දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමු
දහමින් දිළිඳු කල ආශ්චර්යයක්‌ කවර කල

අධ්‍යාපනය යනු රටක සංවර්ධනයට සෘජුවම බලපාන ප්‍රබල සාධකයකි. ඒ සඳහා බොහෝ රටවල් අතිවිශාල මුදලක්‌ වැය කරනු ලබයි. මෙය දියුණු රටවල ඉතා ඉහළ අගයක්‌ ගනී. අපේ රට එතරම් දියුණු නොවුව ද අධ්‍යාපනය සඳහා කරන වියදම අතින් ලෝකයේ වෙනත් කිසිම රටකට නොදෙවැනි තත්වයකට පත්ව ඇති බව කෘතවේදීව පැවසිය යුතුය. වර්තමානයේ වැඩිම වියදම් දරන දෙපාර්තමේන්තු අතරින් පළමු පෙළ දහය අතරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව පත්ව තිබීම සමස්‌ත ජාතියේම දරුවන්ගේ වාසනාවකි.

සමස්‌ත අධ්‍යාපනය තුළ ආගමට සහ මවුබසට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. එහෙත් වර්තමානයේ මෙම විෂයයන් අනාගත පරපුරට ඉගැන්වීම සඳහා කරන කැපකිරීම සාධාරණ ද යනු ගැටලුසහගතය.

"ලෝකෙ මොන රටක හිටියත් සිංහල ළමයි සිංහල භාෂාව ඉගෙන ගත යුතුයි. ද්‍රවිඩ ළමයි ද්‍රවිඩ භාෂාව ඉගෙන ගත යුතුයි. නැතිනම් ඔබ නමට පමණකA සිංහලයෝ වේවි. ද්‍රවිඩ ළමයි නමට පමණක්‌ ද්‍රවිඩයෝ වේවි."

පසුගිය පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා ඕස්‌ටේ්‍රලියාවට ගිය අපේ ජනපති සිංහල සහ දමිළ දරුවන් අමතා එසේ ප්‍රකාශ කළ පුවත මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් දැන ගතිමි. මෑත යුගයේ අපේ ජනනායකයෙක්‌ මෙසේ ප්‍රකාශ කළ පළමු අවස්‌ථාව මෙයයි. යුගයේ අවශ්‍යතාවය අනුව එය මසුරං වටින කියමනකි.

දිනක්‌ රූපවාහිනී වැඩසටහනකට පැමිණි විශේෂඥ වෛද්‍යවරයකු ආයාචනා කර සිටියේ වෛද්‍ය විද්‍යාලයට එන බොහොමයක්‌ වෛද්‍ය සිසුන්ට සිංහල හරිහැටි නොහැකි බැවින් ඔවුන්ට සිංහල භාෂාව සහ ආගම ඉගැන්වීම පිළිබඳව අවශ්‍යතාවය දැනට වඩා විධිමත් කරන ලෙසය.

මෙය ඉතා වැදගත් කියමනකි. අද උසස්‌ පෙළ සිංහල භාෂාව විෂයයක්‌ ලෙස හදාරන සිසුන්ට හැර තම මව්බස පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ වෙන කිසිම ක්‌ෂේත්‍රයක සිසුන්ට නොමැති තරම්ය.

ජාත්‍යන්තර භාෂාවක්‌ ලෙස අද ඉංගී්‍රසි භාෂාව අත්‍යවශ්‍යම වී ඇත.ඒ පිළිබඳව කිසිදු විවාදයක්‌ නැත. එහෙත් බුද්ධි වර්ධනයක්‌ නොමැති නම් හෝ තමුන්ට නිසි අධ්‍යාපනයක්‌ නොමැති නම් කුමන භාෂාව ඉගෙන ගත්තත් එය එතරම් පලක්‌ වන්නේද නැත. ඉංගී්‍රසි හෝඩියේ අකුරු ගණන නිවැරැදිව දන්නා අපේ පාසල් දරුවන් කී දෙනෙක්‌ නම් සිංහල හෝඩියේ අකුරු ගණන නිවැරැදිව දන්නවාද? සිංහල හෝඩියේ අකුරු ගණන නොදැනීම එතරම් ලැ-ජාවකට කරුණක්‌ නොවුණත් ඉංගී්‍රසි හෝඩියේ අකුරු ගණන නිවැරැදිව දැන නොසිටීම වැඩිහිටියන්ටද එක්‌තරා මදිකමක්‌ වී ඇත.

