සිහින සැබෑ වී සතුට දෝරෙ ගලා....

බටහිර ඉන්දීය කොදෙව් වැසියන්ගේ ඒ හෝරා කිහිපය ජයග්‍රහණයේ උමතුවෙන් දෝරේ ගලා ගියේය. ඔවුහු නොනිදා ජයග්‍රහණයේ සතුට සැමරුහ. ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ට ඒ හෝරා කිහිපයෙන් පසු ඇසට නැගුණු කඳුළු මහ ගංවතුරක්‌ සේය. ඇතැමුන් දිවි නසා ගත්හ. කොදෙව්වෝ තවමත් ජයග්‍රහණයේ සතුට සමරති. කොදෙව් ප්‍රේක්‍ෂකයෝ ජයග්‍රහණයේ සතුට සමරන අතරවාරයේ ලෝක ක්‍රිකට්‌ විරුවන්ව මහත් හරසරින් පිළිගනිමින් දහසින් බැඳි පියලි වලින් ඔවුන්ට ත්‍යාග සප්පායම් කිරීමටද එරට බලවතුන් පෙළ ගැසී සිටින බව වාර්තා වේ.

ජයග්‍රාහී 20-20 ලෝක ක්‍රිකට්‌ කිරුළ තුරුලු කරන් ඩැරන් සමී ප්‍රමුඛ කොදෙව් ක්‍රිකට්‌ නඩය කොළඹ බණ්‌ඩාරනායක ගුවන් තොටුපළින් සිය මවුබිම බලා පියාසර කළේය. වසර 33 කින් එනම් ක්‌ලයිව් ලොයිඩ් 1979 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමට ලෝක ක්‍රිකට්‌ කිරුළක්‌ දිනා දීමෙන් පසු ඉකුත් 7 වැනිදා යළි එවැනිම කිරුළක්‌ දිනා ගැනීමට ඩැරන් සමීගේ නායකත්වයෙන් යුත් කොදෙව්වෝ සමත් වූහ.

'මේ කුසලාන කොදෙව් වැසියන්ටයි. ඔවුන් තරම් සතුටු වන කිසිදු ජනතාවක්‌ නැති බවයි මට දැනෙන්නේ. කොදෙව්වෝ දැනටමත් මග තොටේ හොඳ හැටි විනෝද වෙනවලු. ඔවුන් රෑ එළිවෙනකම් නොනිදා අපේ ජයග්‍රහණය සමරනවා.' යනුවෙන් කොදෙව් නායක ඩැරන් සමී සිය මවුබිමට යැමට පෙර පැවසීය.

වාර්තා වන අන්දමට කොදෙව් වැසියෝ මේ අවසන් මහා තරගය නැරඹීම සඳහා නොනිදා පහන් කර ඇත. ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7. ට තරගය ඇරඹුනද එය කොදෙව්වන්ට මහ පාන්දරය. එනම් අළුයම 3.00 ට පමණය. කවදත් විනෝදයට බර කොදෙව් ජනතාවට එදින ජයග්‍රහණයේ සතුට ඉහ වහා ගිය දිනයකි. ඔවුන්ගේ අවන්හල් සහ ආපන ශාලා ඉකුත් හයවැනිදා සිටම මහ පෝලීම් තිබී ඇත. පසුදින කාර්යාල රාජකාරි අතපසු කර ගනිමින් එදින පුරා ඔවුන් ප්‍රීති වී ඇත. පපරෙ සංගීතය, ගන්ග්හම් නර්තනයෙන් කොදෙව් දූපත් වැසියෝ ඇති හැටියට විනෝද වූහ.

කොදෙව් ජයග්‍රහණයට සියඑම සෑම කොදෙව් පුවත්පත් මුල් පිටු පිරී තිබුණේ සමී ප්‍රමුඛ ක්‍රිකට්‌ ශූරයන්ගෙනි. මේ අතර ඇතැම් පුවත් පත් සඳහන් කර සිටියේ 'දස වසරක කොදෙව් වේදනාව නිමා වෙයි' යනුවෙනි. මේ අතර තවත් පුවත්පත්වල, 'කොදෙව්වන්ගේ ගන්ග්නම් වලින් ශ්‍රී ලංකාවට සිහි නැතිවෙයි', 'සැමුවෙල්ගේ නර්තනයෙන් කොදෙව්වෝ ජය පැන් බොති' වැනි ශීර්ෂ පාඨද සටහන් විය.

ඉකුත් දශකයක කාලය කොදෙව් ක්‍රිකට්‌ වලට කණ කොකා හැඩූ වකවානුවක්‌ විය. එම කාල පරාසය තුළ ඔවුන් පරාජයෙන් හෙම්බත් වූහ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ සහ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය අතර නිතර නිතර ආරවුල් ඇති විය. ශ්‍රේණිගත කිරීම්වල අවසන් ස්‌ථානයටම වැටිණි. එබැවින් නවක ක්‍රීඩකයකු වූ ඩැරන් සමීට මීට දෙවසරකට පෙර කොදෙව් ක්‍රිකට්‌ ඔටුන්න හිමිවිය.

'අපේ ක්‍රිකට්‌ යළි නගා සිටිවන්න නම් ලෝක ක්‍රිකට්‌ ජයග්‍රහණයක්‌ අවශ්‍යයි.' යනුවෙන් කොදෙව් හිටපු නායක ක්‌ලයිව් ලොයිඩ් පවසා සිටියේය. එබැවින් අවසන් මහා තරගයට පෙර දිනයේදී ඔහු කොදෙව් නායක ඩැරන් සමීට පවසා ඇත්තේ, 'කොදෙව් ක්‍රිකට්‌ යළිත් 60-70 දශකය මෙන් ජනප්‍රිය කිරීමට මේ ජයග්‍රහණය වැදගත් වේ. දිගටම ඔහෝම හොඳට කරගෙන යන්න. මෙහෙ වැසියෝ ජයග්‍රහණය මහ ඉහළින් සමරන්න දැනටමත් පෙළ ගැසී සිටිනවා.' යනුවෙනි.

දැන් කොදෙව්වෝ යළිත් ලෝක ක්‍රිකට්‌ ශූරයෝය. කොදෙව් වැසියන්ට දැන් ක්‍රිකට්‌ 'ඇම්ම' තදින් දැනෙන්නට පටන් ගෙන තිබේ. මෙම ජයග්‍රහණය කොදෙව් ක්‍රිකට්‌ යළි කොතරම් කාලයක්‌ වැජඹේද? නැතහොත් 60-70 දශකය මෙන්ම කොදෙව් ක්‍රිකට්‌ යළි දළු ලා වැඩේද?

එය කාලය විසින් තීරණය කරනු ඇත.

අසේල විතාන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v