සංස්‌කරණය : නාරද නිශ්ශංක

මා දුටු සුනිල් ගී මඟ

ප්‍රවීන ගීත රචක සුනිල් ආර්. ගමගේ විසින්
රචනා කරන ලදුව මෙරට ගීත සාහිත්‍යයට මුසුවූ රසාලිප්ත ගීත ඇතුළත් "ඔබ පෙම් කරනා" සංයුක්‌ත තැටි 6 ක්‌ ඇතුළත් ඇල්බමයක්‌ ඉකුත් සතියේ එළිදැක්‌විණි. ඔහු පබැඳූ ප්‍රතිභාසම්පන්න අපේ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් ගැයූ ගීත එකම ගී ඇල්බමයකින් රස විඳීමේ විරල අවස්‌ථාව ඔබට උදාකරදී ඇත්තේ මෙරට පුරෝගාමී කැසට්‌ නිෂ්පාදන සමාගමක්‌ වන නුගේගොඩ සින්ග් ලංකා වෙතිනි. 0712748850 වෙතින් ඔබට මේ පිළිබඳව තවත් දැනගත හැකිය. ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශයන් ලියන මේ සටහන "ඔබ පෙම් කරනා" දොරට වැඩුම නිමිත්තෙනි.

සුනිල් ආර්. ගමගේ නම් වූ තරුණ නිර්මාණකරුවාගේ ප්‍රවිෂ්ටය සිදුවූයේ ද සිංහල ගීතයේ ස්‌වර්ණමය යුගය ලෙස සැලකෙන හැත්තෑව දශකයේ ආරම්භයත් සමඟය. ජනප්‍රිය ගී තනු වලට අනුව අලුතින් පද රචනා කර පාසල් වේදිකාවේදී ගැයීමෙන් ගීතට හා ඇරැඹි ළෙන්ගතුකම ලාංකේය ගීත ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛ ගේය කාව්‍ය රචකයකු දක්‌වා ඔහු පැමිණි ගමනේ මුල් පියවර විය. පන්තියේදී කුරුටු ගෑ කව් පද නෙත ගැටුණු ගුරුතුමියගේ අතහිත තුළින් සුනිල්ගේ නිර්මාණ "මිහිර" ළමා පුවත්පතට යොමුවූයේ එතුමිය එවක මිහිර කර්තෘවරයාව සිටි විමලසිරි පෙරේරා කිවිඳුන්ගේ දයාබර බිරිඳ වූ හෙයිනි. නිර්මාණාත්මක ලේඛනයෙහි අංකුර කුසලතා ප්‍රකට කළ සුනිල් මිතුරකුගේ මාර්ගයෙන් සුජාතා අත්තනායක යුවළ හඳුනාගත්තේ පාසල් බිමෙන් නික්‌මීමටත් පෙරාතුවය.

ගීත පටිගත කිරීමක්‌ නැරඹීමේ ආශාව ඉටුකර ගැනීමට ඔහු අවස්‌ථාව ලබා ගන්නේ සිය දෛවෝපගත නිර්මාණ චාරිකාවේ දොරටු විවර කර ගනිමිනි. ඒ තමන් ජීවිතයේ මුලින්ම හඳුනාගත් ශිල්පිනිය වූ සුජාතාවන්ගේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකි. එදින වැඩසටහන සඳහා එක්‌ ගීතයක අඩුවක්‌ තිබුණු බව දැනගත් සුනිල් සිය මතකයේ තිබූ කව් පද කිහිපයක්‌ ලියා වාදක මණ්‌ඩලයේ සිටි නෙවිල් ප්‍රනාන්දු නම් වූ දක්‌ෂ සංගීතඥයාට ලබා දුන්නේය. ඔහු එවේලේම ගිටාරයේ තත් පිරිමදිමින් නිර්මාණය කළ මධුර තනුව තුළින් සුනිල් ආර්. ගමගේ නම්වූ ගීත රචකයාගේ ගමන ඇරැඹිණි. සුජාතාවන් ගැයූ "මංගල කසී සළු" ගීතය බිහිවූයේ එපරිද්දෙනි. පසුව ඔහුගේ ප්‍රථම පූර්ව නිර්මිත තනුවකට ලියෑවුණ ගීතය බිහිවූයේද මොහොමඩ් ගවුස්‌ගේ තනුවකට අනුව සුජාතාවන් වෙනුවෙනි. ඒ. "පෙම්වත තරහාවෙලා" ගීතයයි. මේ ගී දෙකම ඉමහත් සේ ජනප්‍රිය වීම නවකයකු ලෙස ඔහු ලද ජයග්‍රහණයක්‌ විය.

