13 ට ජනමත විචාරණයක්‌!
ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදීම ප්‍රශ්නයක්‌

රනිල් ධර්මසේන

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහතුන් වැනි සංශෝධනය අහෝසි කළ යුතු ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනමත විචාරණයක්‌ පවත්වන ලෙස දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ රජයෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

පළාත් සභා ක්‍රමය වසර විසිපහක්‌ පමණ උතුරේ හැර අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ අතර ඒ නිසා ජනතාවට එහි හොඳ නරක පිළිබඳව අවබෝධයක්‌ ඇති බැවින් ඒ ගැන තීන්දුවක්‌ ගැනීම ජනතාවට භාරදිය යුතු බව එම දේශපාලන පක්‍ෂ පෙන්වා දී තිබේ.

ලබන මස මුලදී ජනමත විචාරණය පවත්වා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව තීරණයක්‌ ගන්නා ලෙස දේශපාලන පක්‍ෂ හා සංවිධාන රැසක්‌ රජයට දැනුම් දී ඇත.

දහතුන් වැනි සංශෝධනය මගින් ස්‌ථාපිත කළ පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදීමෙන් රටේ යළිත් අනවශ්‍ය අර්බුදයක්‌ නිර්මාණය විය හැකි බවට ඔවුහු අනතුරු අඟවා තිබේ.

ආණ්‌ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ අතර මේ පිළිබඳව දැඩි මත ගැටුමක්‌ ඇති වී තිබෙන අතර 13 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා රජය කිසිදු තීන්දුවක්‌ ගෙන නැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

මෙම සංශෝධන අහෝසි කරන ලෙස රජයට බල කරමින් විරෝධතා ව්‍යාපාර හා ජනතා දැනුවත් කෙරෙන සම්මන්ත්‍රණ රට පුරා පැවැත්වීමට දේශපාලන පක්‍ෂ හා සංවිධාන රැසක්‌ තීරණය කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.