උසස්‌පෙළ දරුවන් සියලු දෙනාටම සිංහල මෙන්ම ඉතිහාසය ද ආගම පිළිබඳව ද යම් අවබෝධයකින් ද කටයුතු කිරීමට මගසැලසුවේ ප්‍රේමදාස උඩුගම මැතිතුමාය දැනට වසර කිහිපයකට පෙර උසස්‌ පෙළ විභාගය ජාතික අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය ලෙසින් හඳුන්වන ලදී.

යම් සිසුවකු උසස්‌ පෙළ විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබුවත් ඒ සෑම සිසුවකුහටම අපේ උරුමය නමින් අමතර විෂයයක්‌ අනිවාර්යයෙන්ම හැදෑරීමට නියමිතව තිබිණි. ඒ සඳහා වැදගත් විෂය කරුණු රාශියක්‌ අන්තර්ගත කරමින් නියමිත ග්‍රන්ථයක්‌ද රජය මගින් දරුවන්ට ලබාදුන්හ. පොත් සියයක්‌ වත් කියවා ලබාගත නොහැකි සංක්‍ෂිප්ත දැනුම් සම්භාරයක්‌ ලබාගැනීමට මෙම පොත ඉවහල් විය. එහි කතුවරයා වූයේ ගත්කතුවර රූබන් පීරිස්‌ මැතිතුමාය. මෙහි අරමුණ වූයේ නියමිත ප්‍රධාන විෂයයන්ට අමතරව අපේ ඉතිහාසය සංස්‌කෘතිය ආගම සහ මව්බස පිළිබඳව පොදුවේ සෑම උසස්‌පෙළ දරුවෙකුටම යම් නිවැරැදි අවබෝධයක්‌ ලබාදීමයි. මෙමගින් බලාපොරොත්තු වූයේ අධ්‍යාපනය තුළින් රටට හිතකාමී මානව හිතවාදී සංවේදි දරුවකු බිහිකිරීමටය. එවැනි උදාරතර සංකල්ප අතරමග නතරවීමට ඉඩ හැරීම මහත් අභාග්‍යයකි.

කොපමණ මුදලක්‌ වැය කළද ගුණ නුවණින් සපිරි දරුවකු රටට දායාද නොවන්නේ නම් ඉන් පලක්‌ වන්නේ ද නැත.

දැන ඉගෙන ගත්කම -

තමයි කෙනෙකුගෙ වත්කම

ගුණ නුවණ දැක්‌කම -

ඔබට සලකයි රටේ ඔක්‌කොම


ඒ අපූරු කව් පංතියෙන් අපට පවසන දෑ බොහෝය.

වර්තමානයේ අපරාධවල අඩුවක්‌ නැත. සිදුවන අපරාධවල සැහැසිකම් සැලසුම් සහ කෲරත්වය අතිභයානකය. අද මිනී මැරීමක්‌ සිදුවී නම් එය නිකම්ම නොව මරණයට පෙර දස වධදී කපා අතපය හතර වෙන්කොට බෙල්ල කඳෙන් ඉවත්කොට මරා පුළුස්‌සා අවසානයේදී අළු ටිකත් වැසිකිළි වළකට දමන තත්ත්වයකි.

මේ කෲර මිනිසුන් එසේ නොමගට යන්නට පෙර යහමගට ගන්නේ කෙසේ දැයි සැලසුම් කළයුතුය. මේ සඳහා පන්සල් පල්ලි සහ පාසල් ආශ්‍රිතව සුවිශේෂී වැඩසටහන් ඉදිරිපත් කරමින් කුඩා කළ සිටම සෑම දරුවකුම අපරාධයට සහ පවට බිය ඇති කල හැකිය.එතුළින් අනිකාගේ අදහසට සහ නිදහසට ගරු කරන සමාජයක්‌ බිහි කිරීමේ මූලික අඩිතාලම නැවත ආරම්භ කළ හැකි වනු ඇත.

