13 වැනි සංශෝධනය ගැන මොකද කියන්නේ



1987 ජුලි 29 වන දින ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව එළැඹි කාලය පුරා මෙරට දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළින්ම සඳහන් වූයේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳවයි. ඒ එම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් මෙරට බෙදා වෙන් වෙන බවට එල්ල වූ චෝදනාව හේතුවෙනි.

ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර කාලය තුළ දී එවකට මෙරට ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ද 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය බඳු වූ ව්‍යවස්‌ථා සංශෝධනයකට එරෙහි වුවත් ඉන්දියානු බලපෑම මධ්‍යයේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව සිය ස්‌ථාවරය වෙනස්‌ කරමින් 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින ස්‌ථාවරය දක්‌වා සිය ස්‌ථාවරය වෙනස්‌ කළහ. එසේ වුවත් මෙරට බහුතර ජනතාව පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්‌ථාවරයේ දිගින් දිගටම පසු විය. නමුත් මෙරට ක්‍රියාත්මක සමහර දේශපාලන පක්‌ෂ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුය යන සටන් පාඨය අත්හැර දැමීම සහ සිය දේශපාලන න්‍යාය පත්‍රයේ පළාත් සභා අහෝසි කිරීම යන කාරණයට ප්‍රමුඛස්‌ථානයක්‌ ලබා නොදීම නිසා පසුගිය කාලය පුරා ඒ පිළිබඳව පැවතියේ අඩු අවධානයකි.

එහෙත් පසුගියදා ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා 13 වන සංශෝධනය අහෝසි කළ යුතුය යනුවෙන් ප්‍රකාශයක්‌ කිරීමත් සමගම සියලු පාර්ශ්වයන්ගේ අවධානය 13 වන සංශෝධනය වෙත එල්ල වී ඇත. ආරක්‍ෂක ලේකම්තුමාගේ ප්‍රකාශයත් සමගම පසුගිය කාලය තුළ පළාත් සභා අනුමත කළ පාර්ශ්වයන් කිහිපයක්‌ ද 13 සංශෝධනය අහෝසි කළ යුතුය යන අදහස ඉදිරිපත් කර ඇතත්, ඔවුන් දේශපාලන අවස්‌ථාවාදීන් වන බවද සඳහන් කළ හැක. එසේ වූවත් 13 වන සංශෝධනය අහෝසි කළ යුතුය යන ස්‌ථාවරයේ දිගින් දිගටම පසු වූ ඒ වෙනුවෙන් අඛණ්‌ඩව කටයුතු කළ පාර්ශ්වයන්ද ඒ අතර සිටින බව සඳහන් කළ හැක.

කෙසේ වුවත් දීර්ඝ කාලයක්‌ පුරා අළුයට සැඟවුණු ගිනි පුපුරක්‌ මෙන් යටපත් වී පැවති පළාත් සභා අහෝසි කළ යුතුය යන අදහස යළිත් ඉස්‌මතු වුයේ දෙමළ ජාතික සංධානය උතුර සහ නැගෙනහිර පළාත් සභාවන් ඒකාබද්ධ කළ යුතු බවත් එම පළාත් සභාවත් සඳහා ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදිය යුතුය යන යෝජනා ඉදිරිපත් කිරීම සහ "දිවි නැඟුම" පනතට එරෙහි වීම යන කරුණු කාරණා නිසා බව පැහැදිලිය. නමුත් එම කරුණු මත පදනම් වෙමින් 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතුය යන අදහස්‌ මෙන්ම විවිධ අදහස්‌ ඉදිරිපත් කරමින් 13 වන සංශෝධනය ආරක්‌ෂා කළ යුතුය යන අදහස්‌ද ඉදිරිපත් වී ඇත.

සම්මත කිරීමෙන් වසර 25 කට පසුව යළිත් සාකච්ඡාවට බඳුන් වී ඇති 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතුය යන අදහස සහ එය ආරක්‌ෂා කළ යුතුය යන අදහස දරන පාර්ශ්වයන් දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

එදා වන්නියේ තිබ්බ සටන අද අලුත්කඩේට ගෙනල්ලා
- අමාත්‍ය විමල් වීරවංශ

ප්‍රශ්නය - 13 වැනි සංශෝධනය ගැන උණුසුම් කතාබහක්‌ මතුවෙන මේ මොහොතේ ආණ්‌ඩුවට සම්බන්ධ පාර්ශ්ව පමණක්‌ නොව, ආරක්‍ෂක ලේකම්වරයා පවා ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරනවා. මොකද මේ ලහි ලහියේ 13 ඉවත් කරන්නට සූදානම.

