පරිපූරක වෛද්‍ය වෘත්තික
දෙදින වැඩ වර්ජනයක්‌ හෙට සහ අනිද්දා


ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 6 ක්‌ මුල් කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ හෙට (06 දා) හා අනිද්දා (07 දා) යන දෙදින දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

මෙම වැඩ වර්ජනය සඳහා මෙයට පෙර වැඩ වර්ජනවලදී මානුෂීය හේතූන් මත එක්‌කර නොගත් බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා, කාසල් වීදිය කාන්තා, ද සොයිසා කාන්තා, මහරගම පිළිකා හා පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ යන රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ද සහභාගි කර ගන්නා බව එම බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා පැවැසීය.

2001 වසරින් පසු වැඩි නොකළ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ අතිකාල හා කැඳවුම් දීමනාවන් වැඩි කිරීම, ඔවුනට සන්නිවේදන දීමනා ලබාදීම, 2007 න් පසු එම වෘත්තීන්ගේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ලබාදී නොමැති උසස්‌වීම් ලබාදීම ඇතුළු සේවා ඉල්ලීම් 6 ක්‌ මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය.

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන් (එම්එල්ටී), භෞතවේදී චිකිත්සකයන් හා වෘත්තීයවේදී චිකිත්සකයන් 5000 ක්‌ පමණ මෙම වර්ජනයට එක්‌ වන බව හෙතෙම සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.