13 එපා කියන සටන ඇරඹෙයි

අලුත් දේශපාලන කතිකාවකට මුල පිරූ අලුත් සතියක්‌ ලෙස පසුගිය සතිය ඉතා වේගයෙන් ගෙවී ගියේය. එම සතිය තුළ මේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම කතා බහට ලක්‌වූයේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අවලංගු කිරීම පිළිබඳ කාරණය ගැනයි.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මේ අයුරින් මේ රටේ ක්‍රියාත්මක වන්නට පටන්ගෙන වසර තිහකට ආසන්න කාලයක්‌ ගතව ඇතත් ඉන් අපේක්‍ෂිත මුඛ්‍ය කරුණු කාරණා ඉටුකර ගැනීමට නොහැකි වූ නිසාත් රටට ඉන් ඇති වූ යහපතක්‌ නැති නිසාත් ප්‍රශ්නය ඇති තැනට ඉන් නිසි පිළිතුරක්‌ තවමත් නොලැබුණ නිසාත් පිරිසක්‌ මෙය අවලංගු කළ යුතු බව දැන් අලුතින් කතා කරන්නට පටන්ගෙන තිබේ. මෙසේ කතා කරන පිරිස අතර වැඩිපුරම සිටිනුයේ රජයට සම්බන්ධ බලවේග හා රජයට දේශපාලන උත්තේජක සපයන බලවේග බැවින් ඒ හා සාපේක්‍ෂව යෝජනාවට විරුද්ධව කතා කරන්නට ද නව කණ්‌ඩායමක්‌ ඉදිරිපත්ව සිටීම මෙහි ඇති විශේෂත්වයකි.

          

පසුගිය සතියම ගෙවී ගියේ මේ ආකාරයට 13 වැනි සංශෝධනයට පක්‍ෂව හා විපක්‍ෂව රටේ ගොඩනැඟුණු වාද විවාද සංවාද හා කියුම් කෙරුම් අතරය.

රනිල් නුවර

මේ අතරතුර එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ හා තිස්‌ස අත්තනායක පසුගිය 19 වැනි සිකුරාදා වෙන වෙනම මහනුවර බලා පිටත්ව ගියහ. ඊට හේතුව ඊට දින කිහිපයකට පෙර මල්වත්ත මහනායක හිමියන්ගෙන් එ.ජා.ප. මහ ලේකම්වරයාට ලැබුqණු ආරාධනාවකි. එමගින් කියා තිබුණේ එජාපයේ නායකයන් පැමිණ හැකි ඉක්‌මනින්a තමන් වහන්සේව මුණගැසෙන ලෙසය.

මේ අනුව සිකුරාදා හවස හමු වූ එජාප නායකයන්ට මහ නායක හිමි විශේෂ අනුශාසනාවක්‌ කළහ. පසුගිය 18 වැනිදා හයිඩ් පිටියේ පැවැති ආන්දෝලනාත්මක ෙµdන්සේකාගේ රැලිය ගැන ද එජාප නායකයන් කරුණු පැහැදිලි කළහ. එම රැලිය සඳහා නිල ආරාධනාවක්‌ නිසි පරිදි පක්‍ෂය වෙත නොලැබුණු නිසා පක්‍ෂය ඊට සහභාගි නොවන්නට තීරණයක්‌ ගත් බවත් එම පක්‍ෂ තීන්දුව නොසලකා පක්‍ෂයේ විරෝධය නොතකා ඊට සහභාගි වී සිටි කිහිපදෙනකුට එරෙහිව පක්‍ෂයේ ව්‍යවස්‌ථාවට අනුකූලව විනය පියවර ගන්නට සිදු වූ බවත් පැහැදිලි කෙරිණි.

මහනායක හිමියන්ගේ ද අදහස වූයේ ඕනෑම දේශපාලන පක්‍ෂයකට එහි පැවැත්ම සඳහා හොඳ විනයක්‌ තිබිය යුතු බවකි.

මංගල සාදය

එදා රාත්‍රියේ දේශපාලනඥයෝ බොහෝ දෙනකුට ආරාධනය කර තිබූ එක්‌තරා විවාහ මංගල්‍යයක්‌ මහනුවර අර්ල්ස්‌ රිජන්සි හෝටලයේ පැවැත්විණි. ලංකාවේ ප්‍රකට දේශපාලන විද්‍යා මහාචාර්යවරයකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එච්. ඕ. ද සොයිසාගේ පුත්‍රයා එදා එහිදී විවාහ දිවියට ඇතුළු විය. මෙම විවාහ මංගල්‍යය සඳහා එස්‌. බී. දිසානායක, රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, තිස්‌ස අත්තනායක, කබීර් හෂීම්, අකිල විරාඡ් ඇතුළු පිරිසක්‌ පැමිණ සිටියහ.

