අනෙක්‌ මොනවා ගණන් ගියත්
එන්න එන්නම මිල අඩුවෙන දෙයක්‌ තියෙනවා


'කොල්ලකෑම' එහෙමත් නැතිනම් මාෆියාව යනු ශිෂ්ට සමාජය පිළිගත් ක්‍රියාවක්‌ නොවේ. එනිසා 'ඖෂධ මාෆියාවත්' පිළිගත හැකි ව්‍යාපාරයක්‌ නොවේ. මෙම 'ඖෂධ මාෆියාව' වර්තමානයේ අප රටේ ජනප්‍රිය මාතෘකාවක්‌ බවට පත්ව ඇත.

වත්මන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාද නිතර නිතර මෙම 'ඖෂධ මාෆියාව' ගැන පවසයි.

ශ්‍රී ලංකාවට වසරකට ඖෂධ සහ ශල්‍ය උපකරණ වර්ග 21,000 ක්‌ පමණ ආනයනය කරන බවත් ඉන් අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ වර්ග ඇත්තේ 15,000 ක පමණ ප්‍රමාණයක්‌ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙලෙස අත්‍යවශ්‍ය නොවන ඖෂධ සහ ශල්‍ය උපකරණ ගෙන්වා ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳ පොළට නිකුත් කර රෝගීන්ට ඒවා වෛද්‍යවරුන් මාර්ගයෙන් මිලදී ගැනීමට නියමකර ඖෂධ සමාගම් විසින් 'ඖෂධ මාෆියාවක' නිරතවන බවට චෝදනාවක්‌ පවතී.

මෙම 'ඖෂධ මාෆියාව' පාලනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ ආරම්භක සභාපති මහාචාර්ය සේනක බිබිලේ වෛද්‍යතුමන් විසින් ඖෂධ ප්‍රතිපත්තියක්‌ සකස්‌ කළද එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. එයත් මෙම 'ඖෂධ මාෆියාවේ' ප්‍රතිඵලයක්‌ ලෙස පැවසේ.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාද නව ඖෂධ ප්‍රතිපත්තියක්‌ සකස්‌ කර ක්‍රියාත්මක කිරීමට දැඩි උත්සාහයක නිරත වේ. නමුත් තමාට ද යම් යම් බාධා එල්ලවන බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කීවේය. එනිසා ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන දිනය නිශ්චිතවම පැවැසිය නොහැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

'ඖෂධ මාෆියාව' මේ තරම් බලවත්ද? මේ පිළිබඳව අපි ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපති විශ් ගෝවින්දසාමි මහතාගෙන් මෙම ඖෂධ මාෆියාව ගැන විමසුවෙමු.

අපගේ සංසදයෙහි ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කරන ආයතන 60 ක්‌ ලියාපදිංචි වෙලා සිටිනවා. මෙම ආයතන තමයි ශ්‍රී ලංකාවට ආනයන කරන ඖෂධ වලින් 75% - 80% ක්‌ පමණ ගෙන්වන්නේ.

අපට අවශ්‍ය ලෙස ඖෂධ ආනයනය කරන්න බැහැ. ඒ සඳහා ඖෂධ අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි. එම ලියාපදිංචි ඖෂධ පමණයි ගෙන්වන්න අවසර ලැබෙන්නේ.

අනවශ්‍ය ඖෂධ කියලා තියෙන්නේ මොනවාදැයි අපි දන්නේ නැහැ. ඖෂධ අධිකාරියේ ලියාපදිංචි වී තිබෙන සියලුම ඖෂධ ගෙන්වන්නේ නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ පමණයි ගෙන්වන්නෙ. විශ් ගෝවින්දසාමි මහතා අපට කීවේය.

එකම වර්ගයේ ඖෂධ රැසක්‌ ඖෂධ අලෙවි සැල්හි තියෙනවා. ඒවායේ මිල ගණන් විවිධයි. මෙය ඖෂධ මාෆියාවක්‌ නොවෙයිද? අපි පැනයක්‌ නැගුවෙමු.

ඔය මතය බොහෝදෙනා තුළ තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. එකම ඖෂධය වුවත් සෑම රෝගියකුටම ගැළපෙන්නේ නැහැ. ඇතැම් ඖෂධ වල තිබෙන ඖෂධ මාත්‍රාව සහ එහි ඇති රෝග සුව කිරීමේ හැකියාව වෙනස්‌. ඉතිං වෛද්‍යවරයාට රෝගියාගේ වයස, රෝග තත්ත්වය අනුව ඖෂධ නියම කරන්න වෙනවා. එනිසා එකම රෝගයකට වුවත් රෝගියාගෙන් රෝගියාට ලබාදෙන ඖෂධ වෙනස්‌ විය හැකියි. එය තීරණය කරන්නේ වෛද්‍යවරයා. අප කරන්නේ එම ඖෂධ වෙළෙඳපොළට නිකුත් කිරීමයි.

