සාහිත්‍ය අමතක කළොත් ගීත රචකයෙක්‌ වෙන්න බෑ
සුනිල් ආර්. ගමගේ


සුනිල් ආර්. ගමගේ ගී රචනා ක්‍ෂේත්‍රයට පිවිසියේ 1970 දශකය ආරම්භයේදීය. තිස්‌ පස්‌ වසරකට එහා දිවෙන ඔහුගේ ගී රචනා කලාවේ අභිෂේක වන මේ මොහොත වන විට ඔහු ලියා ඇති ගී සංඛ්‍යාව 200 ක්‌ පමණ වේ.

පණ්‌ඩිත් අමරදේව, නන්දා මාලනී, දීපිකා ප්‍රියදර්ශනී, ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, නිරෝෂා විරාජිණී, අමරසිරි පීරිස්‌, සුජාතා අත්තනායක, සනත් නන්දසිරි ආදී ගායක ගායිකාවන් රැසක්‌ ඔහුගේ ගී රචනා ගායනා කොට ඇති අතර බොහෝ ගී ජනප්‍රිය ඒවාය.

ඔබ පෙම් කරනා ගී නමින් සුනිල් ආර්. ගමගේ සිය ගී රචනා 116 ක්‌ අඩංගු සී. ඩී. පට සංග්‍රහයක්‌ නිකුත් කොට තිබේ.

වැඩි තොරතුරු 0712748850 න් ලබාගත හැක. මේ ඔහු සමග කළ කතා බහක්‌.

ගීත ලිවීමට පරිසර බලපෑම කොහොමද?

මම ඔරුවල. එදා ගමක්‌. අපේ අම්මා තාත්තා කවියට, පිරිතට ඇලුම් කළ අය. අපගේ වට පිටාවේ පන්සල, වෙල් යාය, ඇළ දොළ තිබුණා. අපි රාත්‍රියේදී හඳ එළියත් එක්‌ක, තරු එළියත් එක්‌ක ජීවත් වුණ කතා බස්‌ කරපු අය. මාංදම් හිඹුටු පුහුලං කාලා ඇළේ දොළේ නාලා හොඳ ළමා කාලයක්‌ ගත කළ අය.

අද පරපුර ඉන්නේ විදුලි එළියත් එක්‌ක. ඇළට, දොළක, කුඹුරක යන්න වෙලාවක්‌ නෑ. පන්ති... පන්ති... මාදං හිඹුටු අඳුරන්නේ නෑ. සොසේජස්‌ අඳුරනවා. මේක කණගාටුවට කාරණාවක්‌. එදා රබර් වැටි පිට්‌ටනිවල අපි හැන්දැ වෙනකම් සෙල්ලම් කරපු ඉඩම් අද කට්‌ටි කැඩිලා. ජීවිතත් කට්‌ටි කැඩිලා. කට්‌ටිවලට කැඩිලා ගිහින්. අපේ ගමේ සරල ජීවිතය තමයි මේ ගීත ලිවීමට පරිසරය වුණේ.

පරපුරක වෙනස දකින්නේ කොහොමද?

අපේ පරපුරට වඩා හැම දෙයක්‌ම වෙනස්‌ පරපුරක්‌ දැන් ඉන්නේ. නව පරපුරේ ගායන ශිල්පින්, තනු රචකයින් තාක්‍ෂණයෙන් දුරගිය අය. නමුත් සාහිත්‍ය ඇතහැරලා තාක්‍ෂණයෙන් පමණක්‌ දුර ගමනක්‌ යන්න බැහැ. අපේ පරපුරට සාහිත්‍ය පරිශීලනය කළේ චිරත්ත සාහිත්‍ය සමගයි. සාහිත්‍ය පිළිබඳව ගායක ශිල්පියකට හෝ ශිලිපිනියකට යම් අවබෝධයක්‌ තිබිය යුතුයි. පද රචකයන්ට රිද්මය පිළිබඳ අවබෝධයක්‌ තිබිය යුතුයි. ගීතයක උසස්‌ මට්‌ටම රැඳෙන්නේ මේ තුන් ඈඳීම නිසයි. අද පරපුරට සිංහල, සාහිත්‍ය අවබෝධය නැතිවීම තුළ වචන උච්චාරණය, සංගීතයේ භාවයම ස්‌වරූපය, පදරචනයේ නිසරු බව නිසා වර්තමානයේ ගීතය මොකක්‌දොa තැනකට හිරවෙලා...