රනිල් හා තිස්‌ස, එස්‌. බී. ඇතුළු කිහිපදෙනා මුලින්ම පැමිණ සිටියහ. කරු එන විට රනිල් සිටියේ ප්‍රධාන මේසයේ සොයිසා මහතා හා පවුලේ උදවිය මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරු සමඟ කතාබහ කරමිනි. කරු එතනට පැමිණ රනිල්ට ආචාර කර කතාබහ කර තමන්ට අසුන් පනවා තිබූ මේසය බලා ගොස්‌ වාඩි වූයේය. තිස්‌ස අත්තනායක ඔහු ළඟට ගොස්‌ වාඩි වී බොහෝ වේලාවක්‌ කතා කරමින් සිටි අතර අකිල, කබීර් ඇතුළු පිරිස ද පැමිණ කතා බහ කළහ.

අමාත්‍ය එස්‌. බී. සිටියේ ද දිගු කලකින් ලැබුණ මේ සාද පරිසරය තම පැරණි හිත මිත්‍රකම් වර්ධනය කර ගැනීම සඳහා යොදා ගනිමිනි. පසුගිය දිනවල විශ්වවිද්‍යාල වැටුප් ප්‍රශ්න හා වැඩවර්ජන ප්‍රශ්න නිසා නොහොඳ නෝක්‌කාඩුකම් ඇතිකරගෙන තිබූ සමහර ආචාර්ය මහාචාර්යවරු ද එස්‌. බී. සමඟ බදාගෙන කතාබහ කරනු දක්‌නට ලැබිණි.

මෙම මංගල උත්සවයේ උපරිම විනෝදය ලැබූ පුද්ගලයා වූයේ රනිල්ය. ඔහු පැමිණියේ හවස 7.00 ට පමණය. මංගල සාදය ඉවර වූයේ රාත්‍රි 12.00 ද ඉක්‌මවූ පසුවය. එම මුළු කාලයම රනිල් සාදයේ රැඳී සිටියේ සෙසු අමුත්තන් සමඟ කමින් බොමින් ප්‍රීති වෙමින්ය. ඔහු නොකළේ සාදයේදී තරුණයකු මෙන් නැටුව එක පමණි.

රනිල් තිස්‌ස ඇතුළු පිරිස එදා රාත්‍රිය ගත කළේ නුවර වටපුළුවේ මලික්‌ සමරවික්‍රමගේ සුවිසල් මන්දිරයේය. ඉතා විවේකීව එහි නතරව සිට සෙනසුරාදා දහවල් රනිල් ඇතුළු එජාප නායකයෝ නුවර රිවර්ඩේල් හෝටලයට ගියේ එදින එහි කැඳවා තිබූ විශේෂ දේශපාලන සාකච්ඡාවකට සහභාගි වීමටය.

මධ්‍යම පළාත් සභාව සඳහා අයදුම් කර තිබෙන සියලුම පළාත් සභා අපේක්‍ෂකයන්ට රනිල් මේ සාකච්ඡාව සඳහා ආරාධනය කර තිබිණි. ඒ සමඟම තිස්‌ස, කිරිඇල්ල, හලීම් හා වසන්ත අලුවිහාරේ ද මෙම සාකච්ඡාවට පැමිණ සිටියහ.

ඉස්‌සරහදී මේ හැම දෙනකුටම පක්‍ෂය වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න පුළුවන් ආකාරයේ විවෘත වැඩපිළිවෙළක්‌ හැදෙනවා. එතනදී හැමෝගේම වැඩ ගැන ඇගයීමක්‌ කෙරෙනවා. ඔයගොල්ලෝ දැන් ඉඳලම ගම්වලට ගිහින් තම තමන්ගේ ආසනවලට ගිහින් වැඩ කරන්න. මුලින්ම ජනතාව අතරට යන්න. රනිල් එහිදී අපේක්‍ෂකයන් අමතා කීවේය.

මේ සමඟ මහනුවර ගලගෙදර ආසනයේ ආසනබල මණ්‌ඩල රැස්‌වීම ද පැවැත්විණි. තිස්‌සගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්‌වීමට රේණුකා හේරත්, ශාන්තිනී කෝන්ගහගේ, හලීම් යන එජාප ජ්‍යෙෂ්ඨයෝ ද පැමිණ සිටියහ.