පිළිකා රෝග, හෘදයාබාධ, වකුගඩු රෝග වැනි මාරාන්තික රෝග සඳහා ඇති ඖෂධ මිල ඉතා අධිකයි. මෙවැනි රෝග සඳහා ඇති ඖෂධවලට අධික මිලක්‌ තීරණය කිරීම අසාධාරණයි නේද?

අපගේ පැනය හමුවේ ගෝවින්දසාමි මහතා වාඩිවී සිටි පුටුව පසුපසට ගෙන ඉතා හැඟීම්බරව පිළිතුරු දුන්නේය.

ඔයාලා කවුරුත් නොදන්න රහසක්‌ මම හෙළිකරන්නම්. වර්තමාන වෙළෙඳ පොළේ ඇති භාණ්‌ඩ සෑම එකක්‌ම දවසගානේ මිල ඉහළ යනවා. නමුත් දවස ගානේ මිල අඩුවන එකම භාණ්‌ඩය තමයි ඖෂධ. මීට අවුරුදු දහයකට පමණ පෙර පැවැති ඇතැම් ඖෂධවල මිල සහ වත්මන් මිල සස¹ බලන්න. විශාල වශයෙන් මිල අඩුවෙලා තියෙනවා.

ඖෂධයක්‌ නිපදවන්න වසර දහයක්‌ පමණ පර්යේෂණ කරනවා. ඉන්පසු එම ඖෂධය රෝගීන්ට නිකුත් කිරීම සඳහා අනුමැතිය ගන්න එය ලියාපදිංචිකර තව අවුරුදු කිහිපයක්‌ විතර බලාගෙන ඉන්න වෙනවා. ඖෂධ නිපදවන විදේශීය සමාගම් එම වැයවූ මුදල සොයාගන්නේ ඖෂධය අලෙවි කිරීමෙන්. එනිසා තමයි යම් ඖෂධයක්‌ මුල්වරට හඳුන්වාදුන් විට එම සමාගමට 'පේටන්ට්‌ බලපත්‍රය'ක්‌ ලබා ගන්නෙ. එතකොට එම බලපත්‍රයට අදාළ කාලසීමාව තුළ වෙනත් ඖෂධ සමාගමකට එම ඖෂධය නිපදවන්න අවසර ලැබෙන්නේ නැහැ. එම කාලසීමාවෙන් පසු අනෙක්‌ ඖෂධ සමාගම්වලටත් අදාළ ඖෂධය නිපදවන්න අවසර ලැබෙනවා. එතකොට එම ඖෂධය නිපදවීමට සමාගම් රැසකට හැකියාව තියෙන නිසා ඖෂධයේ මිල ගණන් පහළ යනවා.

ඔබ පැවසූ බරපතළ රෝග සඳහා අලුත් ඖෂධ වර්ග සෙවීමේ කටයුතුවල ඖෂධ නිපදවන සමාගම් සහ පර්යේෂකයන් දිනපතා නිරත වෙනවා. ඉතින් මෙම මාරාන්තික රෝගවලින් රෝගීන් බේරාගැනීම සඳහා අලුත් ඖෂධ වර්ග නිපදවීමත් දිනපතා සිදුවෙනවා. මෙම ඖෂධ නිපදවන්න වැයවන මුදල අති විශාලයි. මෙවැනි ඇතැම් ඖෂධවල මිල නියම කරන්නේ කිසිදු ලාභයකින් තොරවයි. නිෂ්පාදන මුදලට එය අලෙවි කරනවා. මොකද ඖෂධයක්‌ නිපදවන්නේ රෝගියෙක්‌ සුවපත් කරන්න මිසක්‌ රෝගියාව විකුණාගෙන කන්න නෙවෙයි.

ඖෂධ ගෙන්වන සමාගම් වෛද්‍යවරුන්ට යානවාහන, ගෙවල් දොරවල් ආදී සංතෝෂම් දී තමුන් ගෙන්වන ඖෂධ වර්ග අලෙවි කරගැනීමේ මාෆියාවක නිරත වෙනවා නේද?

මට ඒකට උත්තර දෙන්න පුළුවන් වන්නේ අපගේ සංසදය යටතේ ලියාපදිංචි සමාගම් සම්බන්ධව පමණයි. අපගේ සමාගම්වලට ආචාර ධර්ම පද්ධතියක්‌ තියෙනවා. එම ආචාර ධර්ම කඩකළොත් ඖෂධ නිපදවන සමාගම් අපට ඖෂධ අලෙවි කරන්නේ නැහැ. වෛද්‍යවරුන්ට අල්ලස්‌ දී හෝ සංතෝෂම් ලබාදී රෝගීන්ට බලහත්කාරයෙන් ඖෂධ අලෙවි කිරීම බරපතළ වරදක්‌ ලෙස අපගේ ආචාර ධර්මවල සඳහන් වෙනවා.

