රා බී තුට්‌ටුවක
වෙරි වී පනම් හතරක
හඬ දී රුපියලක
අහෝ ගුටිකති, පවුම් සියයක!


වසර 2011 මාර්තු 03 වැනිදා අලුයම වත්තල ප්‍රදේශයේ හටගත් කිසියම් ගැටුම්කාරී තත්ත්වයක්‌ ගැන පළාත් සභා මන්ත්‍රී රන්ධීර් රුද්‍රිගුට පණිවුඩයක්‌ ලැබිණ. වහාම පොලිසියට දුරකථනයෙන් අමතන ලදුව කිසිදු පොලිස්‌ නිලධාරියෙක්‌ එයට පිළිතුරු දුන්නේ නැත. පාන්දර යාමය යනු ඉතා හොඳින් නින්ද යන කාලයකි. දෙකක්‌ දාගෙන හෝ නොදාගෙන පොලිසියට ගිය රන්ධීර් රුද්‍රිගු මන්ත්‍රීතුමා දුටුවේ විමසීම් කවුන්ටරයේ සිටි රාළහාමි නිදි බවය. සාමාන්‍ය පෘථග්ජනයකු වූ රාළහාමිට සුව නින්දක්‌ සඳහා අවශ්‍ය සියලු කරුණු සම්පූර්ණ වී තිබිණ. පළමුවන කාරණය එය අලුයම වීමය. දෙවැනි කාරණය කොටි ත්‍රස්‌තවාදය නැති වීමය. තෙවැනි කාරණය ඕ. අයි. සී. ගෙදර වීමය. රාළහාමිගේ බෙල්ලෙන් අල්ලා එසවූ රන්ධීර් අත පුරවා කන හරහා පහරක්‌ එල්ල කළ අතර රාළහාමිට ඇහැරුණේ ඒ පහරට ය. මෙම පොලිසියේ ඇති තුවක්‌කු පොලිසිය ඉදිරිපිට ඇති වැටට සිටවන ලෙස යෝජනා කරමු.

සාමාන්‍යයෙන් පොලිසිය අපට ගහනවා මිස අප පොලිසියට ගහන්නට යන්නේ නැත. රාළහාමි නිදා හිටියා හෝ හිටියේ හෝ නැත. ඔහුට පහර දීමට පළාත් සභා මන්ත්‍රීට කිසිදු අයිතියක්‌ නැත. රජයේ සේවකයකුගේ රාජකාරියට බාධා කිරීම කෙළින්ම කූඩුවට දැමිය හැකි වරදකි. රාළහාමි නිදාගෙන වුව හිටියේ ඩියුටි පිට ය. ඔහු ඇහැරවීමට මිස පහරදීමට රන්ධීර් රුද්‍රිගුට නොහැක. මන්ත්‍රී තරුණයා ජීවිතයේ කිසි කලෙකත් යළි නිවැරදි කර ගැනීමට බැරි වරදක්‌ කරගෙන තිබුණේය. අනතුරුව ඔහු වරද දිගින් දිගටම පවත්වාගෙන ගියේය. ඒ මෙසේයá

බීමතින් පොලිසියට වැදී රාළහාමි කෙනකුට පහරදීම සම්බන්ධයෙන් රන්ධීර්ට නඩු පවරන ලදී. එහෙත් සැකකරු අධිකරණය මඟහරිමින් සිටියේය. උසාවිය ඔහු දුටු තැන අල්ලනු පිණිස වරෙන්තුවක්‌ නිකුත් කළේය. ඒ අනුව පසුගිය 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් වූ අතර උසාවිය, නඩුව අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් කළේය. ඇප නැත.