ගීත රචකයකු ලෙස ස්‌ථාවර ආරම්භයක්‌ හිමිකර ගත්තද සුනිල්ගේ ජීවිතය පුරා විහිදුණු අධිවේගයෙන් තොර නිහඬ තැන්පත් ගීත කලාව තුළ අද මෙන්ම එදාත් ප්‍රසිද්ධිය, ලාභාපේක්‌ෂාව, ජනප්‍රියත්වය හඹායැම වැනි පටු අපේක්‌ෂාවන් නොවීය. ඔහුගේ අතිශය ජනප්‍රියත්වයට පත් "ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය" ගීතය බිහිවූයේද ගුවන් විදුලියේ නව පදමාලා වැඩසටහනට තැපෑලෙන් යොමු කළ පද මාලාව ගුණදාස කපුගේ වෙත යොමුවීමෙනි. ගුවන්විදුලියේ යෞවන සමාජය වැනි වැඩසටහන්වලට සහභාගි වුවද, ජනප්‍රිය ගීත කිහිපයකින් නමක්‌ ගොඩ නැගී තිබුණද ඔහු ගායන ශිල්පීන් සමඟ සබඳතා ගොඩ නඟා ගැනීමේ යුහුසුලු වූවෙක්‌ නොවීය. සුනිල් එදිරිසිංහයන් සරල ගී වැඩසටහනකට තෝරාගත් "පුර පෝය හඳට" ගීතයද ඔහු තැපෑලෙන් යෑවූ පද වැලකි. රෝහණ වීරසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි ගීතය වූ "සමාවෙන්න ගුරුතුමාණෙනි" ගීතයද සුනිල් නව පද මාලා වැඩසටහනට යොමු කළ ගීතයකි.

මා සුනිල් ආර්. ගමගේ නම් ගීත රචකයා සොයා ගියේ ඔහුගේ ප්‍රථම ගීත ත්‍රිත්වයෙන් ලද ආශ්වාදයෙනි. අපූර්වත්වය හා වදන් භාවිතයේ වූ සරල, සුගම, නැවුම් මාධූර්යය තුළින් ඔහුගේ රසිකයකු බවට පත්වූ මම සුනිල් පිළිබඳව ආතර් යූ. අමරසේන යන් සංස්‌කරණය කළ "සුරතුර කලා සංග්‍රහයට" විශේෂාංගයක්‌ රචනා කළෙමි. 1976 දී වූ එම හමුවීම අපගේ යාවජීව මිත්‍රත්වයෙහි ආරම්භය විය.