හැබැයි අපි වෛද්‍යවරුන්ට අලුත් දැනුම ලබාගන්න අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. වෛද්‍ය විද්‍යාව දිනෙන් දින දියුණු වෙනවා. නව සොයා ගැනීම් කරන්නේ බටහිර රටවල. ඉතිං.... එම නව සොයාගැනීම් ගැන නවීන ප්‍රතිකාර ගැන දැනුම ලබාගන්න අපේ වෛද්‍යවරු බටහිර රටවලට යා යුතුයි. ඒ සඳහා යන්න බොහෝ වෛද්‍යවරුන්ට වත්කමක්‌ නැහැ. එහිදී අපි ඔවුන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. අප එසේ කරන්නේ අපේ ඖෂධ අලෙවි කරගන්න නොවෙයි. නව ප්‍රතිකාර ක්‍රම පිළිබඳ වෛද්‍යවරු දැනුවත් වීමෙන් පමණයි වෛද්‍යවරුන්ට එම ප්‍රතිකාර සිදුකර රෝග වැළදීමෙන් අකාලයේ මියයන පිරිස අඩුකරගත හැකිවන්නේ.

දැන් බලන්න වර්තමානයේ හදවත් සැත්කම් සඳහා කෙතරම් නවීන ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද? එම ප්‍රතිකාර සම්බන්ධව අපේ වෛද්‍යවරු තුළ දැනුම නොතිබුණොත් ශ්‍රී ලාංකික අපට විදෙස්‌ගත වී එම ප්‍රතිකාර ලබාගන්න වෙනවා. ඒ සඳහා කොතරම් මුදලක්‌ වැයවෙනවාද? ඉතිං වෛද්‍යවරයකුට එම දැනුම ලබාගෙන නැවත ලංකාවට ඇවිත් ඉන් ප්‍රයෝජන ගන්න සහයෝගය දැක්‌වීම අල්ලසක්‌ද? විශ් ගෝවින්දසාමි මහතා අපට එම පැනය නගනවිට පිළිසඳර නිමා කිරීමට ද කාලය උදාවී තිබිණි.

ඖෂධ මාෆියාව සම්බන්ධව පවතින ආකල්පවල අප නොදන්නා කරුණු රැසක්‌ හෙළි කිරීමට අවස්‌ථාව ලබාදීම ගැන විශ් ගෝවින්දසාමි මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට විශේෂ ස්‌තූතියක්‌ ද කරමින් අප සමඟ කළ පිළිසඳර නිම කළේය.

ඖෂධ ප්‍රතිපත්තිය එළි දක්‌වන කාලය සම්බන්ධව මම නම් ආයෙත් මාධ්‍ය වෙත පොරොන්දු දෙන්නේ නැහැ.... මම බොරුකාරයෙක්‌ වෙනවා. ඖෂධ ප්‍රතිපත්තිය සකස්‌ කිරීම සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක්‌ විසින් ඇමැතිවරයාටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් දුන් පොරොන්දු කඩ කිරීම සම්බන්ධව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කලකිරීමෙන් යුතුව පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයෙන් ඖෂධ මාෆියාවේ තවත් පැත්තක්‌ හෙළිවිය.

ලෝකයේ බලසම්පන්නම සහ අතිභයානකම ව්‍යාපාර අතර ඉහළින්ම සිටින්නේ ඖෂධ වෙළෙ¹ම බව පැවසේ. ඊට දෙවැනිව සිටින්නේ අවි ආයුධ වෙළෙ¹මය.

ඖෂධ මාෆියාවට එරෙහිව සටන් කළ මහාචාර්ය සේනක බිබිලේ වෛද්‍යතුමන් ද අභිරහස්‌ ලෙස මරණයට පත්විය. එම මරණයට හේතුවත් ඖෂධ මාෆියාවේ ප්‍රතිඵලයක්‌ ලෙස පැවසේ.

'ආරෝග්‍යා පරමා ලාභා' ලෙසින් නිරෝගී බව උතුම්ම ලාභය බව බුදුන්වහන්සේ දේශනා කළේ නිරෝගී කමේ අගය වටහා ගෙනය. එය මුදලින් තක්‌සේරු කළ නොහැකිය. එසේ කිරීම මාෆියාවකි.

උපාලි ද සේරම්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.