කුඩා දරුවන් අණ කිරීම තුළිනුත් වයස අවුරුදු 15 ඉක්‌මවන දරුවන් බණ කීම තුළිනුත් යහමගට ගත හැකි බව වැදගත් කියමනකි. එබැවින් යමකු යහමගට ගැනීමේදී අණ සහ බණ දෙකම එක ලෙස වැදගත් වේ.

දිනපතා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් හෙළිදරව් කරන බොහෝ කරුණු හේතුවෙන් සමාජය විනය අතින් අන්ත පරිහානියට පත්ව ඇති බව පිළිගන්නට සිදුවී තිබේ. මේ අතර අතිවිශාල ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ ඉගෙනුම ලබන පාසල් ද විනය අතින් පහත් මට්‌ටමකට පත්ව ඇති බව එදිනෙදා අසන්නට සහ දකින්නට ලැබෙන සිදුවීම් තුළින් හෙළිsදරව් වන්නකි. එබැවින් බලහත්කාරයෙන් හෝ නැවතත් ආගම තුළින් සමාජය විනයගරු කළ යුතු කාලය ඇඟිලිතුඩටම පැමිණ ඇත.

අපේ වෙහෙර විහාරස්‌ථානවල වත්මන් තත්ත්වය ද සාකච්ජාවට භාජනය කළයුතු වේ. දැනට වසර විසිපහකට පමණ පෙර පාසල් ගොස්‌ නිවෙස්‌ කරා පැමිණීමෙන් අනතුරුව තරමක විවේකයක්‌ ගත් දරුවන් සවසට පන්සල කරා පියනැගුවේ අමතර අධ්‍යාපනයක්‌ ලබා ගැනීමටය. ඒ පන්සලේ ස්‌වාමීන් වහන්සේගෙනි. ගමේ දරුවන් ටික පන්සලට එනතෙක්‌ පන්සලේ ස්‌වාමීන් වහන්සේද පසුවූයේ නොඉවසිල්ලෙනි. ගමත් පන්සලත් අතර තිබුණේ විස්‌මයජනක සහජීවනයකි. දරුවන් කෙරෙහි අපමණ සෙනෙහසකින් කටයුතු කළ ස්‌වාමීන් වහන්සේලා ද තමුන්ට දානෙට ලැබුණු දෙයින් කොටසක්‌ සවසට එන දරුවන්ට දෙන්නේ අපමණ සතුටකිනි. එවන් තත්වයක්‌ වත්මන් සමාජය තුළ දක්‌නට ලැබේ නම් ඒ ඉතාමත්ම කලාතුරකිනි.

අද ස්‌වාමීන් වහන්සේලාට ද වැඩ අධික කාලයකි. ගිsහි උදවියට වඩා ඇතැම් පැවිදි හිමිවරුන්ට මුදල්වල අවශ්‍යතාව ඇතිවී තිබේ. ඇතැම් පන්සල්වල ධම්මාලංකාර/සෝභිත හිමි ඇත/නැත යනුවෙන් දැක්‌වෙන බෝඩ් ලෑල්ලකි. පොරොන්දමක්‌ බැලීමට රුපියල් 100/- ක්‌ අයකරනු ලැබේ. නිවාස නැකතක්‌ නම් රුපියල් 250/- කි. මල්වර නැකතට රුපියල් 300/- කි. ඇතැම් දේවාලවල කපුමහත්මයා ද පන්සලේම ස්‌වාමීන් වහන්සේය. නැතිනම් හාමුදුරුවන්ගේ පවුලේම කෙනෙකි. සියල්ල මුදල් මත තීරණය වන යුගයක අපේකම කොතැනදැයි ප්‍රහේලිකාවකි.

දහම් පාසල තුළිsන් ඒ සඳහා සුවිශේෂී කාර්ය භාරයක්‌ ඉටු කළ හැකිය. එබැවින් දහම් පාසල් අධ්‍යාපනය සෑම දරුවකුහටම අනිවාර්ය කළ යුතු යුගයකි මේ. එහෙත් තරගකාරී සහ අතිධාවනකාරී අධ්‍යාපනික අවශ්‍යතාවයන් නිසා දහම් පාසල් අධ්‍යාපනය ශීඝ්‍රයෙන් පිරිහීගෙන යන බවද පෙනේ. දහම් පාසල් අධ්‍යාපනය ලබාගත්ත ද රැකියා අවස්‌ථා හෝ උසස්‌ අධ්‍යාපනයට එම සහතිකය කිසිසේත්ම බලපෑමක්‌ නොකරන බැවින් එය එතරම් වැදගත් නොවන තත්වයකටද පත්ව ඇත.