පිළිතුර - ඔබ කියපු පිරිසට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යතුමාගේ නමත් එකතු විය යුතුයි. එතුමා දෙමළ මාධ්‍ය සමඟ කළ සාකච්ඡාවකදී කිව්වා "ගෙදර සීතල වැඩි නිසා අපි ගිනිමැලයක්‌ ගහපු එක ඇත්ත. හැබැයි ඒකට රොඩු බොඩු වැටිලා, මුළු ගේම ගිනි ගන්න යනවා නම් ඒක නිවන්න ඕන කියලා එතුමා ඒ පැහැදිලි කරලා තියෙන්නේ මේ පළාත් සභා ක්‍රමය ගැන. එහෙම බැලුවම මේක අද රජය තුළ තිබෙන ප්‍රබල මතයක්‌. නමුත් මේක රජයේ මතයක්‌ කියලා අපිට තාම කියන්න බෑ. රජය තුළ එවැනි මත තියෙනවා. එවැනි මත වඩාත් පිළිගැනීමට ලක්‌වන අවස්‌ථාවල එය රජයේ මතයක්‌ බවට පත්වෙනවා. දැන් මේ තියෙන්නෙ එහෙම අවස්‌ථාවක්‌. පළාත් සභා පිහිටුවනකොට ඊට එරෙහි වුණු බලවේග අනතුරු ඇඟවීම, ඔප්පු වෙන අවස්‌ථාවයි මේ තියෙන්නේ. එදා පහට හතරක්‌ විදියටයි අධිකරණයේ විනිසුරුවරු බෙදුණේ. ඇත්තටම සිදුවුණේ එක්‌ විනිසුරුවරයෙක්‌ ස්‌වාධීනව හිටියා. ඉතිරි පිරිස හතර බැගින් බෙදී හිටියා. ඒකීය රාමුව ඇතුළේ පළාත් සභා පවත්වාගෙන යා හැකියි කියන ස්‌ථාවරයේ හිටපු විනිසුරුවරු හතරදෙනාගේ තීන්දුවට පාරින්ද රණසිංහ විනිසුරුතුමාව එකතු කරගත්තේ පළාත් සභා අහෝසි කිරීමට ඒ වන විට තිබුණු කෙටුම්පතේ තිබුණු ජනමත විමසුමකුත් ඕන කියන කොටස ඉවත් කරලයි. ඒ අනුව තමයි මේක පහට හතරක තීන්දුවක්‌ වුණේ. හතරදෙනාගේ තීන්දුව දුන්නේ වනසුන්දර මහත්මයා. එතුමා මේ වන විට රෝගාතුර වෙලා ප්‍රතිකාර ගන්නවා. අපි එතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

එතුමා ඒ දුන්නු තීන්දුව තමයි ඉතිහාසය විසින් සනාථ කරමින් තියෙන්නේ. ඔවුන් කීවා මෙය ඒකීය රාමුව තුළ ක්‍රියාත්මක කළ නොහැකි පළාත් සභා ක්‍රමයක්‌ කියලා. ඉන්දීය පළාත් සභා ක්‍රමයේ මුදුන ශක්‌තිමත්, ඒත් පහළ දුර්වලයි. ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව පනතක්‌ සම්මත කරගන්නට සියලුම පළාත් සභාවල අනුමැතිය ගන්න ඕන නෑ. නමුත් අපේ රටේ පනතක්‌ සම්මත කරගන්නට අපි හැම පළාත් සභාවකම අනුමැතිය ගන්න ඕන. එකක හරි අනුමැතිය නොදුන්නොත් ඒ පළාතේ සරල බහුතරයෙන් අපි පාර්ලිමේන්තුවේදී ඒ නීතිය සම්මත කළත් එය ඒ පළාත තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ. එතකොට මේ පළාත් සභා ක්‍රමය ව්‍යවස්‌ථාදායකය දුර්වල කරන පළාත් සභා ක්‍රමයක්‌. ඉන්දියාවේ ආණ්‌ඩුකාරයා, ජනාධිපතිවරයාගේ ඒජන්තයා. ඔහුට විශාල බලතල තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම නෑ.

එහෙම තත්ත්වයක්‌ තුළ ඉන්දියාව කළේ ඡේ. ආර්. ජයවර්ධන බය කරලා, පරිප්පු දාලා ව්‍යවස්‌ථාව ඇතුළේ කාලබෝම්බයක්‌ අටවපු එකයි. මේ කාලබෝම්බය නියමිත කාලේදී පුපුරණ විදියටයි කළේ. ඒ කාලේ කවුරුත් මේ ව්‍යවස්‌ථාවේ පේලි අතර, වචන අතර, අකුරු අතර හැංගිලා තියෙන බලය ඉල්ලලා උසාවි ආවේ නෑ. මොකද එතකොට හැමෝම වැඩි බරක්‌ විශ්වාසයක්‌ තිබ්බේ එල්. ටී. ටී. ඊ. ය ගැනයි. පේළි අතර, වාක්‍ය අතර තිබෙන බලය ගැන අලුත් අර්ථ නිරූපණයන් එන්නේ නඩු තීන්දුවලින්.

එතකොට යුදමය වශයෙන් පරාජය වුණු දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග අද ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යන්නේ මේ "13" උපයෝගි කරගෙන. එදා වන්නි කැලේ තිබ්බ සටන ඒ ගොල්ලෝ අද අලුත්කඩේට ගෙනල්ලා තියෙනවා.

