ඒ අසාත්මිකතාවයට උත්තරයක්‌ නැද්ද!



ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් දහසකට වැඩි පිරිසක්‌ පසුගිය 14 වැනිදා හදිසියේම රෝහල්ගත කෙරුණේ අසාත්මිකතාවක්‌ හේතුවෙනි. උදේ පාන්දර පාසලට පැමිණි දරුවන් සිය පංති කාමර වෙතට යමින් සිටින අතරතුරදී ඔවුන්ට ඉවසා දරාගත නොහැකි තරම් අතපය මුහුණ කසන්නට පටන්ගෙන තිබිණි. ඒත් එක්‌කම ඇඟ දැවිල්ල ගන්නටත්, ඇඟේ පුංචි බිබිලි මතුවන්නටත් විය. ඇතැම් දරුවන්ට වමනය ද සිහි මුර්ජා ගතියද ඇති විය. පාසල් බලධාරීන් විසින් වහාම එම දරුවන් ගම්පොළ ශික්‌ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබීය. කඩිනමින් ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්‌ඩලය සිසුවියන් 900 කට පමණ පිරිසකට බාහිර ප්‍රතිකාර ලබාදී තරමක බරපතළ තත්ත්වයේ පසුවූ ශිෂ්‍යාවනට විශේෂ ප්‍රතිකාරද ආරම්භ කරන්නට විය. ශිෂ්‍යාවන් 100 කට ආසන්න පිරිසක්‌ ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ තිබිණි.

මේ අතර පසුගිය 15 වැනිදා ද ගම්පොළ පන්විලතැන්න විදුහලේ සිසු සිසුවියන් 50 කට ආසන්න පිරිසක්‌ එවැනිම අසාත්මික තත්ත්වයක්‌ හේතුවෙන් පන්විලතැන්න ග්‍රාමීය රෝහලට ඇතුළත් කෙරිණ.

මහනුවර නුගවෙල පිරිමි විද්‍යාලයට රෝගය පැතිර ගියේ 16 වැනිදාය. එහි ශිෂ්‍යයන් 200 ක්‌ පමණ ඇඟ කැසීමටත්, ඇඟේ දැවිල්ලත්, වමනය හා ක්‌ලාන්ත ගතිය නිසා රෝහල්ගත කෙරිණ.

ඒ අතර බළන්ගොඩ වැලිගෙපොළ වළගම්බා විද්‍යාලයේ සිසුන් 50 ක්‌ද එම රෝගී තත්ත්වයෙන්ම පසුගිය 16 වැනිදා වැලිගෙපොල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කැසීමත් සමග හම මතුපිට හටගත් රතු පාට බිබිලි පුපුරා යැමෙන් ඉවසාගත නොහැකි දැවිල්ලක්‌ එම දරු දැරියන්ට ඇතිවී තිබේ. කැසීමත්, දැවිල්ලත්, ඉවසීමට නොහැකි තරම් තත්ත්වයට පත්වූ දරුවන් ක්‌ලාන්ත විය. ඇතැම් දරුවන්ට වමනයද ඇති විය.

මෙවැනි තත්ත්වයක්‌ හදිසියේම පාසල් කිහිපයක්‌ පුරා පැතිර යන්නට හේතු වූයේ කුමන සාධකයක්‌ දැයි මේ ලිපිය ලියන මොහොත වන විටත් සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරගෙන නොතිබිණි. පරීක්‌ෂණ සඳහා වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් පීරිස්‌ මහතා ප්‍රමුඛ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය කණ්‌ඩායම්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා නිලධාරීන් මහජන සෞඛ්‍ය අංශ හා ගම්පොළ නගර සභා සෞඛ්‍ය බලධාරීන්ද මේ වන විටත් යොමුවී තිබේ. සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස්‌ පරිදි 16 වැනිදා චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායමක්‌ද පර්යේෂණ කටයුතු සඳහා යොමු කරවනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගම්පොළ උඩ පළාත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඡේ. එම්. එස්‌. ජයසුන්දර මහතා පැවසුවේ මෙසේය.

දරුවන් විශාල පිරිසකට එකවර ඇතිවූ මෙම හදිසි රෝගී තත්ත්වය අසාත්මිකතාවක්‌ බවට තහවුරු කරගෙන තිබෙනවා. නමුත් තවමත් එවැනි අසාත්මිකතාවකට හේතුව කුමක්‌ද කියලා හරියටම කියන්න තරම් විද්‍යාත්මක සාධක හමුවී නැහැ. ඒ පිළිබඳ පරීක්‌ෂණ දිගටම සිදු කෙරෙනවා. මේක ආහාර විෂවීමකින් ඇතිවූ දෙයක්‌ නෙවෙයි. එක්‌කෝ රසායනික ද්‍රව්‍යයක්‌ හේතුවෙන් විය හැකියි. නැත්නම් සත්ත්ව විශේෂයක්‌ නිසා වෙන්නත් පුළුවන්. ඇසට නොපෙනෙන තරම් කෘමි විශේෂයක්‌ නිසා වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුණත් දිගටම මේ පිළිබඳ පරීක්‌ෂණ සිදු කෙරෙනවා.

ගම්පොළ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීර බණ්‌ඩාර මහතාගෙන්ද අපි සිද්ධිය පිළිබඳ විමසුවෙමු.

පසුගිය බදාදා (14 වැනිදා) උදේ හදිසියේම ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් දහසකට වැඩි පිරිසක්‌ රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන් හැමෝම අතපය කසමින් හිටියේ. කසන තැන්වල බිබිලි මතුවෙලා තිබුණා. සමහර ළමයින් සිහි මුර්ජා වුණා. වෛද්‍යවරුන් ඇතුළු රෝහලේ සියලුම දෙනා කඩිනමින් ක්‍රියාත්මක වුණා. මේ වන විට පිරිසක්‌ පිටව ගොස්‌ තිබෙනවා. තවත් පිරිසක්‌ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා යෑයි රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය.

මෙම සිදුවීමත් සමග මතුවන ගැටලු රැසකි. මෙය ස්‌වාභාවික විපර්යාසයක්‌ නිසා ඇතිවූ දෙයක්‌ද යන්න බොහෝ දෙනකු ප්‍රශ්න කරනු ඇත. ප්‍රදේශ කිහිපයකට ඇදවැටුණු රතු පැහැති වර්ෂාවත්, මෙම දරු දැරියන්ට ඇතිවූ අසාත්මිකතාවත් අතර කිසියම් සම්බන්ධයක්‌ තිබිය හැකිද... රංචු ගැසී තැන තැන පියාඹන කෘමීන් විශේෂයක්‌ නිසා මේ විපත සිදුවීද...? බිහිසුණු රහස වහාම විසඳීමේ වගකීම අපේ සෞඛ්‍ය අංශ ªවෙත තිබේ.

තුෂාරි කලුබෝවිල
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.