"තේජාන් පුතා" සිද්ධියේ 7දෙනෙක්‌ හඳුනා ගැනෙති

පද්මසිරි ගාර්දියවසම් -තංගල්ල

තංගල්ල කුඩාවැල්ල මුහුදු තීරයේදී කපාකොටා ධීවරයන් මහ මුහුදට ඇද දමා බහුදින ධීවර යාත්‍රාවක්‌ පැහැරගෙන ඔස්‌ටේ්‍රලියාව බලා පලායැමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෝ හත් දෙනෙක්‌ පෙරේදා (1 දා) තංගල්ල මහෙස්‌ත්‍රාත් යුරේෂාද සිල්වා මෙනවිය ඉදිරියේ පැවැති හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවේදී සාක්‌ෂිකරුවන් විසින් හඳුනාගනු ලැබූහ. පෙරේදා (1 දා) දහවල් 12.30 සිට සවස 6 දක්‌වා පැය 5 කට අධික කාලයක්‌ තුළ හඳුනාගැනීමේ පෙරෙට්‌ටු 4 ක්‌ පැවැත්වූ අතර ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් මැද සැකකරුවෝ 8 දෙනෙකු ඉදිරිපත් කරනු ලැබූහ. ඉන් එක්‌ සැකකරුවකු සාක්‌ෂිකරුවන් විසින් හඳුනාගනු ලැබුවේ නැත.

පැහැරගත් තේජාන් පුතා ධීවර යාත්‍රාවෙන් මුහුදට ඇද දැමූ පසු දිවි ගලවාගත් ධීවරයෝ දෙදෙනා මේ නඩුවේ සාක්‌ෂිකරුවෝ වෙති.

හඳුගැනීමේ පෙරෙට්‌ටුවට ඉදිරිපත් කළේ තිස්‌සමහරාම කිරින්දාගම පදිංචිකරුවන් වූ කේ.එච්. රංජිත් නිශාන්ත (කුමාර), කේ. එච්. අජිත් කුමාර (චණ්‌ඩි) කේ. එච්. සංජීව, යෝධකණ්‌ඩියේ පදිංචි ශාන්තප්‍රිය ගලප්පත්ති, හුංගම දකුණ බට අත පදිංචි ඩබ්. එච්. සම්පත් කුමාර, ඩබ්. එච්. සිසිර කුමාර, රන්නේ පදිංචි උත්පල අමරවීර සහ තංගල්ල ගොඩැල්ලවෙල පදිංචි පී. එච්. දයානන්ද යන අටදෙනායි.

මෙයින් හඳුනාගැනීමට නොහැකිවූයේ ශාන්ත ප්‍රිය ගලප්පත්ති නමැති සැකකරුයි.

හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවෙන් පසු ඔස්‌ටේ්‍රලියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් 14 දෙනා අතර සිටි 5 හැවිරිදි දැරිය රුපියල් ලක්‌ෂ 5 ක ඇප බැඳුම්කරයක්‌ මත පියාගේ සොහොයුරියකට භාර දීමට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය අනෙක්‌ බාල වයස්‌කාර දරුවන් දෙදෙනා ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයේ පරිවාස භාරයේ රඳවා තැබීමට නියෝග කළාය.

නිSතිඥ නිශාන්ත සඳබරණ, නීතිඥ ප්‍රියන්ත වීරසිංහ, නීතිඥ රංජන් විඡේසිංහ, නීතිඥ දිලානි ලියනආරච්චි යන මහත්ම මහත්මීහු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් කළ ඉල්ලීම මහෙස්‌ත්‍රාත්වරිය විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. පෙරෙට්‌ටුව සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් ද ඇතුළුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 16 දෙනා ලබන 15 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.