උතුරු පළාතේ පළාත් සභාව පිහිටුවාගෙන එය දෙමළ ඊළාම් ජාතික ව්‍යාපාරයේ අතට ගන්න, ඉඩම් බලතල පොලිස්‌ බලතල සම්පූර්ණයෙන් උසාවියෙන් ඉල්ලීමක්‌ කරලා ලබාගන්න, ඒවා ප්‍රායෝගිකව භූක්‌ති විඳින තත්ත්වයක්‌ ඇති කරගන්න, ඊළඟට ඒ ගොල්ලෝ තබන පියවර උතුරු සහ නැගෙනහිර පළාත් සභා ඒකාබද්ධ කිරීමේ සැලසුමටයි.

එතකොට මධ්‍යම ආණ්‌ඩුවට වැඩ කරගන්න බැරි වෙනවා. මෙතන ප්‍රශ්න දෙකක්‌. එකක්‌ ඊට බෙදෙන පැත්තට යන එක. අනිත් එක මධ්‍යම ආණ්‌ඩුවට කිසිම දෙයක්‌ කරගන්න බැරිව යන එක. අද දවස වෙනකොට දිවිනැඟුම සම්බන්ධයෙන් මතුවෙලා තියෙන ප්‍රශ්නය ගන්න. උසාවිය දීලා තිබෙන තීන්දුවෙන් කියන්නේ ආහාර සුරක්‍ෂිතතාවය, ඉදිකිරීම්, ග්‍රාම සංවර්ධනය කියන වචනය තියෙනවා නම් පළාත් සභාවලට ඕන පනතක්‌ ගන්න ඕන. මේ සුමන්තිරන් මහත්තයා දීපු ලැයිස්‌තුවයි. ඒක නඩු තීන්දුවට ඇතුළත්වෙලා තියෙනවා. ඒක උසාවිය පිළි අරන් ඉවරයි. ඒක දැන් නීතියක්‌. එතකොට අපි අර ව්‍යවස්‌ථාවෙන් කියන සමගාමී ලැයිස්‌තුවයි මධ්‍යම ආණ්‌ඩුවේ ලැයිස්‌තුවයි නොවෙයි ලැයිස්‌තුව, සුමන්තිරන් දුන්න ටික තමයි ලැයිස්‌තුව.

පක්‍ෂ භේද, ජාති භේද අතහැරලා ජනතාව හැදුව තුනෙන් දෙකේ බලයට දැන් මොකද වෙන්නේ. මේක ව්‍යවස්‌ථාදායකය අධිකරණය අතර ගැටුමක්‌ නිර්මාණය වෙනවා. බටහිරටත් ඕන ඒක. එදා ඒ අය අස්‌ථාවරභාවය හැදුවේ කොටියා පාවිච්චි කරලා අද අස්‌ථාවරභාවය හදන්නේ ව්‍යවස්‌ථාව පාවිච්චි කරලා.

ප්‍රශ්නය - මේ ක්‍රියාවලියට ඉන්දියානු සාධකය තුළ තිබෙන්නේ විශාල බලපෑමක්‌. ඒ ගැන ඔබේ දිගු අධ්‍යයනයක්‌ තිබෙනවා. මොකක්‌ද ඒ ගැන දරන මතය.?

පිළිතුර - අපි ගත්තොත් පළාත් සභාව අහෝසි කළ නිසාද ඉන්දියාව, ජිනීවා ගිය මොහොතේ අපිට විරුද්ධව ඡන්දෙ දුන්නේ? අපි ඉන්දියාවට රිදෙන්න කියලා කරපු එක දෙයක්‌ කියන්න. අපි ඉන්දියාව හැකි තරම් සන්තර්පනය කළා මිසක්‌ රිදෙව්වේ නෑනේ. මේ ආණ්‌ඩුවේ ප්‍රධානතම චරිත තුනක්‌නේ හැම විටම ඉන්දියාවට ගිහින් කතාබහ කළේ. ඒ කියන්නේ බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා, ගෝඨාභය රාජපක්‍ෂ ලේකම්තුමා හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්මයා. මේ තුන්දෙනා තමයි හැම මොහොතකම ඉන්දියාව සමග සංවාදය තියාගෙන හිටියේ.

අපේ ආණ්‌ඩුව එහෙම කළා. හැබැයි ඒකෙන් අදහස්‌ වෙන්නේ නෑ ඉන්දියාව කියන සියලුම දේවල් කළ යුතුයි කියලා. ඉන්දියාවේ බලතල බෙදීමට වඩා අපේ පළාත් සභාවලට තිබෙන බලතල වැඩියි. අනික මේක හැදුවේ ඉන්දියාව බලහත්කාරයෙන්. ඡේ. ආර්ව බය කරලා මිසක්‌, ඔහු කැමැත්තෙන් මේක ගත්තේ නෑ. මේකේ අනතුර දැන් පේනව නම් අපි ඒක කළ යුතුයි. එහෙම නැත්නම් ඉන්දියාව සතුටු කරන්න තව දේවල් කරන්න වෙයි. අපිට 13Ý නොවෙයි ඊටත් වඩා දේවල් දෙන්න වෙයි. මේක රට බේරාගත්ත රණවිරුවන්ට කරන අගෞරවයක්‌. ඔවුන් උඩ ඉඳන් බලයි මොනවද මේ කරන්නේ කියලා.