ගීත ලියන්න පටන් ගත්තේ කොයි වකවානුවේද?

මම හැත්තෑ දශකයේ ගීත ලියන්න පටන් ගත්තා. ඒ අවදියේ රටේ සමාජයීය වශයෙන්, දේශපාලන වශයෙන් ප්‍රබෝධයක්‌ තිබුණ අවදියක්‌. මේ නිසා හැත්තෑව දශකයේ තමයි හොඳ නිර්මාණ බිහිවන්නේ. හැත්තෑහතේ විවෘත ආර්ථිකයත් සමග අසූව දශකයේ බිහිවුණ නිර්මාණකරුවන් විවෘත ආර්ථිකයට, බහුජන සමාගම්වලට, ඇමරිකානු ධනේෂ්වරයට අසුවෙනවා. සාහිත්‍ය දුර්වල කරනවා, ඉතිහාසය නැති කරන්න හදනවා. මේ බලපෑම නිසා අවරඝනයේ ගීත බොහොමයක්‌ බිහිවෙනවා.

අද ගීතවල සාහිත්‍ය වටිනාකමක්‌ තියෙනවද?

හැත්තෑව දශකයේ බිහිවුණු රෝහණ වීරසිංහ, ගුණදාස කපුගේ, එච්. එම්. ජයවර්ධන වැනි තනු රචකයින්ට සාහිත්‍ය පිළිබඳ හොඳ දැනුමක්‌ තිබුණා. අපි ගත කළ පරිසරවලම ජීවත් වුණ අය. මේ අය පදරචනා තේරුම් අරගෙන තනු රචනා කළ ශිල්පීන්. වර්තමාන තනු රචකයින් පදරචනා තේරුම් නොගෙන සංගීතය යෙදීමෙන් ගීත භාවයමය ගුණය විනාශ කරනවා. මතක තියා ගන්න ඕන ගීතයේ සාහිත්‍ය තේරුම් ගන්න බැරිව ගී තනු නිර්මාණ කරන්න බැහැ.

ඔබේ ගීත රචනා අතර කිවිය ඔබ ගීතය විශේෂයි නේද?

ඔව්. ආකෘතිමය වෙනස්‌කම් කළ ගීතයක්‌. මාත්‍රා පහකින්, වචන දෙකකින් මෙම ගීතය පටන් ගන්නේ. එම වචන දෙකෙන් එහාට ගීතයේ ශක්‌තිය තිබෙන්නේ තනු නිර්මාණ ශිල්පියාගේ අතේ. රෝහණ වීරසිංහ ගීතය ඉතා ඉහළින් කරනවා. මගේ බොහෝම ගීත ආකෘති වෙනස්‌කම්වලින් යුක්‌තයි. මම නිතරම ස්‌ථායි කොටසේ ආකෘතික වෙනස්‌කම් කරලා තියෙනවමයි. අන්තරා කොටස තමයි සාම්ප්‍රදායික විරිත් ලක්‍ෂණ රැකගෙන තියෙන්නේ. මගේ හැම ගීතයකම මෙම ලක්‍ෂණ තියෙනවා. මේකත් ප්‍රශ්නයක්‌. මොක ආකෘතික ලක්‍ෂණ වෙනස්‌ කරපු ගීතවලට තනු නිර්මාණ කරන ශිල්පීන් හරිම අඩුයි. රෝහණ වීරසිංහ කියනවා එක අවස්‌ථාවකදී මම තියන තිත් පේළියත්, දිග ඇර, කෙටි ඉරත් තේරුම් ගන්නවාලු. එතන විරාමයක්‌ තියන්න අවශ්‍ය බව.

