රෝයල් - තර්ස්‌ටන්
(ඉතිහාසගත දේශ සීමා අරගලය)

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් සහ තර්ස්‌ටන් විද්‍යාලයේ සිසුන් අතර හටගත් ගුටි කෙළිය කොතරම් බිහිසුණු ද යත් එයට මැදිහත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල ද ගුටි කෑවේ ය. පොලිසිය 'ගුටි දෙනු' මිසක්‌ 'ගුටි කනු' නැත. පොලිස්‌කාරයෙකුත් ගුටි කෑවේ නම් සිද්ධිය අත්‍යන්තයෙන් ම බරපතළ ය. මේ යුද්ධයේ පළමු වෙඩි මුරය තබන ලද්දේ තර්ස්‌ටන් විද්‍යාලයේ ශිෂ්‍යයන් හෝ ශිෂ්‍යයකු බව දැන ගන්නට තිබේ. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්‌ බස්‌ නැවතුම්පළේ සිටින විට තර්ස්‌ටන් ශිෂ්‍යයකු / ශිෂ්‍යයන් ඔහුට පහර දෙන ලදී. එයට ද හේතුවක්‌ තිබිය යුතු ය. ගුටි කෑ ශිෂ්‍යයා තරුණ උපාසකයන්ගේ සංගමයේ සාමාජිකයකු නම් ද නිතර සිල් සමාදන් වන සුපේෂල ශික්‍ෂාකාමියකු නම් ද 'තර්ස්‌ටන් දාමරිකයන්' ඔහුට පහර දෙන්නේ නැත. ගුටි කෙළියේ පදනම කුමක්‌ වේවා මහ පාරේ සිදු වූ එය අන්තර් පාඨශාලයීය මට්‌ටමට යැම බරපතළ වරදකි. ශිෂ්‍යයන්ට මහ පාරේ ගහ ගැනීමට මෙන්ම ගුටි කෑමට ද කිසිදු අයිතියක්‌ නැත. එසේම මෙබඳු ගුටි කෙළි කවදාවත් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය සටන් ඉතිහාසයට එකතු නොවන බවද, අනාගතයේදී මේ ගැන උදම් ඇනීමට ඔවුන්ට කිසිදු ආකාරයකින් නො හැකි වන බව ද මතක තබා ගත යුතු ය. "අපේ කාලයේදී අපි කොන්ද කෙළින් තියාගෙන හිටියේ මෙහෙමයි" කියමින් ඇතැම් පුද්ගලයන් තම දාමරික පාසල් කාලය ගැන කතා කරනු අප අසා තිබේ. ශිෂ්‍ය සටන් යනු 'ගෞරවනීය' වරදකි. ශිෂ්‍ය ප්‍රජාව ස්‌වකීය අයිතිවාසිකම් මතු පරපුරේ ද ප්‍රයෝජනය සඳහා දිනා ගැනීම පිණිස විශ්වවිද්‍යාල මට්‌ටමෙන් කරන සටන්වල ස්‌වභාවය කොතරම් නීච වුවද, කොතරම් පහත් වුවද එහි අරමුණ යහපත් බැවින් ඉතිහාසයට එක්‌ වන්නේ ය.

රාජකීය-තර්¨ස්‌ටන් ගැටුමට ඉතිහාසයක්‌ තිබේ. ඒ ඉතිහාසය රටේ ඒකීයභාවය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් හෝ ත්‍රස්‌තවාදයට විරුද්ධ වීම වෙනුවෙන් හෝ හටගත් ඒවා නොව හුදු ප්‍රේම සම්බන්ධයක්‌ හෝ එක්‌ පාසලක ළමයකු අනෙක්‌ පාසලේ ළමයකුගේ ඇඟේ හැපීම වෙනුවෙන් හටගත් ගැටුම් ය. පාසලෙන් පිටතදී හෝ ක්‍රිකට්‌ මැච් එකක්‌ බැලීමට යැමේදී ඇතිවන මේ අමනාපය අන්තර් විද්‍යාලයීය ශිෂ්‍ය ගැටුමක්‌ වන්නේ මෙසේ ය රෝයල් හා තර්ස්‌ටන් විදුහල් වෙන් වන්නේ එක තාප්පයෙනි. මුලින් ම සිදු වන්නේ එක්‌ පාසලක්‌ පැත්තෙන් එන ගලක්‌ අනෙක්‌ පාසල් වත්තට වැටීම ය. එවිට ඊට පිළිතුරු වශයෙන් මේ පැත්තෙන් ගඩොල් භාගයක්‌ යවනු ලැබේ. ඊට පිළිතුරු වශයෙන් එන්නේ සම්පූර්ණ ගඩොලකි. ඒ ආ විට පුටු කකුලක්‌ එවනු ලැබේ. ඊට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ සම්පූර්ණ පුටුවකි. එවිට ඩෙස්‌ක්‌ එකක්‌ මේ පැත්තට එයි. මේ සියල්ල මෙතෙක්‌ කෙරෙන්නේ ඉන්දියාව හා පාකිස්‌තානය දේශ සීමා අතර වෙඩි තබා ගන්නාක්‌ මෙනි.