යුද්දේ කරන කොටත් කිව්වේ ඔය කතාව තමයි. "බටහිර තරහා කරගෙන බෑ..." වගේ කතා. ඒ කියපු දේවල් ඇහුව නම් අද තාමත් යුද්දේ. මේ කාලබෝම්බය මධ්‍යම ආණ්‌ඩුව අබල දුබල කරලා ෙµඩරල් රාජ්‍යයක්‌ මේ රට තුළ බිහි කරන්න කලින් අරයා මෙයා ගැන හිතන්නේ නැතුව ඊට එරෙහි වෙන්න ඕන. ඒක කරද්දී ඉන්දියාව තරහා වෙනව නම් ඒක ඉන්දියාවේ ප්‍රශ්නයක්‌. ඉන්දියාවට තරහා වෙන්න ඕනම නම් එයාලා කොහොමත් ඒක කරනවා. දැන් බටහිර තරහා වුණේ අපි එයාලට කුණුහරුපෙන් බැනලා නෙවෙයිනේ.

ප්‍රශ්නය - සම්බන්ධන්ලා සාකච්ඡාවට එන්න හදන කොටම මෙහෙම ක්‍රියාවලියකට යන එකෙන් නැවත උතුර ගිනි ගනීවි කියන කතාබහකුත් තියෙනවා.

පිළිතුර- එල්.ටී.ටී.ඊ.ය බිහිවුණේ කලින් හිටපු අය ඉල්ලපු ඒවා නොදීපු නිසාද? දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා ඉල්ලුවේ කවුද? දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ නෙවෙයිද? දුන්නේ නැද්ද? ඒත් එල්.ටී.ටී.ඊ.ය බිහිවුණා. විදේශ තානාපති කාර්යාලවලට දෙමළ ඊළාම්වාදීන් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ කියපු නිසා යෑව්වේ නැද්ද? එල්.ටී.ටී.ඊ ය නැවතුණාද? දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ කියපු විදියට උතුරු වෙරළ ආරක්‍ෂාව ඉවත් කළේ නැද්ද? එල්.ටී.ටී.ඊ. ය බිහිවීම නතර වුණාද?

එල්.ටී.ටී.ඊ. ය ඉන්දියාව එක්‌ක ගනුදෙනු කරලා හොඳට හැදුණා. මේ තක්‌කඩියෝ හැමදාම කළේ එල්. ටී. ටී. ඊ. එක එයි කියලා හරි පියවරවල්වලට යන එක වළක්‌වපු එක විතරයි. ත්‍රස්‌තවාදය එයි කිය කියා කළේ ඒක පෝෂණය කරන්න කටයුතු කරන එක විතරයි. ඒකට බයවෙලා බෑ. ත්‍රස්‌තවාදයක්‌ අනාගතයේ එන්නේ නැත්නේ බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන ව්‍යවස්‌ථාව ඇතුළේ තියෙන වගන්ති ඉවත් වුණොත් විතරයි. එතකොට තමයි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒකීය රාජ්‍යයක්‌ තුළ ජීවත්වෙන තැනට මානසිකත්වය හැදෙන්නේ. ප්‍රාන්ත පාලනය පිළිබඳව සිහිනය නැති වෙන්නේ.

ප්‍රශ්නය - නමුත් ඔබ ඔය කියන මතයට ප්‍රධාන විපක්‍ෂයත් එකතුවෙලා නෑ.

පිළිතුර - මේ දරුවා ලැබෙන්නේ එජාපය කරපු බලහත්කාරකමක්‌ නිසයි. මේක සුජාත සම්බන්ධයකින් හැදුණු දරුවෙක්‌ නොවෙයි. බලහත්කාරකමින් හැදුණත් දැන් දරුවා යූ.එන්.පි. යෙනේ. තාත්තගේ නම තියෙන්නේ යූ.එන්.පී. කියලනේ. ඉතිං තාත්තා කොහොමත් දරුවා වෙනුවෙන් පෙනී ඉන්නවා. එජාපය මේකට පෙනී ඉන්න එක ගැන අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ජවිපෙ වගේ පළාත් සභා බිහිවෙනකොටම එහි අනතුර පෙන්වපු පක්‍ෂයක්‌, ජනතාව ඊට එරෙහිව පාරට බස්‌සපු පක්‍ෂයක්‌. එදා එකසිය ගාණක්‌ වෙඩි කාල මැරුණා. පළාත් සභාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පක්‍ෂයක්‌. උපාය මාර්ගිකව මේක දකින්න ඕන. කා එක්‌ක මොන කෝන්තරයක්‌ තිබ්බත් මේක කළ යුතුම වැඩක්‌. ඒක ජවිපෙට, ආණ්‌ඩුවට ජානිපෙට ඕන වැඩකට වඩා රටට ඕන වැඩක්‌. ඉතිං රටට ඕන වැඩකදී ජවිපෙ වගේ පක්‍ෂයක්‌ පුළුල් ස්‌ථාවරයක සිටිය යුතුයි. "අපි මුල ඉඳන් පළාත් සභාවලට විරුද්ධයි කියන්නේ නැතුව මේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සඳහා ජවිපෙ සහ එහි නායකත්වය පුළුල්ව හිතලා මේ සටනට දායක වෙයි කියලා අපි හිතනවා. ජානිපෙ පක්‍ෂයක්‌ හැටියට ජවිපෙ දේශපාලන මණ්‌ඩලයට ලිපියකින් දැන්නුවා මේ කාර්යයේදී එකමුතුව කටයුතු කරමු කියලා.

