පළාත් සභා කොට උඩ!

රනිල් ධර්මසේන

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය යටතේ ඇති කළ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව රජය අභ්‍යන්තරයේ සාකච්ඡා ආරම්භ වී ඇත.

දහතුන්වැනි සංශෝධනය මගින් රට බෙදීමේ තත්ත්වයක්‌ උද්ගත වෙමින් පවතින බැවින් මෙය අහෝසි කළ යුතු බවට ආණ්‌ඩුවට අභ්‍යන්තරයෙන් හා බාහිරින් බලපෑම් එල්ල වී තිබෙන නිසා මෙලෙස ආණ්‌ඩුවේ අවධානය යොමුකර ඇති බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

බලාපොරොත්තු වූ තරම් සේවාවක්‌ මෙතෙක්‌ පළාත් සභා ක්‍රමයෙන් ඉටු නොවූ බැවින් එය අහෝසි කළ යුතු බවටත් ජනතාවට වඩාත් සේවයක්‌ වනුයේ පරිපාලනය විමධ්‍යගත කිරීමෙන් බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බවටත් යෝජනා වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන එමින් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සංශෝධනය අහෝසි කළ හැකි යෑයි ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතර බලය ආණ්‌ඩුවට ඇතැයි ද රජයට සහාය දක්‌වන සංවිධාන හා විද්වතුන් රැසක්‌ පෙන්වා දී තිබේ.

පළාත් සභා ක්‍රමය ඉදිරියේදී රටේ තවත් ගැටුමක්‌ ඇතිවීමට හේතුවක්‌ වනු ඇති බව ද සංවර්ධන ක්‍රියාවලියට ද බාධාවක්‌ විය හැකි බව ද රජයේ ප්‍රබලයන් පිරිසකගේ මතය වී ඇතැයි ද වාර්තා වේ.

පළාත් සභා ක්‍රමය රටේ සංවර්ධන ක්‍රියාවලියට බාධාවක්‌ වී ඇති බව ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් විවිධ අවස්‌ථාවලදී ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ඉදිරියේදී පළාත් සභා අහෝසි කරන ලෙස රජයට බල කිරීමේ විරෝධතා රට පුරා සිදුකිරීමට සංවිධාන කිහිපයක්‌ සූදානම් වෙමින් පවතී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.