ජනපති ඩුබායි

මේ දේශපාලන කතාන්දර අතරතුර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 21 වැනි ඉරිදා දිවයිනෙන් පිටත්ව ඩුබායි බලා ගියේ 22 දා සිට එහි ඇරඹෙන ලෝක බලශක්‌ති සමුළුවට සහභාගිවීම සඳහාය. රාජ්‍ය නායකයන් 21 දෙනකුගේ දායකත්වයෙන් ඩුබායිහි පැවැත්වෙන මෙම සමුළුවට සියලු රටවල් නියෝජනය කරන නිලධාරීහු සහ නියෝජිතයෝ 2000 කට අධික පිරිසක්‌ පැමිණ සිටීම විශේෂත්වකි. ඒ සමඟම මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව රාජ්‍ය නායක ආර්යාවන්ගේ සමුළුවක්‌ පැවැත්වීමට ඩුබායි රජය තීරණය කර තිබීම ද මෙම සමුළුවේ විශේෂත්වයකි.

ඒ හේතුවෙන් ලංකාවෙන් ගිය විශේෂ නියෝජිත කණ්‌ඩායමට ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය ද සහභාගි වූවාය. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌, සජින් වාස්‌, බස්‌නාහිර පළාත් සභාවේ නවුසර් µවුසි හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද ඇතුළත්ව සිටියහ.

බලශක්‌ති සමුළුවේ ආරම්භක දිනයේදීම සභාව අමතන්නට අප ජනාධිපතිවරයාට ඉඩකඩ ලැබී තිබිණි. අනතුරුව එදා රාත්‍රියේ ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ සමඟ රාත්‍රි ආහාර ගන්නට ද ජනාධිපති මහින්ද සහභාගි වූයේ ශිරන්ති ආර්යාව ද සමඟය.

පසුදා (23 දා) සමුළුවට සහභාගි වූ අප ජනාධිපතිවරයා සමුළු වේලාවෙන් පසුව කලාපයේ බලශක්‌ති කටයුතුවල සංවර්ධනය පිළිබඳව ඉන්දීය රජයේ බලශක්‌ති අමාත්‍ය ජයපාල් ඩේවිඩ් සමඟ ද විශේෂ සාකච්ඡාවක්‌ කළේය.

මෙම නිල රාජ්‍ය කටයුතු සියල්ල නිමවා ජනාධිපති ඇතුළු දූත පිරිස 24 වැනිදා නැවත ලංකාව බලා පැමිණියහ.

නීතිඥ සංගමය

පසුගිය ඉරිදා එජාප නායක රනිල් සිය පක්‍ෂයේ නීතිඥ සංගමයේ සාමාජිකත්වය හමුවී හරි අපූරු කතාවක්‌ කීවේය. එම අවස්‌ථාවට තිලක්‌ මාරපන, ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ පිරිසක්‌ ද පැමිණ සිටියහ.

නීතිඥවරුන්ට නීති ක්‍ෂේත්‍රයේ සිටින බුද්ධිමතුන්ට වගේම අධිකරණ ක්‍ෂේත්‍රයට මේ රටේ කරන්න පුළුවන් දේවල් තියෙනවා මේ රටේ ව්‍යවස්‌ථාව පැහැදිලිවම වෙන් කරල දක්‌වලා තියෙනවා. අධිකරණයට, පාර්ලිමේන්තුවට හා විධායකයට හිමිවන බලතල. කරන්න බැරි දේවල් පුළුවන් දේවල් ඔක්‌කොම පැහැදිලිව කියලා තියෙනවා. එහෙම තිබියදී අපි නීතිඥවරු හිතන්න හොඳ නැහැ රටේ රජය කරන සියලු දේවල්වලට බලපෑම් කරන්න මේ රටේ නීති ක්‍ෂේත්‍රයට බලයක්‌ තියෙනවා කියලා. රජයේ තීන්දු වෙනස්‌ කරන්න බලපෑම් කරන්න අධිකරණයට, අපිට බැහැ. ඒකට බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. යුක්‌තිය පසිඳවන බලය අධිකරණයට තියෙනවා.

උදාහරණයක්‌ වශයෙන් රටේ බස්‌ ගාස්‌තු රජය වැඩි කළාම අධිකරණය ඊට බලපෑම් කරන්න යන එක වැරදියි. ඒක තීන්දු කරන්න අයිතිය තියෙන්නේ කොමිෂන් සභාවට. ඉතින් අපි පක්‍ෂයක්‌ හැටියට නීතිඥයෝ හැටියට අපට තියෙන බලය හා සීමාවන් හොඳට දැනගෙන ඉන්න ඕන.

නීති ක්‍ෂේත්‍රය තුළ තමන් තුළ ඇති දැනුම විදහාපාමින් රනිල් මෙහිදී කළ විවරණය නීතිඥ සංගමය ඉතා සාවධානව අසාගෙන සිsටියේය.