ප්‍රශ්නය - ජානිපෙ මේ දැම්මේ ආණ්‌ඩුවේ මුට්‌ටිය කියන කතාවට එකඟද?

පිළිතුර - අපිට තියෙන චෝදනාව ඕකනේ. මොනව හරි ආණ්‌ඩුවට වෙනස්‌ දෙයක්‌ කිව්වාම කියනවා ඔන්න මුට්‌ටිය දැම්මා කියලා. කඩේ යන දෙයක්‌ කිව්වම කියනවා ඔන්න කඩේ යනවා කියලා. අපිව අගය කළ හැකි දෙයක්‌ ඔය කියන විදියට අපෙන් වෙන්නෙම නෑ. නමුත් අපි දන්නවා, හෘද සාක්‍ෂිය දන්නවා මේ සියල්ල රට වෙනුවෙන් කියන බව. අපිට එක්‌ එක්‌ අය දෙන තීන්දු තීරණ වැදගත් නෑ. අපිට වැදගත් අනාගතයේ ජනතාව දෙන තීන්දුවයි.

අපි තමයි ගෙනාවේ හැබැයි 13 + දෙනවා කිව්වේ ආණ්‌ඩුව
- එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල

ප්‍රශ්නය - පළාත් සභා සම්බන්ධයෙන් නොඑසේ නම් "13" සම්බන්ධයෙන් ඔබේ විග්‍රහය මොන වගේ එකක්‌ද කියන එක දැනගන්න කැමැතියි.

පිළිතුර - මේ ආණ්‌ඩුව කරන්නේ "මුට්‌ටිය" දාලා බලන එක. ආණ්‌ඩුවේ ජනප්‍රියත්වය දිගින් දිගටම අඩුවේගෙන යනවා. ඒක රැකගන්න කාලයක්‌ යුද්ධය විකිණුවා. දැන් ඒක කරන්න අමාරුයි. මේ බොරු දේශප්‍රේමය තවදුරටත් අලෙවි කරන්නත් බෑ. ඊළඟට උතුරු පළාත් සභාව පිහිටුවන්නේ නැතුව දිවි නැගුම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන්න බැරිව යනවා. දැන් මේ හේතුව හින්දම ආණ්‌ඩුව පරණ සටන්පාඨ අලුත් ලේබල් අලවලා කරළියට ගේනවා. විමල්, දිනේෂ්, හෙළ උරුමය වගේ කණ්‌ඩායම් මේකේ පාර්ශ්වකරුවන් වෙලා ඉන්නවා. ජවිපෙ වුණත් අන්තිමට හෙළ උරුමයටත් වඩා ජාතිවාදී ස්‌ථාවරයකට යනවා.

දැන් බලන්න අපේ රටේ දවසින් දවස බඩු මිල ඉහළ යනවා, ජනතාව නොවිඳිනා දුක්‌ විඳිනවා. අපේ රාජ්‍ය ආදායමෙන් 99% ක්‌ ම වැයවෙන්නේ ණය ගෙවන්නයි. විරැකියාව 20% ක්‌ වෙලා. ඊළඟට නීතියේ ආධිපත්‍යය බිඳවැටිලා. ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර ගණන් කරන්නත් බැරි තරම්. එතකොට මේ සේරම ප්‍රශ්න වහන එක තමයි ආණ්‌ඩුව බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රශ්නය - 13 ගෙනාවේ එජාපය. ඒ මුල් ස්‌ථාවරයේ වෙනසක්‌ නැද්ද?

පිළිතුර - නෑ... අපි තමයි 13 ගෙනාවේ. ඒක හරි. හැබැයි මේක අහෝසි කළොත් රට බෙදන එක වළක්‌වන්න බැරි වෙයි. ඒක රටට විශාල හානියක්‌ සිදු කරයි.

ප්‍රශ්නය - වැඩි බලතල දෙන එකෙන් සිද්ධ වෙන්නෙත් රට බෙදෙන එක නෙවෙයිද?

පිළිතුර - කවුද වැඩි බලතල ඉල්ලුවේ.

ප්‍රශ්නය - දෙමළ සන්ධානය පවා කියන්නේ ඉඩම් හා පොලිස්‌ බලතල දිය යුතු බවයි.

පිළිතුර- ඒවා වැඩි බලතල නෙවෙයි, දැනටත් තියෙන ඒවා.. තියෙන ඒවා තමයි ඉල්ලන්නේ.

ප්‍රශ්නය - ඒ තියෙන බලතල "13" ගෙනාපු එජාපය දුන්නේ නැත්තේ ඇයි?

පිළිතුර - මෙහෙමයි. මුල ඉඳලම මේ ගැන කතාබහ ඇතිවෙද්දි යම් ප්‍රමාණයක බලතල දිය යුතුයි කියන මතයක අපි හිටියා. ඉඩම් හා පොලිස්‌ බලතල පිළිබඳව නම් ගැටලුව මතු වන්නේ අපි කියන්නේ පූර්ණ බලතල සහිතව ඉඩම් කොමිසමක්‌ හා ස්‌වාධීන පොලිස්‌ කොමිසමක්‌ පත් කළ යුතුයි. එතකොට යම් ප්‍රමාණයකට මේ ගැටලුවලට මැදිහත්වීමේ හැකියාව ලැබෙයි.