සුනිල් ඒ වනවිට පොල් වගා කිරීමේ මණ්‌ඩලයේ රාජකාරියෙහි නිරතව සිටියේය. පාසලේදී විද්‍යා විෂයයන් හදාළ ගණිතය ඉගැන්වීමෙහිද නිරත සුනිල් ගීත පද ප්‍රබන්ධකයකු වීම එකල අපට අරුමයක්‌ විය. ඒ අප පාසල් වියේදී දැන හැඳින සිටි සියලුම කලා ළැදි සොයුරු සොයුරියන් කලා විෂයයන් හදාරන්නන් වීම නිසාය. ඒ විශේෂත්වයද අපගේ අවධානය ඔහු වෙත වෙසෙසින් යොමු වීමට හේතු විය. ඉන්පසු අපි දෙදෙනාම ගුවන්විදුලියේ යෞවන සමාජය තුළින් නැවත නැවත හමුවුණෙමු. රජයේ රැකියාවට අමතරව ගීත රචකයකු ලෙස මේ වනවිට ගී තැටි, කැසට්‌ හා චිත්‍රපට සඳහා මා බහුලව ගීත රචනයෙහි යෙදෙන බව දැන සිටියද, ඔහුගෙන් ඒ සඳහා උනන්දුවක්‌ හෝ අවශ්‍යතාවයක්‌ හෝ ඇති බවක්‌ පළ නොවීය. ඔහු නිහඬ තැන්පත් විවේකී බුද්ධියෙන් යුතු සුපුරුදු චරිතයම විය.

ප්‍රාදේශීය ගණකාධිකාරිවරයකු ලෙස රැකියාවේ ස්‌ථාන මාරුවක්‌ ලබා 1982 සිට 1985 දක්‌වා ගාල්ලේ සේවය කරද්දී රුහුණු සේවය තුළින් නවකයින් උදෙසා ගීත රාශියක්‌ රචනා කිරීමට ඔහුට අවස්‌ථාව ලැබිණි. එම ගීත රුහුණු සේවය තුළ ජනප්‍රියත්වයට පත්විය. බන්දුල නානායක්‌කාරවසම් නම් වූ කුසලතා පූර්ණ යෞවන නිර්මාණකරුවාද සුනිල්ගේ ඇසුරට එක්‌ වන්නේ රුහුණු සේවය සෙවණේදීය.

සුනිල් නැවත අගනුවර සේවයට පැමිණෙද්දී මම රජයේ රැකියාවෙන් ඉවත් වී "සින්ග්ලංකා" සමාගමේ ගීත නිෂ්පාදන කටයුතුවල පූර්ණකාලීනව යෙදී සිටියෙමි. සුනිල්ගේ අපූර්වත්වයෙන් පිරිපුන් ගීතවත් රචනා කෞශල්‍යය දැන හැඳින සිටි මම එවර ඔහුගේ ප්‍රශස්‌ත දායකත්වය "සින්ග් ලංකා" නිර්මාණ වෙනුවෙන් ලබා ගැනීමට උනන්දු වූයෙමි. අප අතර තිබූ මිතුදම් අලුත් කරමින් සංගීතඥ රෝහණ වීරසිංහ ප්‍රමුඛ "සින්ග්ලංකා" වටා එකතු වී සිටි නිර්මාණශීලී මිතුරු කැලට එක්‌වීමේ වරම සුනිලුන්ටද හිමිවිණි. හුදු නිර්මාණ වින්දනයම ප්‍රතිලාභය කරගත් අව්‍යාජ මිත්‍රත්වයක බලපෑම තුළින් සුනිල්ගේ නිහඬ ගීතයට පණ පෙවිණි. පණ්‌ඩිත් අමරදේව සහ විශාරද නන්දා මාලිනියන්ගෙන් ඇරැඹි සනත් - මල්කාන්ති, සුනිල් - කපුගේ, මාලිනී, ප්‍රියා, විජය කුමාරතුංග ආදී ශිල්පීන්ගේ සුනිල් ගී පෙළට පසුකලෙක දීපිකා, දිවුල්ගනේ, ජානක, බුලේගොඩ, දයාන් ආදී යොවුන් පරපුරේ ශිල්පීන්ගේද හඬ මුසු වූයේ "සින්ග්ලංකා" සෙවණේදීය.