අද ජනප්‍රිය යෑයි කියන බොහෝ පාසල් භෞතික සම්පත්වලින් පිරී ඉතිරී යයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඇතැම් පාසල්වල ඇතැම් ගිණුම්වල ශේෂය කෝටි හතඅට ඉක්‌මවා ඇති බවද ජනතාව කියනු ඇසේ. ඇතැම් පාසල්වල අමාත්‍යාංශ නීති රීති වලට කොහෙත්ම එකඟතාවයක්‌ නැති විවිධාකාර නම්වලින් යුත් හිතුවක්‌කාර ගිණුම් ද පවත්වාගෙන යන බව හෙළිදරව් කරගෙන තිබේ. මේ අතර ජනප්‍රිය යයි කියන පාසල්වල යෑටි මගඩි ගැනද හංදි හංදිවල කථා කරනු ඇසේ. පාසල් කප්පිත්තන් ගෙවන සුඛෝපභෝගී ජීවන රටාව දෙස බලන විට මේවා නිකම්ම නිකං බැහැර කිරීමට ද අපහසුය. අද අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන්නේ අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසම මෙන්ම වංචා විමර්ශන අංශය බවට දැන ගන්නට ඇත.නිර්ලජ්ජිතව ධනය උපයන පාසල් කප්පිත්තන් ගැන හංදි හංදි ගණනේ කථා කිරීම අම්බලන්ගොඩ ප්‍රදේශයේ නම් ඉතාම සුලබ දසුනක්‌ වී තිබේ. පාසල් පරිපාලකයන් එවන් තත්ත්වයකට පත්වීම තුළ ඒ කෙරෙහි සමාජය දක්‌වන ගරුත්වය කෙබඳු විය හැකිද?

එබැවින් දහම් පාසලේ උගන්වනු ලබන ගුරු භවතුන්ගේ අධ්‍යාපනික තත්ත්වය සහ විනය පිළිබඳවද විශේෂ පැහැදීමක්‌ ඒ අවට ගම්වාසීන්ට ඇති වීම අනිවාර්යය.

ඒ සියල්ලම විනිවිදභාවයකින් යුතුව ඉටු වන්නේ නම් බොහෝ දෙමාපියන් තම දරුවන් දහම් පාසල් අධ්‍යාපනය කරා යොමු කරවනු ඇත. මේ සඳහා රජය පැත්තෙන් ද යම්යම් සීමාවන් පණවමින් දහම් අධ්‍යාපනය අනිවාර්ය කළ හැකිවනු ඇත.

ඒ සඳහා

1. පළමු වසර සිට අ.පො.ස සා/පෙළ දක්‌වා ආගම විෂය පාසල් විෂය ධාරාවෙන් ඉවත් කොට එම විෂය ඉගැන්වීමේ පහසුකම සහ දරුවන්හට ඉගෙන ගැනීමේ පහසුකම රජය පිළිගත් ගමේ දහම් පාසල වෙත පැවරීම.

2. මේ වන විටත් ආගම හර විෂයයකි. එහෙත් දැනට එම විෂය අසමත් වුවද උසස්‌ පෙළ හැදෑරිය හැකිය. ඉදිරියේදී කුමන විෂය කාණ්‌ඩයක්‌ යටතේ වුවද උසස්‌ පෙළ හැදෑරීමට අවශ්‍ය නම් අඩුම තරමින් ආගම විෂය සඳහා සම්මාන සාමාර්ථයක්‌ වත් ලබා ගත යුතු බවට චක්‍රලේඛ ගත කිරීම.

3. අ.පො.ස සා/පෙළ විභාගයට ඉදිරිපත් වෙමින් එම විෂය සඳහා පෙනී සිටින සිසුන්ට දහම් පාසල පවත්වන දින ගණනින් යම් කිසි සාධාරණ දින ගණනක්‌ ප්‍රතිශතයක්‌ ලෙසින් දහම් පාසලට පැමිණීම අනිවාර්ය බවට චක්‍රලේඛ ගත කිරීම.