නමුත් මතක තබා ගත යුතු කාරණයක්‌ තිබෙනවා. එජාපය තමයි 13 ගෙනාවේ. කවුරුත් වැඩි බලතල ඉල්ලුවේ නෑ. හැබැයි 13Ý දෙන්න ඕන කිව්වේ මහින්ද මහත්තයා ඇතුළු ආණ්‌ඩුවමයි. එහෙම කියලා ඉන්දියාවේත් කට වැහුවා. එහෙම කියපු ආණ්‌ඩුවම ඡේවීපී හා හෙළ උරුමය එක්‌ක ගිවිසුමක්‌ ගැහුවා බලය බෙදීමකට යන්නේ නෑ කියලා. තමන්ගේ ජාමේ බේරගන්න 13Ý කිව්වට, ඒක දුන්නොත් සන්ධානේ ඉවරයි කියලා ආණ්‌ඩුව දන්නවා. මහින්ද මහත්තයා හැම රටකදීම 13 පදනම් කරගෙන උතුරට විසඳුමක්‌ ගේන බව කිව්වා. දැන් ඒක අහෝසි කළාම මොකද වෙන්නේ. විශාල අපකීර්තියක්‌. පළාත් සභා ක්‍රමය ගැන කතා කරද්දී හැමෝම කියන්නේ එය බලය බෙදීමේ මූලික පියවර හැටියටයි. ඒකෙ අඩුපාඩු තියෙනවා නම් හදාගනීවි කියලා තමයි හැමෝම හිsතුවේ.

දැන් ආණ්‌ඩුව කියන ලොකුම බොරුව තමයි පළාත් සභා ක්‍රමය අසාර්ථකයි කියන එක. මොකක්‌ද මේ කියන්නේ. එහෙම අසාර්ථකයි කියන්නේ ඊට අදාළ ව්‍යවස්‌ථානුකූල බලතලවත් දීලාද කියලා මම ආණ්‌ඩුවෙන් අහනවා. එතෙක්‌ තිබුණු මුදල් බලතලත් මධ්‍යම රජය ගත්තා. නීති සම්පාදනය කරන්න තියෙන ඉඩකඩ අහිමි වුණා. ඔබ ඔය කියන පොලිස්‌ බලතල, ඉඩම් බලතල කිසි දවසක ආණ්‌ඩුවට තිබුණේ නෑ. පරිපාලන කටයුතු විතරක්‌ පළාත් සභාවට දීලා දැන් අසාර්ථකයි කියනවා. මේක හරි දෙයක්‌ද?

ප්‍රශ්නය - ඔබ ඔය කියන විදිහට උතුරෙත් ඡන්දය තියලා පළාත් සභාව පිහිටුවිය යුතුයි.

පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්. උතුරු පළාත් සභාවේ බලය අහිමි වුණත් ආණ්‌ඩුවට ඒකත් පිළිගන්න වෙනවා.

ආණ්‌ඩුව කිව්වොත් අපේ ස්‌ථාවරය කියනවා
- දෙමළ ජාතික සන්ධානයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා

ප්‍රශ්නය - 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතුය යන යෝජනාව ආණ්‌ඩුව නියෝජනය කරන පාර්ශ්වයන් තුළින්ම යළිත් ඉස්‌මතු වී තිබෙනවා. මෙම යෝජනාව පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර - එ පිළිබඳව වැඩිය කතා කරන්න මම කැමති නැහැ. සමහරුන් ප්‍රකාශ කළාට ආණ්‌ඩුව එහෙම දෙයක්‌ කරන්න යනවා කියලා තවම කියලා නෑ. පසුගියදා කෙහෙළිය රඹුක්‌වැල්ල ප්‍රකාශ කළා එහෙම කල්පනාවක්‌ නැහැ කියලා. ඒ නිසා මේ අවස්‌ථාවේදී ඒ පිළිබඳව ලොකුවට කතා කරන්න හොඳ නෑ. කෙසේ වුවත්, මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. ආණ්‌ඩුව 13 වැනි සංශෝධනය අහෝසි කරන බව ප්‍රකාශ කළොත් ඒ අවස්‌ථාවේදී අපේ ස්‌ථාවරය කියන්නම්.

ප්‍රශ්නය - "දිවි නැගුම පනත" සහ "රන්මිණි තැන්න" සම්බන්ධයෙන් ගෙන ඒමට අපේක්‍ෂිත පනතට ඔබලා විරුද්ධ වීම නිසා නේද ප්‍රධාන වශයෙන්ම මෙම තත්ත්වය ඉස්‌මතු වී තිබෙන්නේ?

පිළිතුර - දිවි නැගුම ගැන නඩුවක්‌ තිබෙනවා. තීන්දුව බලන්න ඕනි. අනික ඒ සම්බන්ධව මම දැනුවත් නැහැ.