සිය ගීත නිර්මාණ ජීවිතයේ විසි වසර සමරමින් සුනිල් ගී මග ඇගයුමක්‌ 1993 දී පදනම් ආයතනයෙහිදි "විසි වසක ගී" නමින් පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන පාඨමාලා සහෘදයින්ගේ ඉදිරිපත් කිරීමක්‌ වූ එහිදී "රුවන් මල්" නම්වූ ගීත කැසට්‌ පටයත්. "නිල් කටරොළු" ගී පද මාලා සංග්‍රහයත් අලුත් පාලමක්‌" නම් වූ ළමා ගී එකතුවක්‌ එළිදැක්‌විණි.

බහුල ලෙස ගීත රචනයෙහි නොයෙදුණත් ගීතය පිළිබඳ වූ ඇල්ම නිසාම ගීතයේ උන්නතියත්, ගීත රචකයින්ගේ අභිවෘද්ධියත් උදෙසා "ගීත රචක සංසදය" ආරම්භ කිරීමට සුනිල් බණ්‌ඩාර ඇහැලියගොඩ සමඟ එක්‌ව කටයුතු කළේය.

ජාතික තරුණ සේවා සභාවේ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නගේ යුගය තුළ උදා වුණු සුනිල්ගේ භූමිකාව නව පරපුරක ඉදිරි ගමනට ඵලදායී මඟපෙන්වීමක්‌ විය. ඔහුගේ මූලිකත්වයෙන් සංවිධානය වූ "තුරුණු ශක්‌ති වැඩසටහන" නවක ගායක ගායිකාවන්, ගීත රචකයින්, සංගීතඥයන් මෙන්ම නිවේදක නිවේදිකාවන්ටද ක්‌ෂේත්‍රයට පිවිසෙන්නට නිසි මාර්ගෝපදේශකත්වය උදා විය. ගීත රචනයෙහිදී ස්‌වීයත්වයත්, අපූර්වත්වයත් ප්‍රකට කළ සුනිල්ගේ ගීත කලාව කවීත්වයෙන් අලංකාර වෙයි. ගීතයේ වදන් භාවිතයෙහිදී නව්‍ය පද සංයෝජනයෙන් හා ආකෘතික හරඹ තුළින් තමන්ටම අනන්‍ය ගී ආරක්‌ සකසා ගැනීමට ඔහු සමත්විය. භාවිත ගුණයෙන් පිරිපුන් ඔහුගේ භාෂා භාවිතය රූපාලංකාර සහ කාෙව්‍යාaක්‌තීන්ගෙන් රමණීය වේ. එවන් පදවැල් නැවුම් මිහිරකින් ප්‍රතිනිර්මාණය කරන්නට සංගීතඥයාට උත්තේජනය සපයයි. සංගීතයේ හා ගායනයේ සුසංයෝගයෙන් විශිෂ්ට නිර්මාණයක්‌ බවට පත්වූ "කවිය ඔබ" පදවැල එයට හොඳ නිදසුනකි.

