කොත්මලේ මල්දෙණිය රෝහලටම
ඉන්නේ එක්‌ වෛද්‍යවරියයි


ජී. ඩබ්ලිව්. ජයතිස්‌ස - කොත්මලේ

කොත්මලේ මල්දෙණිය ප්‍රාදේශීය රෝහලට අනුයුක්‌ත වෛද්‍ය නිලධාරීන් දෙදෙනාගෙන් එක්‌ නිලධාරියකු පසුගිය සතියේදී ස්‌ථාන මාරුවීමක්‌ ලබාගෙන ගොස්‌ තිබේ. මේ නිසා රෝහලේ සියලුම වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් හා පරිපාලන කටයුතු ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියට තනිවම කිරීමට සිදුවීමෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීනුත්, කාර්ය මණ්‌ඩලයත් එම වෛද්‍ය නිලධාරිනියත් බලවත් අපහසුතාවට පත්වී සිටිති.

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මෙන්ම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන රෝහලේ දෙකෙන් එකක්‌ වන මල්දෙණිය රෝහලෙන් ග්‍රාම නිලධාරි වසම් 40 ක ජනතාව වසර 75 කට අධික කාලයක්‌ තිස්‌සේ නේවාසික හා බාහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිති. ගැබිනි මවුවරුන් සඳහා වාට්‌ටුවක්‌ද, ළමා වාට්‌ටුවක්‌ද, සමඟ තවත් වාට්‌ටු තුනකින්ද, දත්ත වෛද්‍ය ප්‍රතිකාර ඒකකයකින්ද, බාහිර වෛද්‍ය ප්‍රතිකාර අංශයකින්ද සමන්විත මෙම ප්‍රාදේශීය රෝහලට ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයකුට අමතරව අනිවාර්යයෙන්ම තවත් වෛද්‍යවරුන් දෙදෙනකු අනුයුක්‌ත කළ යුතුවේ. එහෙත් මේ දක්‌වාම සේවයට යොදවා සිටියේ වෛද්‍යවරුන් දෙදෙනෙකි. දන්ත වෛද්‍ය අංශය සඳහාද ස්‌ථිර වෛද්‍යවරයකු නොමැතිs අතර එම සේවාවන්ද දැනට සිදුවන්නේ සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දින දෙකේ පිටතින් පැමිණෙන වෛද්‍යවරයකුගෙනි.

මෙම වෛද්‍ය හිඟය පිළිබඳව නුවරඑළිය නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයාගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ එක දිගටම වසර 07 ක්‌ සේවයේ යෙදී සිටි වෛද්‍ය නිලධාරීවරයාගේ ඉල්ලීම මත ස්‌ථාන මාරුවීමක්‌ ලබාදීමට සිදුවූ බවයි. ඒ වෙනුවට තාවකාලිකව දිවා කාලයේදී කොත්මලේ නව නගරයේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකුගේ සේවය ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, ස්‌ථිර වෛද්‍යවරයකු පත්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවත් හෙතෙම පවසයි. වෛද්‍යවරුන් පත් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බැවින් නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයට මේ සම්බන්ධයෙන් ස්‌ථිර විසඳුමක්‌ ලබාදීමට නොහැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.