"නිල් කටරොලු මල් ගොමුවේ" ගීතයේ සඳහන් කළොත්

මෙම ගීතය මගේ අත්දැකීමක්‌. මම රැකියාව නිමවී ගෙදර එන දවසක මගේ පුතා නිල් කටරොලු මලක වහල ඉන්න සමනලෙයක්‌ පස්‌සේ දුවනවා දැක්‌කා. ඊට සංවේදී වූ මම ඒ මොහොතේම එක දිගට විනාඩි කිහිපයක්‌ තුළ කිසිදු වචනයක්‌වත් කපන්නේ කොටන්නේ නැතිව ලියපු ගීතයක්‌.

එහෙම පෞද්ගලික අත්දැකීම්වලට ලියවුණු තවත් ගීත තියෙනවද?

ඔව්. මගේ මිත්‍රයෙකුට වුණ සිදුවීමක්‌ තමයි ගුණදාස කපුගේ ගායනා කරන ඔබ පෙම්කරනා ඔබේ කුමාරි ගීතය. මගේ මිත්‍රයට ඒ වෙච්ච සිදුවීමෙන් කම්පනයට පත්වුණු මම නිල් කටරොලු ගීතය වගේම එක දිගට එක හුස්‌මට ලියපු ගීතයක්‌.

ඔබේ පදරචනාවලින් ගායක ගායිකාවන් ජනප්‍රිය වුණු අවස්‌ථා තිබෙනවාද?

ඔව්. අපේ පරපුරට පසුව පැමිණි දිවුල්ගනේ, ජානක, දීපිකා වැනි අයගේ ස්‌වර්ණමය ගීතයත් මම ලියලා තියෙනවා. කපුගේට ඔබ පෙම්කරනා ඔබේ කුමාරි, ප්‍රියාසූරියසේනට සුදු පරෙව් රෑන සේ වගේම, දීපිකාට කවිය ඔබ ස්‌වර්ණමය ගීතයක්‌ වුණා.

ගීතයකින් ජීවිතයට බලපෑමක්‌ ඇති කළ හැකිද?

ඔව්. මේ අලුත් පරම්පරාවට හොඳ ගීත රචකයන් නොමැතිකම නිසා හරසුත් බොළඳ පද රචනා බිහිවෙනවා. රටේ ව්‍යසනවලට මේවා නොදැනිමව බලපානවා. මනුෂ්‍යයා සාහිත්‍ය තුලින් මනුස්‌සකම හදන්න පුළුවන්. අපට හික්‌මීම ඇතිකළේ සාහිත්‍යය. මේ සාහිත්‍ය නොලැබීම තමයි ව්‍යසනවලට ආරම්භය. මුලින් කිව්ව වගේ ඉතිහාසය, සාහිත්‍ය නොමැතිකම තමයි මේ. සියලු දේ විකුණන සමාජයක්‌ දැන් තියෙන්නේ. මිනිසා... මිනිසා නොදැනීම අලෙවි වෙනවා. අලෙවි කරනවා. මේවා වැඩිපුරම කරන්නේ රූපවාහිනි නාලිකා සහ එෆ්. එම්. නාලිකා. අද ටෙලි නාට්‍ය ගරා වැටිලා. තියෙන්නේ පවුල් ආරාවුල්. යහපත් නිර්මාණ කරන ඒවාට වැටකඩොලු බඳිනවා. මොකද ලාබ හරසුන් දේවල් විකුණ ගන්න පුළුවන් පහසුවෙන්. මේ විකිණීමට තුළ වෙන්නේ ජාතියක්‌ නැතිවීමයි.

ඔබ තරුණ සේවා සභාව තුළ තුරුණු ශක්‌තිවලට සම්බන්ධ වෙනවා නේද?

