවක්‌

සරත් ධර්මසේන, සමන්ත ඉලේපෙරුම

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩිව හෙළා දකිමින් නීතියේ පාලනය සහ අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා මාලාවක්‌ ශ්‍රී ලංකා අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය ඊයේ (09 දා) රැස්‌වෙමින් ඒකමතිකව සම්මත කර ගන්නා ලදි.

ශ්‍රී ලංකා අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය ඊයේ (09 දා) කොළඹ දිසා අධිකරණයේදී විශේෂ මහා සභා රැස්‌වීමක්‌ පවත්වමින් ඒ සම්බන්ධයෙන් යෝජනා මාලාව සම්මත කරගනු ලැබීය.

දිවයින පුරා විසිර සිටින මහෙස්‌ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා නිලධාරීන් සියයකට අධික ප්‍රමාණයක්‌ රැස්‌ව සිටි මේ විශේෂ මහා සභා රැස්‌වීම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ මැර ප්‍රහාරය සහ මෑතක සිට අධිකරණයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන්ද ඒ ආශ්‍රිතව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කිරීමේ අරමුණින් කැඳවා තිබිණි.

ඒ අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ලවූ මැර ප්‍රහාරය දැඩිව හෙළා දකිනු ලැබූ අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය නීතියේ පාලනය සහ අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් යෝජනා මාලාවක්‌ ඒකමතිකව සම්මත කර ගනු ලැබූ අතර ඊට කඩිනම් පියවර ගැනීමටත් වැඩිදුරටත් තීරණය කරනු ලැබීය.

කෙසේ වුවද ඊයේ (09 දා) වනතුරුත් මහෙස්‌ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන් අධිකරණ කටයුතුවලින් බැහැර විම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව සැලකිල්ලට ගත් එම සංගමය අද (10 දා) දින සිට සුපුරුදු පරිදි අධිකරණ කටයුතු පවත්වා ගෙන යැමටද තීරණය කරනු ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.