සමහර විට මෝසමක්‌ දමා, නිදහසට කාරණා ඉදිරිපත් කර, සැකකරුට පළාත් සභා රැස්‌වීම්වලට සහභාගිවීමට අවශ්‍ය බව කියා උසාවියට කන්නලව් කර පසුව ඇපයක්‌ ලබාගැනීමට හැකිවනු ඇතිá නොහැකි වනුත් ඇති. කෙසේ වුවද විනිසුරුතුමා විසින් ගන්නා ලද මේ ප්‍රතිපත්තිමය තීරණය මේ රටේ ජනතාව විසින් මහත් ගෞරවාදරයෙන් පිළිගත යුතුය. නීතියේ ආරක්‍ෂාව තවදුරටත් ජනතාවට ඇති බවත් නීතිය තවදුරටත් හරියාකාරව ක්‍රියාත්මක වන බවත් දැන් ජනතාවට ඒත්තු යනවා ඇති. එය මිනිසුන්ගේ සිතට ලොකු හයියකි. දේශපාලනඥයන් පමණක්‌ නොව උන්ගේ පුතුන් ද පිස්‌සු කෙළීමට පටන් ගෙන ඇති මේ යුගය ඉතා පරෙස්‌සමෙන් ඇඟ බේරාගෙන සිටිය යුතු කාලයකි.

රන්ධීර් රුද්‍රිගු වූ කලී එජාපයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට තෑග්ගක්‌ ලෙස ලැබුණු තවත් ඩයිනමයිට්‌ කරලකි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994 දී පොදුජන එක්‌සත් පෙරමුණු රජය පිහිටුවීමත් සමඟම යූ. එන්. පි. යේ සිටි සහ යූ. එන්. පියට ගොස්‌ සිටි දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ ආපසු ආණ්‌ඩුවට එන්නට පටන් ගත්හ. මෙසේ පැමිණි අයගෙන් සමහරු කෙළවරක්‌ නැතිව පිස්‌සු කෙළින්නට පටන් ගත්හ. කල් ගතවන විට දේශපාලන පියවරුන්ගේ උන්මාදය දේශපාලන පුතුන්ට මාරු විය. ඒ අතර "මේ රටේ මිනිස්‌සු තනිකර කෙළින්නෙ පිස්‌සු" යනුවෙන් දීපාල් සිල්වා ගීතයක්‌ ගායනා කළේය. ජනාධිපතිතුමා මේ ගීතයට විරුද්ධය. තම වැසියාගේ පැත්තට කතා කළ එතුමා මෙබඳු ගීත සුදුසු නැති බව කීවේය. එහෙත් ගරු ජනාධිපතිතුමනි, දීපාල් ගැයූ සින්දුව ඇත්තකි. එහෙත් එය ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කර 13 වැනි සංශෝධනය අරන් දමනවාක්‌ මෙන් සංශෝධනය කළ යුතුය." මේ රටේ සමහරු තනිකර කෙළින්නෙ පිස්‌සු" යනුවෙන් නැවත ලිවිය යුතුය.

මේ රටේ දේශපාලන ගමන කිසියම් තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇති බව පෙනේ. දේශපාලනය වෙනුවෙන් ගහ මරාගෙන කූඩුවේ දිගු කලක්‌ ලැග සිටි එ.ජා.ප. මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම දේශපාලනයෙන් ඉවත්ව ගෙදරට වී පාඩුවේ සිටීමට තීරණය කළ බව පුවත්පත් මගින් අපි දුටුවෙමු. එ.ජා.ප.ය ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කළේය. ඔහු කළ වරද සරත් ෆොන්සේකා පසුපස යැමය. ආණ්‌ඩුව එක වරක්‌ පිරිහෙන විට විපක්‍ෂය දෙවරක්‌ දෙකඩ වෙයි. එවිට ආණ්‌ඩුවට පස්‌වරක්‌ වාසිය. ආණ්‌ඩුවේ පරිහානිය පෙන්වීමට ඇඟිල්ල දිගු කිරීමට විපක්‍ෂයට හැකියාවක්‌ නැත්තේ විපක්‍ෂය ද අර්බුදයක සිටින නිසාය. සියලු දෙනාම කටයුතු කරන්නේ 2012.12.21 දින ලෝක විනාශය ස්‌ථිරවම සිදුවන බව සිතමින් යයි පෙනේ. එහෙත් එය සිදුවන්නේ නැත. එබැවින් දේශපාලනඥයා දිගටම ජනතාවට වග කිව යුතුය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.