ඊළඟට ඉන්දියානු හෝ පාකිස්‌තානු හමුදාව දේශ සීමාව හරහා ප්‍රතිවාදී රටට කඩාපනින පරිදි එක්‌ පාසලක සිසුවෝ තාප්පය පැන අනෙක්‌ පාසලට වදිති. එය ප්‍රායෝගික නැත්නම් පාසල් කාලය නිම වූ පසු මහ පාරේදී සටන් කරමු ය යන තීරණයට එති. මෙබඳු සටනක්‌ පාරක පවතින විට ශිෂ්‍යයෝ මනුෂ්‍යයා සතු ඉපැරෑණි ගෝත්‍රික ලක්‍ෂණ එළියට දමති. ඒ අනුව අතට හසු වන හැම දෙයක්‌ ම කුඩු පට්‌ටම් කෙරේ. වාහනවලට පහර දෙනු ලැබේ. එවිට මේ පාසල්වලට කිසිදු සම්බන්ධයක්‌ ඇති හා නැති සියලු සිවිල් ජනයා එක පොදියට ගුටි කති.

මෙසේ පාරවල් දිගේ මරා ගන්නා පාසල් යුගල කිහිපයක්‌ ලංකාවේ ඇත. ඒවායින් ප්‍රමුඛතම යුගලය රෝයල් හා තර්ස්‌ටන් ය. ඊශ්‍රායල-පලස්‌තීන ගැටුම, හින්දු-මුස්‌ලිම් ගැටුම, හුටු-ටුට්‌සි ගැටුම, හිට්‌ලර්ගේ ආර්ය-අනාර්ය ගැටුම, සුදු-කළු ගැටුම හා සමාන මේ ගැටුම මේ, පාසල්වල ඉතිහාසය පුරාම කාලයෙන් කාලයට පැන නැංගේ ය. ශිෂ්‍යයා යනු ඉතාම ඉක්‌මනින් නරක්‌ විය හැකි (Vulnarable) සත්ත්වයෙකි. ඒ නරක්‌ වූ පලය එහි ඇති පණුවන් සහ කුණු සමඟ වැටෙන්නේ සාමාන්‍ය ජනයාගේ හිස්‌ මතට ය.

රෝයල්-තර්ස්‌ටන් ගැටුමට සම්බන්ධ කිසිදු ශිෂ්‍යයකුගේ පන්ති තහනම් කිරීම හෝ ඔවුන් පාසල්වලින් නෙරැපීම කළ යුතු නැත. එවිට මරු සිරා සහ අංගුලිමාල බිහි වෙයි. මෙබඳු ගැටුමක්‌ හටගත් විට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් ගෙන්වා ඔවුන්ගේ පතුරු ගැලවීම සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේදීත් සිදු විය. බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමැතිව සිටින මෙකලත් සිදු වනවා ඇත. එය ඒ විදුහල්පතිවරුන්ගේ ආත්ම ගෞරවයට හානියකි. එසේ නම් අවසන් විසඳුම කුමක්‌ද?. මෙබඳු කලහ ඇති වන විට සිවිල් ජනයා හට පණ ගලවා ගනු පිණිස පාරේ යැමෙන් වැළකී සිටීම ද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.