සඳුදා දිනයේ තවත් විශේෂ රැස්‌වීමක්‌ එජාප මූලස්‌ථානය වන සිරිකොත මන්දිරයේ පැවැත්විණි. මීට සහභාගිව සිටියේ දකුණ හා ඌව පළාත් සභාවල මන්ත්‍රීවරු නොවන සියලුම ආසන සංවිධායකයෝය. රනිල් සමඟ තිස්‌ස, ජෝන්, ජෝෂප් හා ගාමිණී ජයවික්‍රම ද මෙයට සහභාගි වී සිටියහ.

රනිල් මේ අපේක්‍ෂකයන් අමතා ඉදිරි පළාත් සභා මැතිවරණ සැලසුම් ගැන අදහස්‌ පැහැදිලි කළේය. ඒ අතර ප්‍රශ්න අහන්නට අවස්‌ථාවක්‌ ද සංවිධායකයන්ට ලැබිණි.

ඒ අවස්‌ථාවේ හබරාදුව සංවිධායක ලයනල් ඉපලවත්ත මෙසේ කීවේය.

සර්..... අපේ පක්‍ෂ සම්මේලනයේදී ඊට ආරාධනා නොලබන පිරිසක්‌ ඇවිත් එදා පක්‍ෂ මූලස්‌ථානයේදී කළා වගේ ලොකු කලබැගෑනියක්‌ කරන්න සූදානම් වෙනවා කියල විශ්වාස කටයුතු ආරංචියක්‌ තියෙනවා. අපි මේ ගැන සැලකිලිමත්වෙලා එහෙම වුණොත් කරන්නේ මොනවාද කියල නීති ආධාර ලබාගත්තොත් නරකද?

පක්‍ෂ සම්මේලනයට ආරාධනා නොලබා එන්න කිසිම කෙනකුට බැහැ. ඒක තහනම්. ඒ තහනම නොතකා කවුරු හරි එන්න දඟලනවා නම් එයාලට කියන්න නීති ආධාර නොවෙයි ප්‍රථමාධාර හොයාගන්න කියලා... රනිල් එසේ කියූ ලීලාවට කාටත් බකස්‌ ගා හිනහ ගියහ.

මේ සතියේ දේශපාලනඥයන් බොහෝ දෙනකු සහභාගි වූ තවත් විශේෂ මඟුල් ගෙදරක්‌ අඟහරුවාදා දවසේ හිල්ටන් හෝටලයේ තිබිණි. විවාහය එජාප දේශපාලනඥයකුට සම්බන්ධ ඇලෝෂියස්‌ පවුලේ මුණුපුරකුගේය. එහෙත් ඒ තරුණයා විදේශයන්හිදී ඉගෙනගෙන ඇත්තේ නාමල් රාජපක්‍ෂ සමඟ එකටය. මේ නිසා මඟුල් ගෙදරට දේශපාලන භේද නොසලකා අමුත්තෝ පැමිණ සිටියහ. ඒ අතර රනිල්, ජයලත්, නාමල්, ජොන්ස්‌ටන්, යෝෂිත, ජෝන් වැනි විශාල පිරිසක්‌ සිටියහ.

මෙම මඟුල් ගෙදරට රනිල්ලා පළමුවෙන් පැමිණ සිටියත් නාමල්ලා, ජොන්ස්‌ටන්ලා එන්නට තරමක්‌ වෙලා ගියේය. ඊට හේතුව නාමල් හමුවන්නට මැලේසියාවේ හිටපු අග්‍රගණ්‍ය නායකයකු වන මහතීර් මොහොමඩ්ගේ පුත්‍රයා පැමිණ සිටීමයි. නාමල් මඟුල් ගෙදරට ආවේ ඔහු සමඟ බොහෝ වේලාවක්‌ කතාබහ කරමින් සිට ඔහු ගිය පසුවය.

නාමල් ඇතුළට එන විට රනිල් එළියට එමින් සිටියේය.

ඔයගොල්ලො දැන්ද එන්නේ. මම නම් ආවේ හුඟක්‌ වෙලා ඉඳලා. කන්නයි යන්නේ රනිල් කීවේය.

ඔබතුමාලාට කන්න බැහැ කිය කියා රජයට දොස්‌ කිව්වාට දැන් බලනකොට ඔබතුමාලත් ඔය කන්නේ ජොන්ස්‌ටන් කීවේය.

නැහැ. මම මේ පොඩි වැඩකට එළියට යනවා කී රනිල් එහෙමම යන්නට ගියේය.

