හොරණ සමාජ දේශපාලන අන්දරය

සාගරගේ ගමන් බිමන්වලට
මුණිදාස වික්‍රමනායකගේ වාහන


නාම යෝජනා පත්‍ර භාර දී කල් මරන්නට වේලාවක්‌ නැත. 1956 මාර්තු 08 වැනිදා සිට අප්‍රේල් 05 දක්‌වා ඇත්තේ මාසයක්‌ නොව දින 28 කි. සාගර පලන්සූරියට ඇත්ත වශයෙන් ම හොරණ භූගෝලීය පරිසරය නුහුරුය. අද මෙන් ප්‍රධාන පක්‍ෂවලට පවා ගමේ සංවිධාන ජාලයක්‌ නැත. සාගර, කවියෙකු, ලේඛකයකු, පුවත්පත් කලාවේදියකු වශයෙන් දන්නා බහුතරයක්‌ සිටිති. සාගරගේ කවි පොත් කියෑවූ බහුතරයක්‌ සාගර නාමකායෙන් දැන හැඳින ගෙන සිටිති. එහෙත් රූපකායෙන් දැක දැන ගත් පිරිස අල්පය. එකල පාඨක පරිස අතර ඉතා ජනප්‍රිය ලංකාදීප පුවත්පතෙහි සාගර පලන්සූරියගේ විශේෂාංග ලිපි කියෑවූ පාඨක පිරිසක්‌ ද වෙති. සාගර පලන්සූරිය සංස්‌කරණය කළ පද්‍යාවලී එකල අ.පො.ස. සා. පෙළ විභාගයේ සාහිත්‍ය විෂය ධාරාවට නිර්දේශව තිබිණි.

1952 මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කර මුදල් ඇමැතිගේ පාර්ලිමේන්තු ලේකම් වශයෙන් ද ඉන් පසු 1953 මහා හර්තාලයෙන් පසු මුදල් ඇමැති ධුරය ද දැරූ එ.ජා.ප. අපේක්‍ෂක ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතා ගැන අලුත් හැඳින්වීමක්‌ අවශ්‍ය නැත. ආරෝහ පරිනාහ දේහයෙන් යුත් කාය බලයෙන්ද, භෞතික සම්පත් බලයෙන් ද පිරුණු ඇම්. ඩී. එච්. මහා ජන සන්නිපාතයක්‌ මධ්‍යයේ වුවද ඉතා ඉක්‌මණින් ම හඳුනාගත හැකිය.

ඇත්ත වශයෙන් ම සාගර පලන්සූරිය එසේ නොවේ. සබරගමු පළාතේ කොළොන්නේ කලල්ඇල්ලේ දුෂ්කර ගම්මානයක ඉතා දිළිඳු ගොවි පවුලක උපත ලබා පැවිදි ජීවිතයට පත්ව රට උදෙසා අනුන් උදෙසා ජීවත් ව පසුව උපැවිදිව ගුරු සේවයට බැඳී අනාගත පරපුර වෙනුවෙන් ඇප කැප වූ සාගර කවියාට සැප සම්පත් පිරි ජීවිතයක්‌ ගත කරන්නට වාසනා මහිමයක්‌ නොතිබිණි. කෙසඟ සිරුරින් යුත් ඔහු ජනතාව වෙනුවෙන් අමරණීය මෙහෙවරක යෙදී සිටියේ. එකල මහා උගතෙකු වූ සාගරගේ නිල ඇඳුම වූයේ ජාතික ඇඳුම ය. සිංහල සාහිත්‍ය භාෂාව පමණක්‌ නොව පෙරදිග භාෂාවන්හිද ඉංග්‍රීසි භාෂාවෙහි ද පරිනත දැනුමෙන් යුක්‌ත විය.

හීරළුවෙකු ලවා අපේ මහත්තයා පරාද කරන්නට දෙන්න බැරි යෑයි එදා වේල සපයා ගන්නට වත්කමක්‌ නැති අහිංසක මිනිසුන් යමක්‌ කමක්‌ ඇති නිවසක කුලියක්‌ මලියක්‌ කරමින් ජීවත් වූ එසමයෙහි සාගර කවියා ඒ සියලු දෙනා සමඟ සම මෙත් සිතින් අහිංසකව සිනාසුණේය.

නාම යෝජනා පත්‍ර භාර දී ගත වූයේ දින තුන හතරක්‌ පමණි.

පනස්‌ හයේ හොරණ වමේ බලවේගයේ අසහාය නියමුවාණන් වූ ශාස්‌ත්‍රාචාර්ය මුණිදාස වික්‍රමනායක මහතාගේ මෝටර් රථයෙන් සාගර පලන්සූරියගේ ජීවන ගමනේ එදත් කවදත් යෝධ සෙවනැල්ල වූ පී. බී. අල්විස්‌ පෙරේරා කවියා ප්‍රමුඛ කිහිපදෙනෙක්‌ සාගර පලන්සූරියත් සමඟ තුන්මං හන්දිය සතරමං හන්දි පන්සල්, කඩමණ්‌ඩි ඔස්‌සේ ගමන් ගත්හ. ඒ සමඟම තවත් වාහනයකි.

