නාගයා සපා කෑ කොටස පිහියෙන් ඉවත් කරලා!
රෝහලට ඇතුළත් වූ පුද්ගලයා සුවඅතට

ක¹න විශේෂ - රුක්‌මන් පින්තු

ගණේමුල්ල ප්‍රදේශයේ කැලෑවක සිට නිවසකට ඇතුල් වූ විශාල නාගයෙක්‌ දැක දරුවෙකු කෑගැසීම නිසා එම ස්‌ථානයට පැමිණි පුද්ගලයෙකු පොල්කටු හැඳි දෙකකින් නාගයාගේ හිස තදකර ගෝනියකට දමා ගැනීමෙන් පසු එහි තිබූ සිදුරකින් නාගයා එම පුද්ගලයාගේ අතේ ඇඟිළි දෙකක්‌ සපා කා ඇති අතර ඉන්පසු එම පුද්ගලයා නාගයා සපා කෑ ඇඟිළිවල තුවාල කොටස්‌ මුවහත් පිහියකින් කපා ඉවත් කර තුවාල සබන් ගා සෝදා රාගම රෝහලට ඇතුල් වූ අපූරු සිද්ධියක්‌ රාගමින් වාර්තාවේ.

ඒ අවස්‌ථාවේ කෝපයට පත් වූ මේ පුද්ගලයා අත තිබූ ගෝනිය පොළවේ ගැසීම නිසා නාගයාද මරණයට පත්වී ඇති අතර රාගම රෝහලට මරණයට පත්වූ නාගයා රැගෙන ඒමද විශේෂත්වයකි.

මෙම පුද්ගලයාගේ තත්ත්වය සුව අතට හැරී ඇති අතර අඩි 7 ක්‌ පමණ දිග නාගයා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා ඇත.

තුවාල කොටස්‌ අයින් කර ඉක්‌මනින් රෝහල්ගත වූ නිසා මෙම පුද්ගලයාගේ ජීවිත අවදානම පහවී ඇති අතර සිද්ධියට මුහුණපා ඇත්තේ ගණේමුල්ල කැන්දලියද්ද පාළුව ජය මාවත පදිංචි එස්‌. එල්. ජයරත්න නමැති (47) හැවිරිදි දෙදරු පියෙකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.