මඟුල් ගෙදර ටික වේලාවක්‌ සිටි නාමල්ලා ද ආපසු යන්නට මඟට බසින විට හෝටලයට එක්‌තරා ප්‍රකට රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්‌ පැමිණ සිටියේය.

මම මේ ඔබතුමා හමුවෙන්නයි බලා හිටියේ. ඔබතුමා ගැන ලොකු දෝෂාරෝපණයක්‌ තියෙනවා අපේ පක්‍ෂයෙන්. ඔබතුමා ශ්‍රී ලංකා එකට සම්බන්ධ තරුණ පිරිසක්‌ රැකියාවලට නොගෙන ඉවත් කරලා එජාපයේ තරුණ සංවිධානවලට සම්බන්ධ පිරිසක්‌ සේවය ස්‌ථීර කරලා තියෙනවා. ඇයි එහෙම වැඩ කරන්නේ.

මම බැංකුවට මේ සේවය කරන්නේ ආණ්‌ඩුවටයි, පක්‍ෂයටයි සේවය කර කර නොවෙයි. මට කවුරුත් එකයි. සභාපතිවරයා නාමල් ගණන් නොගෙනම කීවේය.

ඔව්. ඒ බව පේනවා. නමුත් මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ නොතකා එජාපයේ අය බඳවා ගත්තේ ඇයි එහෙනම්.

මම මන්ත්‍රීවරුන්ගේ නියෝග භාරගන්න බැඳිලා නැහැ.

හරි... ඒ වුණාට ඔබතුමා මතක තියාගන්න ඔබ ඔය සභාපතිකමක සැප විඳින්නේ ගමේ ගොඩේ අහිංසක ශ්‍රී ලංකාකාරයන් ඡන්දය දීල හදපු ආණ්‌ඩුවකින්ය කියන එක.

සභාපතිවරයා නාමල්ගේ කතාව පිළිගත්තේ ද නැත. නාමල් ඇරියේ ද නැත. ටික වේලාවක්‌ මේ වාදය ඇදී ගියේය. අවසානයේ නාමල් කීවේ යූ. ඇන්. පී. එකටත් රාජ්‍ය බලය අහිමි වුණේ ඔබලා වැනි ආයතන ප්‍රධානීන් කරගෙන ගිය අත්තනෝමතික වැඩපිළිවෙළ නිසා බව අමතක කරන්න එපා කියාය.

ජොන්ස්‌ටන්ලා නාමල්ව කැඳවාගෙන ගියේ මේ හබය දුරදිග යන ලකුණු පෙන්නූ නිසාය.

13 එපා

මේ අතරතුර 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධ බලවේග සෑම අතින්ම තම සටන අරඹා ඇති බව පෙනෙන්නට තිබිණ.

සටන අරඹා තිබුණේ ජාතික මතවාදය ගරු කරමින් සිටින රජයේම පාර්ශ්ව කිහිපයකින් වීම විශේෂත්වයකි. එහෙත් රජයේ කිසිදු බලවත් ප්‍රකාශකයකු මේ පිළිබඳ කිසිම තැනක වචනයක්‌වත් කීවේ නැත. සමහරු කීවේ

13 වැනි සංශෝධනය අවලංගු කරන්න රජය කිසිම තීන්දුවක්‌ ගෙන නොමැති බවක්‌ය.

එහෙත් 1985 දීත් ඊට එරෙහිව හඬක්‌ නැගූ ජවිපෙ එදා සිටි බලවේග, ජාතික මතවාදයේ සිටි බලවේග, භික්‍ෂු බලවේග ආදී බලවේග රැසක්‌ම මේ සංශෝධනය අවලංගු කළ යුත්තේ ඇයිද කියා රට තුළ ලොකු හඬක්‌ නගමින් සිටියහ.

මේ හඬ මහත් වේගයෙන් කරළියට ගෙන ආ පුද්ගලයා වූයේ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශයි. ඔහු පසුගියදා 13 වැනි සංශෝධනය එපා කිවයුත්තේ ඇයිද කියා ප්‍රසිද්ධ දේශනයක්‌ ද කළේය.

පසුගිය 24 වැනිදා පදනම් ආයතනයේදී විමල් පැවැත්වූ එම දේශනය අහන්නට රටේ දේශපාලන විඥනය සහිත ජනතාව විශාල ප්‍රමාණයක්‌ පැමිණ සිටියහ. මේ අතර දොස්‌තර ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්‌ඩාර, නිශාන්ත වර්ණසිංහ වැනි අය ද සිටියහ.

