නුගවෙල හා වැලිගෙපොල
සිසුහු 260ක්‌ ලෙඩ ඇඳේ

සිරිල් විමලසුරේන්ද්‍ර සහ තිවංක අබේරත්න - මහනුවර,

එන්. එච්. පියසේන - බලංගොඩ, ජයලත් එම්. විමලසේන - ඕපනායක, පේරාදෙනිය - රංජිත් සේනවීර

මහනුවර නුගවෙල පිරිමි විද්‍යාලයේ ශිෂ්‍යයන් දෙසීයක්‌ පමණ සහ බලංගොඩ වැලිගෙපොල වළගම්බා ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටනව දෙනකු ඊයේ (16 වැනිදා) උදේ පාසලේදී ඇති වූ හදිසි අසාත්මික තත්ත්වයක්‌ හේතුවෙන් රෝහල්ගත කර ඇත.

අසාත්මික තත්ත්වය හේතුවෙන් මහනුවර නුගවෙල පිරිමි විදුහලේ සිසුන් ඊයේ (16 දා) පෙරවරු නවයට පමණ තිත්තපඡ්ජල රෝහලට ඇතුළත් කිරීම ආරම්භ කර ඇති අතර දහවල් වන විට රෝහල්ගත කළ සිසුන් සංඛ්‍යාව වැඩි වී තිබේ.

මෙම හදිසි රෝගී තත්ත්වය මත වයස අවුරුදු 11 සහ 12 වයස්‌ මට්‌ටමේ සිසුන් පනස්‌දෙනකු පමණ රෝහල්ගත කර තිබේ. එලෙස ඇතුළත් කර සිටි සිසුන්ගෙන් කිහිපදෙනකු ස්‌වසන අපහසුතාවයකින් ද පෙළෙමින් සිටි බවත් බහුතරයක්‌ ඇඟ කසන හා ශරීරය පුරා පලු දමන තත්ත්වයකින් පෙළෙන බවත් වාර්තා විය.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ තිත්තපඡ්ජල රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ. ජී. ඡේ. බණ්‌ඩාර මහතා සිසුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පැවැසීය.

වැලිගෙපොල වළගම්බා ප්‍රාථමික විදුහලේ අසාත්මික තත්ත්වය ඇති වූ සිසු සිසුවියන් වැලිගෙපොල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිසු දරු දැරියන් පාසලට පැමිණීමෙන් පසුව පංති කාමරවල සිටියදී පෙරවරු 7.30 ට පමණ ක්‌ලාන්ත ගතිය සහ බෙල්ලේ හා අත්වල කැසීම් ඇතිවීම නිසා පාසල් ආචාර්ය මණ්‌ඩලය විසින් මෙම දරුවන් රෝහල්ගත කර තිබේ.

මේ පිළිබඳව කරුණු දැක්‌වූ වැලිගෙපොල දිසා රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ. අයි. සංජීව මහතා කියා සිටියේ මෙම දරුවන්ගේ රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සලසමින් සිටින නමුත් මීට හේතුව මෙතෙක්‌ සොයා ගෙන නොමැති බවයි.

මෙම රෝහල් වෛද්‍ය කාර්ය මණ්‌ඩලය සහ හෙද හෙදියන් මෙවැනි පිරිසකට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් නොවූ බැවින් බලංගොඩ මූලික රෝහලෙන් සහ බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් නිලධාරීන් ගෙන්වා ගෙන අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කරන බව ද කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.