2/3 බලය ප්‍රයෝජනයට ගනිමින් 13 වන
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඉඩම් හා පොලිස්‌
බලතල ඉවත් කරන්නැයි බලකරනවා

- ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර

තුෂාරී කළුබෝවිල

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉවත් කිරීමට පෙර එම ව්‍යවස්‌ථාවේ ඇතුළත් ඉඩම් බලතල හා පොලිස්‌ බලතල වහාම ඉවත් කළ යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

හෙතෙම එසේ පැවසුවේ ඊයේ (16 වැනිදා) කොළඹ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩිනමින් ඉවත් කළ යුතු බවට පසුගිය දිනක ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කළ බවත්, එම ප්‍රකාශය කරන්නට තිබුණේ මීට වසර තුනකට පෙර මේ රටේ යුද්ධය නිමවූ වහාම බවත් අමරසේකර මහතා පැවසුවේය.

ප්‍රමාද වී හෝ එම තීරණ ගැනීම යහපත් වුවත්, එය එතරම් පහසු නොවන බැවින්, පාර්ලිමේන්තුවේ 2/3 බලය ප්‍රයෝජනයට ගනිමින් වහාම 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇතුළත් ඉඩම් හා පොලිස්‌ බලතල ඉවත් කරන ලෙස රජයට බල කරන බවද හෙතෙම පැවැසීය.

යම් හේතුවකින් උතුරු හා නැගෙනහිර පළාත් සභාවල ජාතිවාදී බෙදීමකට යටත්ව පළාත් සභාව බිහි වුවහොත් මේ රටේ යුද්ධයට වඩා භයානක තත්ත්වයක්‌ උද්ගත වනු ඇතැයි මෙහිදී අදහස්‌ දක්‌වමින් දේශප්‍රෙAමී භික්‌ෂු පෙරමුණේ පූජ්‍ය කොටපොළ මංගල හිමියෝ සඳහන් කළහ.

ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා අදහස්‌ දක්‌වමින් පැවසුවේ, "දිවි නැගුම" පනත සමග වහාම පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස අධිකරණ නියෝගයක්‌ ලැබුණහොත්, එයින් පසුව 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විරුද්ධ වීමෙන් කිසිම ප්‍රතිඵලයක්‌ නොවනු ඇති බවයි.

මෙහිදී අදහස්‌ දක්‌වමින් ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ පළාත් සභාවට බලය බෙදාහැරීම වහාම අවලංගු කර ප්‍රාදේශීය සභාවට පූර්ණ බලතල ලබාදීමෙන් ග්‍රාමීය සංවර්ධනය ගොඩනැගෙන බවයි.

සිංහල ජාතික ව්‍යාපාරයේ පණ්‌ඩුල ඇඳගම මහතාද මෙම අවස්‌ථාවට සහභාගි වෙමින් පැවසුවේ ජාත්‍යන්තර බලවේග මේ රටට දැඩිව බලපෑම් කරන්නේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පිහිටෙන් බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.