අහෝසි කළොත් ප්‍රශ්ණ ඇතිවෙයි!
- ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නායක තිස්‌ස විතාරණ

ප්‍රශ්නය - ආණ්‌ඩුව නියෝජනය කරනු ලබන පාර්ශ්වයන් තුළින්ම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතුය යන යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.

මෙම යෝජනාව පිළිබඳව ඔබගේ ප්‍රතිචාරය කුමක්‌ද?

පිළිතුර - මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි දන්නවා මහින්ද චින්තනයට අනුව පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පමණක්‌ නොවෙයි, උතුරේ පළාත් සභා ක්‍රියාත්මක කරන බවත් කියලා තිබෙනවා.

13 වැනි සංශෝධනය අහෝසි කරනවා කියන්නේ වසර 20 ක්‌ ක්‍රියාත්මක වූ පළාත් සභා ක්‍රමය අහෝසි කර දැමීමයි. අපි පිළිගන්නවා එහි විවිධ අඩුපාඩුකම් තිබෙන බව. ඒවා නිවැරැදි කර තවත් ශක්‌තිමත් කර ගම් මට්‌ටම දක්‌වා බලය බෙදාහැරීමයි කළ යුත්තේ.

ඒ වගේම දැන් මෙය අහෝසි කරන්න ගියොත් විශාල අවුලක්‌ වේවි. 1983 පසුව ජාතික ප්‍රශ්නය පදනම් කරගෙන මිලිටරි කණ්‌ඩායම් කීපයක්‌ම උතුර, නැගෙනහිර ක්‍රියාත්මක වූවා. නමුත් 1987 දී 13 වැනි සංශෝධනය හඳුන්වා දීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානය හැර අනෙකුත් සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවා. දැන් මෙම අවස්‌ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කළහොත් යළිත් ප්‍රශ්න ඇතිවීමට පුළුවන්. ඒ වගේම ඉතිරිවී සිටින එල්.ටී.ටී.ඊ. පිරිස්‌ දෙමළ ජනතාව නොමග යෑවීමට මෙය අවස්‌ථාවක්‌ කර ගනීවි.

මෙම මස 22 සිට ජිනීවා නුවරදී සති දෙකක්‌ මානව හිමිකම් සමුළුව පවත්වනවා. අපේ රටට, ජනාධිපතිතුමාට සහ හමුදාවට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් කුමන්ත්‍රණය කරනවා. ඒ කුමන්ත්‍රණයට මෙම යෝජනාව නිසා ලොකු රුකුලක්‌ ලැබේවි.

මෙම සියලු කරුණු සලකා බලා ලංකා සමසමාජ පක්‍ෂය හැටියට අපි මේ යෝජනාවට විරුද්ධ වෙනවා.

ප්‍රශ්නය - මෙම යෝජනාව නිසා කැබිනට්‌ මණ්‌ඩලය තුළ බෙදීමක්‌ ඇති වී තිබෙනවාද?

පිළිතුර - නැහැ. මේ පිළිබඳව කැබිනට්‌ එක තුළ සාකච්ඡා කළේ නැහැ. ආණ්‌ඩුවට සම්බන්ධ පක්‍ෂ 2 , 3 ක්‌ මෙම අදහස දැරුවත් මෙම අදහස ආණ්‌ඩුවේ අදහස නොවෙයි.

ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් එම අදහස ඉදිරිපත් කර තිබෙනවා නේද?

පිළිතුර - පුද්ගලයන් ගැන කතා කරන්න මම කැමති නැහැ. විවිධ පුද්ගලයන් අදහස්‌ ඉදිරිපත් කළා කියලා ඒවා ආණ්‌ඩුවේ අදහස්‌ වන්නේ නෑ. ජනාධිපතිතුමා සමග ආණ්‌ඩුවේ පාර්ශ්වයන් සාකච්ඡා කරලා ගන්න තීරණ තමයි ආණ්‌ඩුවේ තීරණ වන්නේ.

ප්‍රශ්නය - "දිවි නැගුම පනත" සහ "රන්මිණිතැන්න" සම්බන්ධයෙන් ගෙන ඒමට බලාපොරොත්තු වන පනත්වලට එල්ල වී තිබෙන අභියෝග නිසා නේද මෙම තත්ත්වය උදාවී තිබෙන්නේ.

පිළිතුර - දෙමළ ජාතික සංවිධානය උසාවියේ දී මතුකරල තිබෙන තර්කය තමයි, එහෙ ඉන්න ආණ්‌ඩුකාරතුමා ජනතා නියෝජිතයෙක්‌ නොවන නිසා ඔහුට උතුරේ ජනතාව වෙනුවෙන් ඡන්දය දෙන්න බැහැ කියන එක. අපි බලමු 30 වැනිදාට ලැබෙන තීන්දුව කුමක්‌ද කියලා. ඒ අනුව ස්‌ථාවරයක්‌ ගන්න වේවි.

උතුරේ පළාත් සභාව ඡන්දයක්‌ පවත්වා පිහිටුවන්න වේවි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව. එය කරපු තරමට තමයි එම ජනතාව අපේ රටේ දේශපාලන ගමනට සම්බන්ධ කර ගන්න පුළුවන් වන්නේ. නැතිනම් දෙමළ ජනතාව මුලා කිරීමට බෙදුම්වාදීන්ට අවස්‌ථාව උදාවන්න ඉඩ තිබෙනවා.

