දුම්පානය නතර කළොත් හෘද රෝග අඩකින් අඩුවෙයි

ඒමන්ති මාරඹේ

දුම්පානය සම්පූර්ණයෙන් නතර කිරීමෙන් හා දිනපතා විනාඩි 30 ක්‌ සිරුර වෙහෙසවා ව්‍යායාම්වල නිරත වීමෙන් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම සියයට 50 කින් අඩු කර ගත හැකි බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි.

හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, පිළිකාවන් වැනි බෝ නොවන රෝග බොහොමයකට හේතුවී ඇත්තේ දුම්පානය, මත්පැන් පානය, ව්‍යායාම මදකම හා අධික තෙල්, ලුණු පරිභෝජනය බව එම සංගමය පෙන්වා දෙයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට දහයක්‌ (10%) පමණ දියවැඩියා රෝගයට ගොදුරුව ඇති අතර ළදරු වියේ සිට වැඩිහිටිවිය දක්‌වාම එම රෝගය වැළඳීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇති බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

බෝ නොවන රෝගවලට ගොදුරු වීමෙන් වැළකී සිටීම සඳහා උසට ගැලපෙන තරමට සිරුරෙහි බර පවත්වාගෙන යාම, දිනකට සියලු ආහාරවලින් ගනු ලබන ලුණු ප්‍රමාණය තේ හැඳි 1 කට සීමා කිරීම, පැණිරස ආහාර වර්ග හරහා දිනකට ගනු ලබන සීනි ප්‍රමාණය තේ හැඳි 6 කට සීමා කිරීම, තෙල් හැඳි ප්‍රමාණය තේ හැඳි 1 කට සීමා කිරීම, ලුණු ප්‍රමාණය ග්‍රෑම් පහකට සීමා කිරීම, දිනපතා කය වෙහෙසා විනාඩි 30 ක්‌ වත් ව්‍යායාම්වල හෝ ක්‍රියාකාරකම්වල යෙදීම, දුම්වැටි හා මත්පැන් පානයෙන් මිදීම හා අධි රුධිර පීඩන මට්‌ටම 140/90 උපරිමයට යටත්ව පවත්වා ගැනීම කළ යුතු බව ප්‍රජා වෛද්‍ය සංගමය මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.