අක්‍ෂි කාච පිළිබඳව ඇත්ත හෙළිකරන්න
වෛද්‍ය නලින් ද හේරත්

මිලදී ගන්නේ නියමිත පටිපාටියකට
වෛද්‍ය මංගලා ගමගේ

ඒමන්ති මාරඹේ

කොළඹ නයනා රෝග්‍ය ශාලාවේ සිදුකෙරෙන ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරුන් විසින් නම් කරන පෞද්ගලික ආයතනවලින් පමණක්‌ අක්‍ෂි කාච මිලදී ගැනීමට සිදුවන බවට පැතිර යන රාවයන් පිළිබඳව සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය වහා පියවර ගත යුතු යෑයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නයනාරෝග්‍ය ශාලා ශාඛාව පවසයි.

ඉහත කී චෝදනාව මෙන්ම නයනාරෝග්‍ය ශාලා වෛද්‍යවරුන් ඔවුන් කාච ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කරනු ලබන ආයතනවලින් කොමිස්‌ මුදල් ලබා ගැනීම හා එසේ කරන වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්‍ෂණයක්‌ අරඹා ඇති බවට පවතින රාවයන් සෞඛ්‍ය අමාත්‍යංශය හා බැඳී ඇති කරුණු නිසා අමාත්‍යංශය මේ සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක්‌ කළ යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නලින් ද හේරත් මහතා පැවැසීය.

නයනාරෝග්‍ය ශාලාවේ වෛද්‍යවරුන් මෙතෙක්‌ ඇසෙහි සුද පවතින රෝගීන්ට සැත්කම් කිරීමේදී අවශ්‍ය අක්‍ෂි කාච රෝගීන් හරහා පෞද්ගලික අංශයෙන් මිලදී ගත්තේ නියමිත පටිපාටියකට අනුව බවත් ඉදිරියේදී ද එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව නයනාරෝග්‍ය ශාලාවේ අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ මහත්මිය පැවැසුවාය.

එසේ අක්‍ෂි කාච රෝගීන් විසින් මිලදී ගන්නා ආයතනවලින් වෛද්‍යවරුන් කොමිස්‌ මුදල් ලබා ගන්නා බවට පවතින චෝදනා සාවද්‍ය බව ඇය සඳහන් කළාය.

කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේ පැවැති පුවත්පත් සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.