සුනිල් ජයන්ත නවරත්න මහතා මට ලොකු වගකීමක්‌ පවරනවා තරුණ සේවා සභාවේ. ඒ අනුව අලුත් ගේය පදරචකයින්ගේ, ගී රචනාවලට අලුත් ගායක ගායිකාවන් ගී ගයනවා. වාදක ශිල්පී කණ්‌ඩායමත් නවකයින්. අපි සී. ඩී. තැටි දෙකක්‌ එළිදැක්‌වූවා. ඒ ගීත බොහොම ජනප්‍රිය වුණා. ඒ හරහා තමයි රවී සිරිවර්ධන වැනි ගේය පදරචකයින් බිහිවන්නේ. ශිසිකා නිශංසලා, සුභානි, සුරංගි ශ්‍යාමලි, වැනි ගායිකාවන් බිහිවන්නේ. තනු රචකයින් හැටියට දර්ශන බෝධිකොටුව, දර්ශන වික්‍රමතුංග බිහිවෙනවා. මේවා තරුණ සේවා සභාව ලබපු ප්‍රතිලාභ.

අද අලුත් පරචකයින් බිහිවෙනවා අඩුයි නේද?

නැහැ. එහෙම හිතන්න බැහැ. අපේ පරපුරේ යෂ්ටිය අතට ගත් අය ඉන්නවා. ඒ අයට ගීත ලියන්න අවස්‌ථාව අඩුයි. අපි බිහිවෙන කොට ගුවන් විදුලියේ තිබුණ නව පදමාලා, මියුරුසර වින්දන, ප්‍රබුධ ගීත හැම මාසයකම සරල ගී වැඩසටහනුත් තිබ්බා. අද එවැනි වැඩසටහන් නෑ. මම උත්සාහ කරනවා අලුත් කැසට්‌ සහ සී.ඩී තැටිවලට අලුත් ගේය පදරචකයින්ට වැඩි ඉඩකඩ ලබාදෙන්න.

ගීයක්‌ ජනප්‍රිය වීමට රූප රචනය බලපානවද?

ඔව් බලපානවා. ලාබ දේවල් ජනප්‍රිය කර ගන්න.

ගීත සාහිත්‍ය පාසල් තුලින් ආරම්භ කළොත්

අපේ කාලයේ සිංහල ගුරුතුමිය අපිට කොච්චර දේවල් ඉගැන්නුවද? දැන් ඉන්න සමහර ගුරු උපදේශකවරු ගීතය, ගීත සාහිත්‍ය හා ගීත රසවින්දන හඳුනන්නේ නැහැ.

මේ කාර්ය බහුල, තරගකාරී ජීවිතය ෙ€ද වාචකයක්‌. ළමයි උදේ පාසල් ගියාම ගෙදර එන්නේ රෑ 9 ට. මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වැරදීමක්‌ තියෙනවා. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. අපි කොම්පියුටර් තාක්‍ෂණයෙන් ඉදිරියට යන්න ඕනෑ. ඒත් සාහිත්‍ය අමතක කරලා යන්න බැහැ.

ඔබපෙම් කරනා ගී අරමුණ මොකක්‌ද

මම ඔබ පෙම් කරණා ගී නමින් සංගත තැටි හයක්‌ සහ ළමා ගීත 16ක්‌ සමඟ ගීත 116ක්‌ එළිදක්‌වනවා. මෙහි ප්‍රධාන අරමුණ තමයි ගීත සංරක්‍ෂණය කිරීම, මගේ ගේද කාව්‍ය අයිතිය තහවුරු කිරීම සහ නෑසෙන ගීත රසිකයිනට තිළිණ කිරීම . 2012 සැප්තැම්බර් 25 වෙනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා එළිමහන් පරිෂ්‍රයේදී රාත්‍රී 7 පැවැත්වෙනවා. මම රචනා කරපු ගීත සුජාතා අත්තනායක, නන්දා මාලනී,අමරසිරි පීරිස්‌,සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනි, ප්‍රදීපා ධර්මදාස , දිවුල්ගනේ, නිරෝෂා ,ජානක, මිත්‍ර කපුගේ, සහේළි , සුරංජි ශ්‍යාමලි යන ගායික ගායිකාවන් රෝහණ වීරසිංහයන්ගේ සංගීතය ගීත ගායනා කරනවා.. සැමට විවෘත ආරාධනා කරනවා.

හර්ෂණ ජයතිලක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.