අපේ ස්‌ථාවරය කවදත් එකයි...  පළාත් සභා එපා
- ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ප්‍රශ්නය - 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තදබල එරෙහිවීමක්‌ මුල සිටම දක්‌වපු ජවිපෙ වර්තමානයේ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දක්‌වන්නේ නිහඬ පිළිවෙතක්‌ කිව්වොත් මම නිවැරැදිද?

පිළිතුර - නෑ වැරදියි. අපි මුල සිටම දක්‌වපු ස්‌ථාවරයෙන් බිඳක්‌ හෝ වෙනස්‌ වී නෑ. 1987 ඉන්දියාව බලහත්කාරයෙන් තමයි 13 වැනි සංශෝධනය අප මත පැටෙව්වේ. මේක ජනතා විමුක්‌ති පෙරමුණ ඉතා පැහැදිලිවම කල් ඇතුව දැක්‌කා ලංකාවේ ජාතික ප්‍රශ්නයට මේක විසඳුමක්‌ නෙවෙයි කියලා. එදා අපි ඉතා පැහැදිලිව මේක වැරදි බව රටට කිව්වා. ඒ ස්‌ථාවරයේ එදත් අදත් හෙටත් අපි ඉතා පැහැදිලිව සෘජුව ඉන්නවා. මොකද ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳන්න 13 වැනි සංශෝධනයේ පළාත් සභා කොහොමටවත් උදව්වෙලා නෑ.

අද ජාතික ප්‍රශ්නය විසඳන්න කියපු උතුරු පළාතේ මෙවැනි පළාත් සභා ක්‍රමයක්‌ ඇත්තෙත් නෑ. නැගෙනහිර පළාතේදී පසුගිය ඡන්දේදී අපි දැක්‌කා ජාතිවාදී බල පොරයක්‌ තමයි පේන්න තිබුණේ. ඡන්ද ප්‍රතිඵලයෙන් පස්‌සේ නැවත ජාතිවාදය වර්ධනය වුණා. අද නැගෙනහිර පළාතේ මේ නිසා ජාතිවාදී බල පොරයක්‌ මතුවෙලා තිබෙනවා. ඇත්තටම 13 වැනි සංශෝධන කියන්නේ මේ රටේ නැති ප්‍රශ්න ඇති කරපු, තවත් මහජන මුදල් කෝටි ගාණක්‌ නාස්‌ති කරපු සුදු අලියෙක්‌. කෙසේ හෝ ජවිපෙ එදා දරපු ස්‌ථාවරයත් වෙනස්‌වෙලා නෑ.

ප්‍රශ්නය - නමුත් මෙවර 13 වැනි සංශෝධනය ගැන කතා බහ අලුත් වන්නේ ඔය කිසිදු කාරණයක්‌ නිසා නොවෙයි දිවි නැඟුම පනත නිසා කියන කතාව ගැන ඔබේ විග්‍රහය මොකක්‌ද?

පිළිතුර - ඇත්තටම මීට කලින් ආණ්‌ඩුව පොරොන්දු වුණා 13 විතරක්‌ නෙවෙයි, 13 ට එහා ගිය බලය බෙදීමක්‌ දෙනවා කියලා. ඒ වනවිට ඉන්දියාවට අවස්‌ථා කිහිපයකදීම පොරොන්දු වුණා 13+ දෙනවා කියලා. ඒ ඒ අවස්‌ථාවල කැබිනට්‌ ප්‍රකාශක කෙහෙලිය රඹුක්‌වැල්ල පවා ඒක සනාථ කළා. හැබැයි ඒ එක මොහොතකදිවත් අද ඔය විරුද්ධවෙලා කෑගහන මහත්වරු විරුද්ධවෙලා කෑ ගැහුවේ නෑ. එදා ඒ වගේ හා හෝවාක්‌ තිබුණේ නෑ. අද හීනෙන් බයවෙලා වගේ එක පාරටම කෑගහන්නේ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරගන්න කියන එක ඉතාම පැහැදිලියි. ඇත්තටම ඒක මතුවෙන්නේ දිවි නැඟුම පනත ආවාට පස්‌සේ. දිවි නැඟුම පනත කෙසේ හෝ සම්මත කරගන්න අද ආණ්‌ඩුවට වුවමනා වෙලා තියෙනවා. ඒකට යම් අධිකරණයේ යම් විභාගයක්‌ පැවැත්වෙනවා නම් අන්න ඒ වෙලාවේ තමයි මේ මහත්වරු කලබල වෙලා කෑගහන්නේ. මෙතන තියෙන්නේ ඇත්තටම අවස්‌ථාවාදී වුවමනාවක්‌. ඇත්තටම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය කොහොම හරි කරගන්න තිබෙන වුවනමනාවක්‌.

අපි දකින්නේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිමය විදියට පළාත් සභා ක්‍රමය ප්‍රතික්‍ෂේප කරලා සෘජුව තීන්දුවක්‌ අරගෙන මැදිහත් වීමක්‌ නොවෙයි. මේ අවස්‌ථාවේදී වෙනත් අරමුණක්‌ වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.