විමල් මෙම සභාව අමතා පැයකුත් විනාඩි 40 ක්‌ කතා කළේය. විමල් කීවේ මරාගෙන මැරෙන බෝම්බ බඩ බැඳගෙන සිටි කොටි ත්‍රස්‌තවාදය පරදවා රට බේරාගන්න සියලු බලවේග එදා එකට එක්‌වුණා සේ මෙවර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඇතුළේ සඟවා ඇති රට බෙදන 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නමැති කාලබෝම්බය නිෂ්ක්‍රීය කරන්නට ද එකතු විය යුතු බවය. ව්‍යවස්‌ථාවෙන් රට බෙදන්නට අලුත්කඩේ උසාවිය හරහා ක්‍රියාත්මක වෙමින් පවතින උගුල පරාජය කළයුතු බව විමල් අපට අවධාරණය කළේය. මේ සඳහා අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට ද යා යුතු බව විමල් කීය.

විමල්ලා ආරම්භ කළ සටනට විමල් ජවිපෙට ද ආරාධනා කළේය. රටේ අනෙකුත් දේශපාලන බලවේගවලට ද ආරාධනා කළේය.

මේ පිළිබඳ ජනතා විමුක්‌ති පෙරමුණ දරන මතයක්‌ ද තිබිණි. ජවිපෙ කීවේ 13 වැනි සංශෝධනයට ජවිපෙ එදා දැක්‌වූ විරෝධය අබමල් රේණුවක පමණින්වත් අඩුවක්‌ නොමැතිව අදට තිබෙන බවය. එහෙත් රජය මේ වෙලාවේ බළලුන් ලවා බාන්නට තතනන කොස්‌ ඇටය කුමක්‌ද කියා හරියාකාරව දන්නා බැවින් මේ වෙලාවේ ඊට රජය සමඟ අත්වැල් බැඳගත නොහැකි බවය.

කෙසේ වෙතත් රජයේ සිsටින වාමවාදී මූලධර්මවාදී දේශපාලනඥයෝ 13 අහෝසි කරනවාට සිය දැඩි විරෝධය ප්‍රකාශ කරමින් සිටියහ.

සියල්ල මෙසේ පවතිද්දී රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු කියා සිටියේ එබඳු දෙයක්‌ කරන්නට රජයේ කිසිම සූදානමක්‌ හෝ යෝජනාවක්‌ නොමැති බවය.

ඔටාවා සමුළුව

රටවල් 188 ක නියෝජිත පිරිසකගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ 127 වැනි සැසිවාරය පසුගිය සතියේ කැනඩාවේ ඔටාවා නුවර පැවැත්විණි. මේ සඳහා සහභාගිවන්නට ලංකාවෙන් ද මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ගොස්‌ සිටියහ. නිමල් සිරිපාල ද සිල්වාගේ නායකත්වයෙන් මහින්ද සමරසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිරෝෂන් පෙරේරා ඇතුළු කණ්‌ඩායමක්‌ ඒ අතර වූහ.

මෙම නියෝජිත පිරිසට විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ කැනඩා පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් පවත්වනු ලැබූ අතර ඊට ඔටාවා නුවර නගරාධිපති ද සහභාගිව සිටියේය.

ආහාර ගැනීම අතරතුර සාකච්ඡාවේදී කැනඩා නියෝජිතයන් කතා කළේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැනය. එල්. එල්. ආර්. සී. කමිටු යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන ඇති ආණ්‌ඩුවේ ප්‍රතිරෝධය ගැන ද කතාබහ කෙරිණි.

මෙහිදී ලංකාවේ නියෝජිත පිරිස සියල්ල ප්‍රතික්‍ෂේප කරමින් ඇත්ත තතු පහදා දෙන්නට උත්සාහ කළහ. නිමල් සිරිපාල ද සිල්වා කතා කරමින් ලංකාවේ කටයුතු පිළිබඳ ලෝකය පුරා දෙමළ ඩයස්‌පෝරාව ඒකපාර්ශ්වීයව ගෙන යන බොරු ප්‍රචාර පැහැදිලි කර ඇත්ත සත්‍යය කියා දුන්නේය.

මෙච්චර කාලයක්‌ අපි ඇහුවේ ප්‍රශ්නයේ එක පැත්තක්‌ ගැන විතරයි. අද අපි අනෙක්‌ පැත්ත ගැනත් හොඳ අවබෝධයක්‌ ලැබුවා. පාර්ලිමේන්තුවේ කථානායකවරයා කීවේය.

කණ්‌ඩායම

මේ අතරතුර අඟහරුවාදා එක්‌සත් ජාතික පක්‍ෂයේ කණ්‌ඩායම් රැස්‌වීම පැවැත්විණි. මෙවර එය සිරිකොත මන්දිරයේ පැවැත්වීම විශේෂ සිද්ධියකි.

