නවීන තාක්‍ෂණය යටතේ අනුරපුර රෝහලේදී සාර්ථක වකුගඩු බද්ධ සැත්කමක්‌

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

ජීවතුන් අතර සිටින නිරෝගී පුද්ගලයකුගෙන් වකුගඩුවක්‌ ලබාගෙන වකුගඩු අක්‍රීය වූ රෝගී පුද්ගලයකුට නව තාක්‍ෂණය යටතේ බද්ධ කිරීමේ සැත්කමක්‌ ඉකුත් 5 දා ප්‍රථම වරට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී සාර්ථකව සිදුකෙරිණි.

ශල්‍ය වෛද්‍ය විශේෂඥ චරිත වීරසිංහ මහතා විසින් මෙම සැත්කම සිදුකරනු ලැබිණි.
නිරෝගී පුද්ගලයකුගෙන් වකුගඩුවක්‌ ලබා ගැනීම සඳහා ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණු රටවල ප්‍රචලිතව භාවිතකරන හෑන්ඩ් ඇසිස්‌ටඩ් ලැප්රොස්‌කොපීක්‌ තාක්‍ෂණය (Hand Assisted Laproscopic Technique) අනුව එම සැත්කම් සිදුකිරීම එහි විශේෂත්වය විය.

මෙම ක්‍රමය අනුගමනය කරමින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී ශල්‍යකර්මයක්‌ සිදුකළ පළමු අවස්‌ථාව මෙය වේ.

මෙම ක්‍රමය මගින් වකුගඩුව පරිත්‍යාග කරන පුද්ගලයාට සිදුවන අපහසුතාවන් සහ ඔහුගේ උදර ප්‍රදේශයේ සිදුවන කැපුම් තුවාල අවම කරගෙන උදර කුහරය තුළට යවනු ලබන කුඩා කැමරාවක ආධාරයෙන් ලබා ගන්නා දර්ශන නිරීක්‍ෂණය කොට සැත්කම කර වකුගඩුව ඉවතට ගැනීම සිදුකෙරේ.

හෑන්ඩ් ඇසිස්‌ටඩ් ලැප්රොස්‌කොපික්‌ ක්‍රමය අනුගමනය කරමින් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ මෙහෙවරෙහි නිරතව සිටින ශල්‍ය වෛද්‍ය විශේෂඥ චරිත වීරසිංහ මහතා ඒ පිළිබඳව විදේශයන්හි නිපුණතාවයක්‌ ලැබූ වෛද්‍යවරයෙකි.

මීට මාස දෙකකට පමණ පෙරදී අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර හා පර්යේෂණ ඒකක ශල්‍යාගාරයේදී ප්‍රථමවරට හදිසි අනතුරකට ලක්‌ව මොළය මියගිය තරුණයකුගෙන් ලබාගත් වකුගඩුවක්‌ තරුණියකට බද්ධ කිරීමේ ගෞරවය හිමිවන්නේද ඒ මහතාටය.

මියගිය අයගෙන් වකුගඩු ලබාගෙන වකුගඩු දෙකම අකර්මණ්‍ය වූ රෝගීන්ට බද්ධ කිරීමේ සාර්ථක සැත්කම් ගණනාවක්‌ මේ වන විට චරිත වීරසිංහ මහතා විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී සිදුකොට තිබේ. ජීවතුන් අතර සිටින පුද්ගලයෙකුගෙන් වකුගඩු රෝගියෙකුට වකුගඩුවක්‌ බද්ධ කිරීමේ සැත්කමක්‌ එම රෝහලේදී සිදුකළ ප්‍රථම අවස්‌ථාව මෙය වන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය විඡේදාස අතපත්තු මහතා පැවැසීය.

මෙම සැත්කමේදී දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වකුගඩු රෝගයෙන් පෙළුණු මැදවච්චිය, හැළඹගස්‌වැව ප්‍රදේශයේ පදිංචි පනස්‌ හැවිරිදි අයි. කේ. ජයසේකර මහතාට වකුගඩුවක්‌ බද්ධකරනු ලැබූ අතර ඔහුගේ ඥති සොයුරියක වන තිස්‌පස්‌ හැවිරිදි දෙදරු මවක වන ශීලා දිසානායක මහත්මිය විසින් වකුගඩුව පරිත්‍යාග කරනු ලැබිණි.

මෙම සැත්කමෙන් පසු වකුගඩුව බද්ධ කළ හා පරිත්‍යාග කළ දෙදෙනාම මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව විශේෂඥ වෛද්‍ය චරිත වීරසිංහ මහතා "දිවයින"ට පැවැසීය.

"හෑන්ඩ් ඇසිස්‌ටඩ් ලැප්රොස්‌කොපික්‌ ලෙසට හැඳින්වෙන නවීන තාක්‍ෂණ ක්‍රමය අනුගමනය කරමින් පිටතට ගැනීම නිසා වකුගඩු පරිත්‍යාග කරනු ලබන තැනැත්තාට ඇතිවන අපහසුතාව අවම වෙනවා. මීට පෙර සිදුකෙරුණු ක්‍රමය අනුව වකුගඩුවක්‌ දායකයකුගෙන් ඉවතට ගැනීම සඳහා විශාල කැපුම් තුවාලයක්‌ සිදුකළ යුතුයි. මේ හේතුවෙන් වකුගඩු පරිත්‍යාගශීලීන්ට කෙටි කාලීන හා දිගුකාලීන වේදනාවක්‌ ඇතිවෙනවා.

නවීන තාක්‍ෂණ ක්‍රමවේදය භාවිත කරමින් සිදුකළ පළමු ශල්‍යකර්මය සාර්ථක කර ගැනීමට සහාය පළ කළ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ විඡේදාස අතපත්තු මහතාට, ඒ සඳහා දායකත්වය ලබාදුන් වෛද්‍යවරුන්ට, හෙද කාර්ය මණ්‌ඩලයට හා අනෙකුත් කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාට තම ස්‌තූතිය පළකරන බව විශේෂඥ වෛද්‍ය චරිත වීරසිංහ මහතා පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.