4. දහම් පාසල් සියල්ලම අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පූර්ණ අධීක්‍ෂණයට ලක්‌ කිරීම සහ දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය කරන අනිකුත් කටයුතු සඳහා රජය මැදිහත් වීsම.

5. දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම පිණිස ඒ සඳහා සුදුසුකම් සපිරි ගුරු භවතුන් ලබා දීම සහ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව යම් යම් සාධාරණ සීමාවන් පැනවීම.

6. දහම් අධ්‍යාපන ලබාදීමේ අවසාන ඉලක්‌කය මැනවින් හඳුනාගෙන එම අරමුණු ඉටු කර ගැනීම පිණිස අවශ්‍ය කරන විෂය නිර්දේශයන් ඉදිරිපත් කිරීම.

7. විෂය නිර්දේශයන් සැකසීමේදී ඒ සඳහා සුදුසුකම් සපිරි ගිහි, පැවිදි වියත් මණ්‌ඩලයක්‌ මගින් අවශ්‍ය කරන විෂය නිර්දේශය හඳුන්වාදීම.

8. මේ වන විට ඇතැම් දහම් පාසල්වල අතිවිශාල සිසුන් පිරිසක්‌ ඉගෙනුම ලබන බැවින් සෑම වෙහෙර විහාරස්‌ථානයකම කුඩාවට හෝ දහම් පාසලක්‌ පවත්වාගෙන යැම තුළින් එවැනි දහම් පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පාලනය කිරීමට පියවර ගැනීම.

විනය පිරිහුණු කළ එහි විපාක විඳීමට සිදුවන්නේ මුළුමහත් ජාතියටමය. හිරගෙදරකදී අපරාධකරුවන්ට දෙන කෑමවේල ලැබෙන්නේ ද අසරණ ජනතාව ගෙවන බදුමුදලිනි. එබැවින් සොත්ති උපාලිලා ජුලම්පිටියේ අමරෙලා තවදුරටත් නිර්මාණයවීමේ සියලු හිඩැස්‌ අසුරා දැමිය යුතුය.මේ සඳහා සියලුම ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඒ සම්බන්ධයෙන් දැඩි කැපකිරීමක්‌ කරන්නට ද සිදුවේ. එසේ නොවුව හොත් ජනගහනයට අනුව ආසියාවේ ලොකුම සිරගෙදරත් මේ බෞද්ධ රටෙන්ම නිර්මාණය කිරීමට සිදුවීම වළක්‌වාලිය නොහැකිවනු ඇත.

පාසල් දරුවන්ට ලෝවැඩ සගරාව සිදත් සඟරාව වැනි උපදේශාත්මක පොත්පත් අනිවාර්යයෙන්ම පරිශීලනය කිරීම උදෙසා නව වැඩපිළිවෙළක්‌ හඳුන්වාදීමද අතිශයින්ම වැදගත් වන කාරණයකි.විවෘර්ත ආර්ථිකයට සමගාමීව ව්‍යාපාර ලෝකය සහ තාක්‍ෂණික ලෝකය කෙසේ හෝ ජයගැනීමට ගන්නා උත්සාහයේදී යුතු - අයුතුකම් පසෙකට වීසිවී ඇත. එබැවින් දහමින් හෝ අධර්මයෙන් එකිනෙකා පරයා නැඟී සිටීමට ගන්නා ආත්මාර්ථකාමී උත්සාහයේදී ද පුද්ගලයන් තුළ විචාරවත් සහ විනයවත් බව ඇති කළ හැක්‌කේ දහමෙන් පමණි.ආගම සහ දහම සුළුකොට සලකා ජාතිය ගොඩනගන්නට උත්සාහ කරන්නේ නම් එය කිසිදාක ඉටු නොවන සිහිණයක්‌ පමණි. එබැවින් කුඩා කල සිටම අර්ථාන්විතව බුදුදහම ජීවිතයට සමීප කරවීමට ඉතා සැලසුම්සහගත ක්‍රමවත් වැඩ පිළිවෙළක්‌ දියත් කිරීමේ කාලය ද අතළඟටම පැමිණ තිබේ.