මෙහිදී එජාප නායකයන් අවධානය යොමු කළේ අය-වැය විවාදවලදී කතා කළ යුතු ආකාරය ගැනය. ඒ අතර තිස්‌ස අත්තනායක වෙනත් යෝජනාවක්‌ ගෙන ආවේය.

මේ ළඟදී සරත් නන්ද සිල්වා පානදුරේදී කියල තියෙනව නේ ප්‍රසිද්ධියේම අර හෙල්පින් හම්බන්තොට නඩුවෙන් ප්‍රසිඩන්ට්‌ව බේරාගත්තේ එයාය කියලා. ඒක මහ නරක ප්‍රකාශයක්‌ නෙ. අපි වෙනුවෙන් ඒ නඩුව එදා දැම්මේ කබීර් හෂීම්. එයාට එතනදී රු. 50,000 ක දඩයකුත් ගැහුවා. එදා සරත් සිල්වා දීපු නඩු තීන්දුව ගැන අද එයාම මෙහෙම කියනකොට අපට පුළුවන්නේ ඒ තීන්දුවට එරෙහිව අභියාචනාවකට යන්න තිස්‌ස කීවේය.

නැහැ ආයෙත් උසාවි යන්න ඕන නැහැ. මේ ප්‍රකාශ ගැන අද එයාලම ලඡ්ජා විය යතුයි. ඒ ගැන අපි පාර්ලිමේන්තුවේදී හඬක්‌ නගමු රනිල් කීවේය.

වර්ජන

පසුගිය සතියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලොකු වැඩවර්ජනයක්‌ ද තිබිණි. වර්ජනය අතරේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන හරි අපූරු ගමනක්‌ ගියේය.

මාතර මහ රෝහලේ හදිසි අනතුරු ඒකකය තැනුවේ අලුතිනි. එය විවෘත කිරීම යෙදී තිබුණේ ඉකුත් බ්‍රහස්‌පතින්දා උදේ අමාත්‍ය මෛත්‍රි අතිනි. මෛත්‍රි ඊට ගොස්‌ සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු මෙසේ කීහ.

සර්.... වෛද්‍යවරු සංගමය හැටියට වර්ජනයක්‌ කරල ඉන්න වෙලාවක එතනට යන එක හරි නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක ඇමැති ඒ වගේ දෙයක්‌ කරන්න යන්නේ නැහැ.

වර්ජනය කරන එක එයාලට තියෙන අයිතියක්‌. ඒ වගේම රටේ ජනතාව වෙනුවෙන් මේ වගේ දේවල් කරන එක අපි සතු යුතුකමක්‌. එයාල ඕන එකක්‌ කරපුදෙන්. මම යනවා ආපු වැඩේට.. මෛත්‍රි කීවේය.

ඒ අනුව මෛත්‍රි ඇමැතිවරයා හදිසි අනතුරු ඒකකය නිසි වේලාවට විවෘත කළේය. වෛද්‍යවරු ද ඊට සහභාගි වී සිටියහ. වෛද්‍යවරුන් මෙන්ම හෙද හෙදියෝ ද කාර්ය මණ්‌ඩලය ද වෙනසක්‌ නැතිව ඊට පැමිණ සිටීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුව

පසුගිය සතියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රටේ නොසිටි බැවින් කැබිනට්‌ රැස්‌වීම තිබුණේ නැත. එසේම කණ්‌ඩායම් රැස්‌වීම ද නොතිබිණි. එහෙත් පසුගිය සතියේ ද සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව පැවැත්විණි.

රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනමය සංවාද අතර 13 වැනි සංශෝධනය, දිවි නැඟුම පනත ආදී සියලු කරුණු කාරණා පාර්ලිමේන්තුව තුළ මහ ඉහළින් සංවාදයට තුඩුදුන් සතියකි පසුගිය සතිය.

මේ අතර මේ සියල්ල ගැන පාර්ලිමේන්තුවේ තැන් තැන්වල විවිධ අදහස්‌ හුවමාරු වන්නට ද පටන්ගෙන තිබිණි. එබඳු අදහස්‌ රිසි ලෙස හුවමාරු වන එක්‌ තැනකි පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාමරය. එහි සිටින සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේ සොයා පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු දෙපිරිසම පැමිණියහ.

එදා එතැන ඩිලාන්, මහින්ද යාපා, දිනේෂ්, විමල්, අනුර ප්‍රියදර්ශන, ලොහාන්, විජිත බේරුගොඩ, අරුන්දික ඇතුළු පිරිසක්‌ එක්‌ව කතා කරමින් සිටියහ.

