ඖෂධවලින් තොර ප්‍රතිකාර හෙවත් භෞත චිකිත්සාව

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ භෞත චිකිත්සක අංශය යනු මේ රටේ සතර දිසාවෙන්ම ඇදී එන කුඩා දරුවන් වෙනුවෙන් විශාල කාර්ය භාරයක්‌ ඉටුකරනු ලබන අංශයකි. රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ උපදෙස්‌ මත එම භෞත චිකිත්සක අංශයේ නියමුවා වශයෙන් කටයුතු කරනුයේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතාය. ඒ මහතාගේ මෙහෙයවීමෙන් එහි භෞත චිකිත්සකවරුන් ලෙස පුෂ්පා ජානකී, උදය චන්ද්‍රසේන, කසුනි චන්දිමා, චාන්දනී වේවැල්වල, රූපිකා දිසානායක, ඉන්ද්‍රd දික්‌මාදුගොඩගේ, ඉන්දු ප්‍රනාන්දු, අමාලි පහලවිතාන, බුද්ධික සෙනෙවිරත්න, සුමාලි වඩුගේ, ටි්‍රලිෂියා මුතුකුඩආරච්චි, ගංගා අලුත්ගේ යන මහත්ම මහත්මීහු කටයුතු කරති. මීට අමතරව එම අංශයේ කනිෂ්ඨ කාර්ය සහායකයන් සිව්දෙනකු සේවයේ යෙදී සිටිති.
 


ළමා රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ
වෛද්‍ය රත්නසිරි හේවගේ

ප්‍රධාන භෞත චිකිත්සක
ආචාර්ය ජාලිය උඩුවැල්ල



භෞත චිකිත්සාව යනු කුමක්‌ද?

ඉතා විශේෂ ශක්‌ති ප්‍රභේද වන ආලෝකය, තාපය, විද්යුතය, චුම්භකත්වය, වනිය (ශබ්දය), ගුරුත්වාකර්ශනය සහ භෞතික ව්‍යායාම භාවිත කරමින් ළමා රෝගියකුට කරන ප්‍රතිකාර භෞත චිකිත්සාව නමින් හැඳින්වෙනවා.

භෞත චිකිත්සක ප්‍රතිකාර කරන්නේ කොහොමද?

වෛද්‍ය නිර්දේශය මත රෝගියකු භෞත චිකිත්සක අංශයට යොමු කිරීමෙන් පසු රෝගියා භෞත චිකිත්සක නිලධාරියකු විසින් ඇගයීමකට ලක්‌කරනු ලබනවා. ඉන් පසු භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම තීරණය කර එය ලබාදෙනවා.

භෞත චිකිත්සක ප්‍රතිකාර ප්‍රභේද මොනවාද?

භෞත චිකිත්සක ප්‍රතිකාර ප්‍රභේද ගණනාවක්‌ තිබෙනවා. ඒ අතර, විද්යුත් චිකිත්සාව, ජල චිකිත්සාව, ප්‍රතිකාරමය ව්‍යායාම, උපකරණ භාවිතාවෙන් කරන ව්‍යායාම සහ ඉරියව් භාවිතාවෙන් කරන ව්‍යායාම වශයෙන් නම් කළ හැකියි.

කුමන රෝග සම්බන්ධයෙන්ද මේ භෞත චිකිත්සාව භාවිත කරන්නේ?

ස්‌නායු රෝග, කැඩුම් බිඳුම් හා විකලාංග රෝග, ස්‌වසන රෝග, රක්‌තවාත රෝග, ළමා රෝග, ක්‍රීඩා අනතුරු සඳහා මේ භෞත චිකිත්සාව භාවිත කරනවා.

භෞත චිකිත්සාවේදී යොදා ගන්නා විද්යුත් ප්‍රතිකාර ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති කරනවා කියලා අනියත බියක්‌ ඇතිකරගෙන සිටිනවා. මොකක්‌ද මේකේ ඇත්ත?

භෞත චිකිත්සාව සඳහා යොදා ගන්නා විද්යුත් ප්‍රතිකාර රෝගියකුගේ ශරීරයට කිසිදු අහිතකර තත්ත්වයක්‌ ඇති කරන්නේ නැහැ. කිසිම සංකූලතාවයකින් තොරව රෝග සුව කරනවා. බොහෝ දෙනා මේ සඳහා අනියත බියක්‌ ඇති කරගෙන තිබෙනවා. නමුත් එසේ කිසිදු බියක්‌ ඇතිකරගන්න එපා කියලා කියන්න කැමතියි.

ජල චිකිත්සාව යනු කුමක්‌ද?

ජල චිකිත්සාව කියන්නේ ජලයේ තිබෙන ඉපිලෙන ගුණය භාවිත කරගෙන රෝගියකුට කරන ප්‍රතිකාර ක්‍රමයයි.

උදාහරණයක්‌ හැටියට දෙපා පණ නැතිවුණු රෝගියකු ගතහොත් ඔහුට තමන්ගේ දෙපා ගුරුත්වාකර්ශනයට එරෙහිව ඔසවා ගැනීමට නොහැකි අවස්‌ථාවක ජල තටාකයක්‌ තුළදී එම කාර්ය දෙපා ඔසවමින් කළ හැකිය.

උරස්‌ චිකිත්සාව යනු කුමක්‌ද?

පෙණහලුවල හා ස්‌වසන මාර්ගවල ඇති ශ්‍රාවයන් (සෙම) ඉවත් කර ස්‌වසනය පහසු කිරීම උරස්‌ චිකිත්සාව නමින් හැඳින්වේ.

මෙහිදී නිව්මෝනියා රෝගීන්, බ්‍රොන්කයිටිස්‌, ඇදුම, බ්‍රොන්ක්‌ලියෝමයිටිස්‌, හතිය, ස්‌වසන ආබාධවලට භෞත චිකිත්සා ප්‍රතිකාර ලෙස ගුරුත්වාකර්ශනය උපකාර කරගනිමින් පෙණහලු කුටීර ඉහළට තබා මෙම ශ්‍රාවයන් ඉවත් කරනවා.

භෞත චිකිත්සක අංශ නිලධාරීන් විසින් දරුවන්ට ගෙදර දී කළයුතු ප්‍රතිකාර ක්‍රම දෙමාපියන්ට උගන්වනු ලබනවා. දෙමාපියන් එම ක්‍රම වේදයන් දිනකට තුන් වතාවක්‌ පමණ නිවැරදි ලෙස කිරීම තුළින් දරුවා සුව කරගත හැකිය.

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා දුරකථන අංක (- 072-2127764, 011-2691111- දිගුව 210

සාකච්ඡා කළේ -
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
pradeep.divaina@gmail.com
ඡායාරූපය - ඥනතිස්‌ස ජයවර්ධන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.