නීති - රීති පැනවීම තුළින් හෝ ඉරිදා ටියුෂන් පංති තහනම් කිරීම තුළින් දහම් අධ්‍යාපනයට සිසුන් පෙළඹවීමට උත්සාහ කරන්නේ නම් එය නොපෙනෙන ගැටලු බොහොමයක උල්පත විය හැකිය. ඒ සඳහා නොයෙකුත් පළාත් සභා නොයෙකුත් නාගඩම් නටතත්. ඉන් පහර වදින්නේද නැති බැරි එකාටය. ඇති හැකි එකා දහස්‌ ගණන් මුදල් ගෙවා ඉරිදා උදෑසනත් ටියුෂන් ගුරුවරුන් ගෙදරට ගෙන්වා ගනිති. එබැවින් ඒ සඳහා කාටත් සාධාරණ වන ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිය හැකි ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ සැකසීම කාලෝචිතය.

එනිසා කළ යුතු වන්නේ ආගම විෂය පාසල් විෂය ධාරාවෙන් ඉවත් කොට දහම් පාසලට පැවරීමය.නමුත් වාර අවසන් විභාග පැවැත්විය යුත්තේ රජයේ පාසලෙනි.

එක්‌ අතකින් තම දරුවන් ද කෙළෙසන නොමිනිසුන්ය. තවත් අතකින් තම හැදූ වැඩූ මවට පියාට නොසලකන දරුවන්ය. එවැනි ප්‍රවෘත්ති අද ඉතා සුලබය. මුදලින් මුදල වැඩිවන බව සැබෑය. එහෙත් මුදලින් මිනිසත් බව සපිරි මනුස්‌සයෙක්‌ බිහි වන්නේ නැත. දැනට වැඩිහිටි නිවාස තුළ නඩත්තු වන අපේ දෙමාපියන් දෙස බලන විට මව්සෙනෙහස දරුවන් තුළින් ඉවත්ව ගොස්‌ ඇත. වසරකට වතාවක්‌ හෝ මතකයට නගාදිය යුතු නිසා වැඩිහිටි දිනය නමින් දිනයක්‌ ද නියමිතව තිබේ .එවැනි දිනයක්‌ නැතිනම් ඇතැමුන්ට වැඩිහිටියන් මතක්‌ වන්නේද නැත.

ඇතැමුන් තම දරුවන් ද සමගින් තම දෙමාපියන් බැලීමට මහලු නිවාස කරා යන්නේ විනෝද ගමනක්‌ යන අසිරියෙනි. ඒ ගොස්‌ එන්නේ ද නිකම්ම නොවේ. දනට පිනට මවට - පියාට ලැබුණු බොහෝ දේද රැගෙනය. එබැවින් ඒ ගිය ගමනෙන් පාඩුවක්‌ ද නැත. එහෙත් මවට - පියාට වඳින ගාථාවක්‌ ලොව කිසිම රටක නැත. එය අටවැනි පුදුමය ලෙසින් නම් කළත් ඇති වරදක්‌ද නැත. එහෙම රටක මෙහෙම වෙන්නේ අපේ අධ්‍යාපනය තුළින් යුතුකම ගැන කියා නොදෙන නිසාද?

මෙනිසා මිනිසත් බව සපිරි මිනිසුන් බිහිවීම විරල වී ඇත. එමෙන්ම එදා අපේ දරුවන් පාසල් අධ්‍යාපනයෙන් පසුව උපකාරක පංති කරා ඇදෙන සංකල්පයක්‌ නොතිබිණි. එදා ටියුෂන් ගියේ වැඩ බැරි දරුවන්ය. ටියුෂන් යනවා යනු ලජ්ජාවට කරුණකි. එහෙත් අද මෙය කණපිට ගැසී ඇත. අද ටියුෂන් නොයන්නේ නම් එය අඩුවක්‌ සේ දැනේ. (සමාජ පරිහානියේ ඉතුරු කොටස අංගසම්පූර්ණ වන්නේ ඇතැම් ටියුෂන් පංතිවලදීය. මේ පිළිබඳව වෙනමම කරුණු - කාරණා ඉදිරිපත් කළ හැකිය.)

අයි.ජී.එල්. ජයවීර
 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.