දැන් රට හැම තැනම කතාව දිවිනැඟුම ගැන. ඩිලාන් කීවේය. ඔව්. රටේ දැන් ලොකු සංවාදයක්‌ තියෙනවා... බැසිල් කීවේය.

ඊට වඩා හැමෝම දැන් 13 වැනි සංශෝධනය රටට ඕනද එපාද කියන එක ගැන කතා වෙනවා. මම තමයි එදා ඕක රටට ගේනකොට මුලින්ම විරුද්ධ වුණේ. මහින්ද යාපා කීවේය.

පළාත් සභාවක්‌ රටේ සංවර්ධන පනත්වලට විරුද්ධ නම් ඒ පළාත් සභා රටට ඕන නැහැ. බැසිල් කීවේය. මේ වෙලාවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් බලා ඉන්නේ අපේ රට ඔය මොනවයෙන් හරි ආපස්‌සට හරවන්න. ඩිලාන් කීවේය. රටේ සංවාද ඇතිවෙන එක හොඳයි. ජනාධිපතිතුමා මේ සංවාද ඇතිවන එක ගැන හරි එකඟයි. සංවාදය නිවැරදි මතය ඉහළට ගේන්න පාර කපනවා කියලයි ජනපතිතුමා කියන්නේ හෙට්‌ටිගේ කීවේය.

මෙතැනට නාමල් ආවේ කුඩා දරුවකු ද වඩාගෙනය. කොහෙන්ද මේ දරුවෙක්‌ ලොහාන් ඇසීය. පාර්ලිමේන්තුව බලන්න ආපු දෙමාපියෙක්‌ගේ දරුවෙක්‌. මගේ අතේ එල්ලුණා. මම වඩාගෙන ආවා. ඒත් සමඟම දරුවාගේ දෙමාපියන් පැමිණ දරුවා භාරගත්තේ නාමල් සමඟ සිය දරුවාගේ පින්තූරයක්‌ ද ගනිමිනි.

25 වැනිදා පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්‌ථාවේ විවාදයට විෂය වී තිබුණේ අධිකරණයේ ස්‌වාධීනත්වය ගැනයි. විවාදයට කලින් එජාපයේ මෙන්ම ආණ්‌ඩු පක්‍ෂයේ කථිකයෝ පාර්ලිමේන්තු පුස්‌තකාලයට ගොස්‌ කරුණු සොයන්නට වූහ.

ජගත් පුෂ්පකුමාර, විජිතමුණි සොයිසා, හේමාල් ගුණසේකර, උදිත ලොකුබණ්‌ඩාර ඇතුළු මැති ඇමැතිවරුන් විදුලි සෝපානය ළඟ කතාබහ කරමින් සිටියේ සමහර ස්‌වාධීන ආයතන සමහර ප්‍රශ්න ගැන ප්‍රායෝගිකව සලකා බලන්නෙ නැති නිසා මහජන සේවයට ද අහිතකර ලෙස බලපා ඇති බවයි. ඒ අතරම එතැනට වේගවත් ගමනින් පැමිණියේ ඩිලාන් පෙරේරා ඇමැතිවරයායි.

"අපේ අයට ඔයා ළඟ නැති වුණාම හරි පාලුයි. ඇයි ඊයේ ආවේ නැත්තේ?" ඇමැති ජගත් පුෂ්පකුමාර ඇමැති ඩිලාන්ගෙන් ඇසීය.

"හරි වැඩේ මට වුණේ. එජාපයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ලේකම් රවීන්ද්‍ර රන්මුතුගල ඊයේ කසාද බැන්දා. එයා හාලිඇල එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌. ඒකට අත්සන් කරන්න මට කියල තිබුණෙ. ඇමැති ඩිලාන් පෙරේරාගේ පිළිතුර විය.

"තවත් දේශපාලන සංහිඳියාවක්‌ වගේ" හේමාල් ගුණසේකර මන්ත්‍රීවරයා කීය.

"අනුන්ට අත්සන් කරලම වැඩක්‌ නෑ" ඇමැතිතුමා ආයෙ පිළිවෙළක්‌ වෙන්න බලන්නෙ නැද්ද? "වැඩි කලක්‌ යන්න කලින් මංගල සීනු ඇහෙයි කියල මං හිතනවා" කොක්‌හඬලා සිනාසෙමින් ඇමැති ඩිලාන් කීවේය.

ප්‍රමාද දෝෂයක්‌ නිවැරැදි කිරීම

ඔක්‌තෝබර් 14 වැනිදා දේශපාලන ලිපියේ අන්ජාඩ් මන්ත්‍රීවරයා යනුවෙන් පළව ඇති නම අජ්මාල් මව්ජුඩ් ලෙස නිවැරැදි විය යුතුය.

- නාගසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.