ගීත රචනය මතුකොට ගී විරිත්, ජනකවි, පාරම්පරික ගායනා ආදී සබැඳි කලාංගයන් පිළිබඳ හැදෑරීමට ඇල්මක්‌ දක්‌වන සුනිල් "නූතන ගීතයේ සාම්ප්‍රදායික ලක්‌ෂණ" නමින් කළ පර්යේෂණ ග්‍රන්ථය 2003 වසරේ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේ "කවිය ඔබ" සංගත තැටි පුස්‌තකය එළිදැක්‌වීමේ උළෙලේදී නිකුත් විය. ප්‍රථම වරට ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ ජනප්‍රිය සිංහල ගී පද මාලා රැසක්‌ සහ එහි පෙර අපර දෙදිග ස්‌වර ලිපි සහිත සංයුත්ත තැටි පුස්‌තකයක්‌ ලෙස "කවිය ඔබ" .ඔයෑ ඡදැප ඔයදම. නමින් එදින එළිදැක්‌වූයේ සිංහල ගීතය විදේශීය රසික අවධානයට ලක්‌කිරීමේ ආරම්භක ප්‍රයත්නයක්‌ ලෙසිනි. මෙම උළෙලට සමගාමීව ප්‍රකාශිත සමුද්‍ර වෙත්තසිංහගේ "සුනිල් ආර්. ගමගේ සහ ඔහුගේ නිර්මාණ" ග්‍රන්ථය තුළින් සුනිල්ගේ ගීත පිළිබඳව විධිමත් ඇගැයීමක්‌ සිදුකෙරිණි. ගුවන් විදුලි ළමා ගී රචනයෙන් ඇරැඹි සුනිල්ගේ ළමා ගී කලාවේ මාහැඟි පියවරක්‌ වූ "පූසි පැටෝ" සංයුක්‌ත තැටිය, ගීත සමඟ දරු දැරියන්ට එම ගීත ගායනා කිරීම සඳහා උපකාරී වන සංගීත පසුතල (Music Tracks) වලින්ද සමන්විත වූ අගනා තිළිණයකි. ගීත රචනය හා ගීත වින්දනය පිළිබඳ විද්වතකු ලෙස තරුණ පරපුර හා පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා සුනිල්ගෙන් වන මෙහෙයද අනල්පය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන පාඨමාලාවේත්, සෞන්දර්යය විශ්වවිද්‍යාලයේත් ගීත විධි පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද ඔහු කටයුතු කර ඇත.

ගීත ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයන්ට මෙන්ම නව පරපුරට ද ගීත රචනා කිරීම සඳහා ලැබෙන ඇරයුම ඔහු පිළිගත්තේ විවේක බුද්ධියෙන් යුතු සිය නිර්මාණ පිළිවෙතට අනුගතවන අයුරින්ම පමණි. එබැවින් ප්‍රවීණ හෝ නවක භේදයකින් තොරව රචනාවන්හි සිය අනන්‍යතාව හා නිර්මාණාත්මක ගුණය රැකගැනීමට ඔහු සමත් විය. ශතකය ඉක්‌ම වූ ඔහුගේ ප්‍රශස්‌ත නිර්මාණ අතර ජන ආකර්ෂණයේ උච්චතම ප්‍රතිචාර හිමි කරගත් සහේලි රෝචනා ගමගේ ගැයූ "ආයුබෝ වේවා මහ රජාණෙනි" ගීතයම නිදසුන් වේ.

සිය ගීතාවලියේ ගුණාත්මක බව විනා ප්‍රමාණාත්මක අගය වෙනුවෙන් සුනිල්ගේ සිත යොමු නොවිණි. ප්‍රසිද්ධිය අපේක්‌ෂා නොකළ නිහඬ නිර්මාණකරුවකු වූ ඔහුගේ නිර්මාණ කෞශල්‍යයම සිංහල ගේයපද රචක නාමාවලියේ මුල්තැනක ඔහු වැජඹවීමට හේතු විය. සැටවීයට එළැඹි සුනිල්ගේ දශක හතරක නිර්මාණ චාරිකාවෙහි මහරු අස්‌වැන්න සංයුක්‌ත තැටි මංජුසාවක්‌ ලෙස ශ්‍රාවකයනට පිරිනැමීම අප සංගීත ක්‌ෂේත්‍රයේ සිදුවන අසිරිමත් සිදුවීමකි. ගීත සංරක්‌ෂණය පිළිබඳ එය මාහැඟි පියවරක්‌ වෙයි. සොඳුරු හෘදයාංගම කලා මාධ්‍යයක්‌ වූ ගීතයෙන් මතුවටත් අප සිත් සතන් ආනන්දයටත්, ප්‍රඥාවටත් යොමුකරන්නට සුනිලුන්ට ශක්‌තිය ධෛර්යය හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.

කුලරත්න ආරියවංශ

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.