අඹන්වල නඩු තීන්දුව

ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගැසීමේ සාපරාධී ක්‍රියාවට වැරැදිකරුවන් බවට තීරණය වූ සියලු දෙනාටම අධිකරණය විසින් දෙන ලද දඬුවම මෙන්ම එම නඩු තීන්දුව ද ඓතිහාසික එකකි. ස්‌වකීය හෘදය සාක්‍ෂියට එකඟව ක්‍රියා කිරීමේ වරදට අධම, නීච පාහරයන් පිරිසක්‌ විසින් අඹන්වල මහතාට එල්ල කරන ලද දුෂ්ට, ම්ලේච්ඡ ප්‍රහාරය මේ රටේ රාජ්‍ය සේවයේ මතු නොව ඒ පුවත ඇසූ සියල්ලන්ගේම ගර්හාවට පිළිකුලට හා කම්පනයට ද භාජනය වූවකි.

දස වසරකට පසුව වුවද එම දුෂ්ට ප්‍රහාරයට වගකිවයුතු අධමයන්ට දඬුවම් ලැබීම අධිකරණයේ ගෞරවය සඳහා මෙන්ම රාජ්‍ය සේවයේ නිරතව සිටින සියලු දෙනාගේම ධෛර්යය වඩන්නක්‌ බව ද අපගේ අදහසය. දැන් කලක පටන්ම මේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව වැඩිපුරම ඇසෙන්නේ හොඳ නොව නරකය. රාජ්‍ය සේවකයා දූෂිතයකු මෙන්ම නිකං පඩි කන කෙනෙක්‌ බව ද බොහෝ විට කියනු ඇසෙයි. එහෙත් අපි එය එලෙස පිළි නොගනිමු. මක්‌නිසාද යත්, අදත් මේ රටේ රාජ්‍ය සේවයේ විශිෂ්ට නිලධාරීන් මෙන්ම යහපත් රාජ්‍ය සේවකයන් ද සිටින බව අපගේ පිළිගැනීමය.

ලලිත් අඹන්වල මහතා ඒ රාජ්‍ය සේවයේ සිංහ භූමිකාවක්‌ නියෝජනය කළ උදාර නිලධාරියෙකි. රාජ්‍ය සේවය නරක්‌ වී ඇත්තේත් අකාර්යක්‍ෂම වී ඇත්තේත් එම සේවයට සිදු කෙරෙන අනවශ්‍ය දේශපාලන බලපෑම් හා අතපෙවීම් නිසාය. අනෙක්‌ බරපතළම කාරණය වන්නේ අවංක නිලධාරීන්ට දූෂිතයන් විසින් සිදුකරනු ලබන තර්ජන, ගර්ජන හා හිරිහැරය.

මේ අනුව රාජ්‍ය සේවයට බැඳෙන කවරකුට වුවද සිය රැකියාවේ සුරක්‍ෂිතභාවය මතු නොව තමන්ගේ ජීවිතය මෙන්ම තම දරු පවුලේ අනාගතය ගැන ද කල්පනා කිරීමට සිදුවනු ඇත. මාසය අන්තිමට ලැබෙන පඩිපත ගැන වුවද ඔවුන් බොහෝ දෙනකු තුළ තෘප්තිමත් හැඟීමක්‌ නැත. එබඳු වාතාවරණයක්‌ යටතේ වැඩ කිරීම නිසා ගුටිකෑමට හෝ මැරුම් කෑමට කිසිම කෙනෙක්‌ සූදානම් නොවීම ද අප තේරුම් ගත යුතුය.

අඹන්වල මහතා මේ අභියෝගය භාරගත් අයෙකි. ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු නොවුවත් හිතට එකඟව ක්‍රියා කිරීමේ වරදට ඇසිඩ් ප්‍රහාරයකට ගොදුරු වීමට සිදුවිය. මෙයට පෙර රේගු නිලධාරීන් දෙදෙනකු වූ අමරපාල හා සුජිත් ප්‍රසන්න යන මහත්වරුන් ද මහ පාරේ මරා දමන ලද්දේ රාජකාරී කෝන්තරවලට බව ද අපි දනිමු. අඹන්වල මහතාට ඇසිඩ් ගැසූ අයගේ අරමුණ ද එබඳුම කෝන්තරයකි. වාසනාවකට ඔහුගේ ජීවිතය සුරැකිණි. එහෙත් ඔහු විසින් විඳින ලද ශාරීරික මෙන්ම මානසික පීඩා අපමණය. යම් හෙයකින් නීතියේ සිදුරකින් රිංගා මෙම ගහලයන්ට පැනයැමට හැකි වී නම් මොනතරම් අභාග්‍යයක්‌ද?

කෙසේ හෝ රාජ්‍ය සේවය තුළ රැඳී සිටිමින් එය විනාශ කරන කඳ පණුවන්ට හා රාජ්‍ය ආයතන දූෂිත නින්දගම් බවට පත්කර ගත් අධමයන්ට ද මෙම තීන්දුව බියජනක සංඥවක්‌ බව අපට හැඟේ. එසේ වුවද මෙම දූෂිත සොර මුල සමඟ බැඳී තිබෙන සුරැකුම් බොහෝය. ඒවා අතර දේශපාලන හා නිල බල ද නීතිය හා නීතිය ක්‍රියාත්මක නොවීම ද වඩාත් කැපී පෙනේ. ටෙන්ඩර් මගඩි, කොමිස්‌ කුට්‌ටි, වෙනත් ප්‍රතිලාභ රහ වැටී සිටින දූෂණය සාමාන්‍ය දෙයක්‌ සේ කල්පනා කරන පුද්ගලයන් සිටින රටක රාජ්‍ය සේවය මොන තරම් අවදානම්ද යන්නත් මෙබඳු සිදුවීම් අපට සිහිගන්වයි.

සැබැවින්ම අඹන්වල මහතාගේ භෞතික ජීවිතය සුරැකීම ද අවශ්‍යම දෙයකි. එහෙත් මෙබඳු අගතීන්ට පත්වන අය වෙනුවෙන් සහන සලසන වැඩපිළිවෙළක්‌ රාජ්‍ය සේවයේ නැත. ස්‌වභාවික ආපදා මෙන්ම මේ වර්ගයේ ආපදාවලට ගොදුරු වන අය වෙනුවෙන් ද සිතා බැලීමට කාලය එළැඹ තිබේ. එය රාජ්‍ය සේවයේ චිරස්‌තිථියට මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ අභිවර්ධනයට ද හේතු වනු ඇත.

රාජ්‍ය සේවය දූෂිත එකක්‌ බවට පත්ව තිබෙන රටකට කිසිසේත්ම සංවර්ධනයේ අරමුණු ද ක්‍ෂාත්ක්‍ෂාත් කරගත නොහැක. රාජ්‍ය සේවයම දූෂණ ගොහොරුවක්‌ වී තිබේ නම් එය පිරිසිදු කිරීම පාලකයන්ගේ වගකීම හා යුතුකමය. රාජ්‍ය සේවකයා සුරක්‍ෂිත කිරීමත් දූෂිත නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කිරීමත් අද චඅත්‍යවශ්‍යම දෙයකි. රාජ්‍ය සේවකයාට හිස කෙළින් තබාගෙන, හෘදය සාක්‍ෂියට එකඟව ක්‍රියාකිරීමට අවකාශ සලසා දීම ජනතාවගේ යහපතට මෙන්ම රටේ යහපතට ද හේතු වන බව ආණ්‌ඩුවකට අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.