හෘද රෝග දියවැඩියාව වැනි බෝ නොවන
රෝග වළක්‌වා ගැනීමට සුවෝත්සවය නමින් වැඩසටහනක්‌


ඒමන්ති මාරඹේ

මෙරට වැඩි වෙමින් පවතින හෘද රෝග, දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග වළක්‌වා ගැනීම සඳහා මහෝපකාරී වන සරල ඉලක්‌කයන් 8 ක්‌ ජනතාවට හඳුන්වාදීමට ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර තිබේ.

මේ යටතේ බෝ නොවන රෝගවලින් මිදී නිරෝගී දිවි පෙවෙතක්‌ ගත කිරීමට උපකාරී වන මෙම සරල ඉලක්‌කයන් ජනතාවට හඳුන්වා දීමේ දැවැන්ත වැඩසටහනක්‌ මෙම මස 17 වැනිදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වීමට ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය කටයුතු යොදා තිබේ.

"සුවෝත්සවය" නමින් නම් කර ඇති මෙම වැඩසටහන යටතේ උසට සරිලන බරක්‌ පවත්වාගෙන යැම, ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය අවම කිරීම, පැණිරස කෑම සීමා කිරීම, තෙල් හා සංතෘප්ත මේද අඩංගු බඳින ලද තෙල් ආහාරයට ගැනීම සීමා කිරීම, දිනකට එළවළු හා පලතුරු ග්‍රෑම් 400 ක්‌ වත් ආහාරයට එක්‌කර ගැනීම, මත්පැන් හා දුම් වැටි භාවිතයෙන් වැළැකීම, රුධිර පීඩනය 140/ 90 මට්‌ටමට අඩුවෙන් පවත්වා ගැනීම හා දිනපතා මුළුÊකයම වෙහෙසා විනාඩි 30 ක්‌ පමණ ව්‍යායාම කිරීම යන සුපිරි ඉලක්‌ක 8 ජනතාව අතරට ගෙන යැම සිදු කෙරේ. පෝෂණය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ නගර සභාව හා ස්‌කයිලු එන්ටටේන්මන්ට්‌ යන ආයතන මේ සඳහා අනුග්‍රහය දක්‌වයි. 17 වැනිදා උදැසන 8 සිට සවස 6 දක්‌වා පැවැත්වෙන මෙම වැඩසටහන මහජනතාව සඳහා විවෘතව පවතී.

කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (02 දා) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.