ඒ වාහනයෙන් බිමට බටුයේ තරුණ ස්‌වාමීන් වහන්සේ කීප නමක්‌ සමඟ තරුණයන් දෙතුන් දෙනෙකි. වාහන දෙකේම යකඩ කටවල් දෙකකි. නිතරම උපැස්‌ යුවළකින් සැරසී සිටි මුණිදාස වික්‍රමනායක මහතා සිය පෞරුෂය විදහා දක්‌වමින් යකඩ කටකට අයත් මයික්‍රපෝනයක්‌ අතට ගෙන රැස්‌ව සිටින පිරිසට සාගර ගැන කෙටි හැඳින්වීමක්‌ කරයි. යකඩ කටේ ශබ්දයට එක්‌ වුණු පිරිස තුංමං හන්දිය අවට කඩපිල් ළඟ කට අයාගෙන බලා සිටිති. ඉන් පසු හෙණ ගෙඩි පුපුරණ කවියක්‌ දෙකක්‌ පී. බී. ගෙනි.

ඉන් පසු විද්‍යාරත්න පිරිවෙන්හි ආචාර්ය දෙගම්මැද සුමනජෝති හාමුදුරුවෝ වික්‍රමනායක මහතාගේ මෝටර් රියේ බොනට්‌ටුව උඩ සිට කන් අඩි පැලෙන ශබ්දයෙන් සිය වාග් චාතුර්යයෙන් යූ. ඇන්. පී. පාලනය නිර්දය ලෙස විවේචනය කරයි. පාක්‍ෂිකයන්ගේ අත්පොළසන් හඬින් දෙපසම ගිඟුම් දෙයි. පත්තුඩුවන දේවමිත්ත හාමුදුරුවන් වහන්සේ ඊළඟ ජංගම රැස්‌වීම අමතන්නට නියමිතය. අනාගත හොරණ මන්ත්‍රී සාගර පලන්සූරිය සිය සොඳුරු පිවිතුරු අව්‍යාජ හිනාවෙන් සියලු දෙනාට ගෞරවාචාර කර කෙටි කතාවක්‌ පවත්වයි. ඒ කතාව තුළ අපහාසය, කිසිසේත්ම නැත. උපහාසය ඩිංගිත්තක්‌ ඇත. අදහස්‌ හරබරය. අහසේ තරු ගලවා දෙන්නට නොමිලේ බත් පත ලබා දෙන්නට ඔහු පොරොන්දු වූයේ නැත. සැමට සාධාරණ සමාජයක්‌, පන්ති රහිත සමාජයක්‌, පූර්ණ නිදහස සහිත ශ්‍රී ලංකාවක්‌, අධිරාජ්‍යවාදී කඳවුරට ගැති නොවූ ස්‌වාධීන රාජ්‍යයක්‌, සුත මුදිත දේශයක්‌ සියලු ධනෝපායන මාර්ග රාජ්‍ය සන්තක කිරීමක්‌, පංච විධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්‍ෂිත කිරීමක්‌ සාගරගේ හරබර කතාවේ ඇතුළත් විය. ගමේ පන්සල ළඟ, වෙද නිවස සමීපයේ සමාජ සංවිධාන මධ්‍යයේ සාගරගේ ගම් මට්‌ටමේ ප්‍රචාරක රැස්‌වීම් මාලාවක්‌ පැවැත්විණි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ පක්‍ෂ ක්‍රියාකාරීන්ගේ යල් පැන ගිය රාමු ඇතුළත ය. අද මෙන් ශාඛා සමිති ජාලයක්‌ නැත. ගම්මුලාදැනිවරු, වෙල් මුලාදැනිවරු, ආරච්චිවරු ගමේ ඉඩම් කඩම් සහිත පිරිස, සුපුරුදු නිවසකට එක්‌රොක්‌ වෙති. හිටපු මුදල් ඇමැති ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතාගේ දේශපාලන ගමන් මඟ ගැන කතා බහ කරති. සමහරු සාගරට අපහාසාත්මකව කතා කරති. තමන්ට පක්‍ෂපාතකම් නොදක්‌වන ගමේ පන්සලට එරෙහිව චෝදනා නඟති. බඩ පිරෙන්නට බත් වේලක්‌ උදෙසා පේවී සිටින ගමේ සාම්ප්‍රදායික එ. ජා. පාක්‍ෂිකයෝ ඒ කතා බහට අඩු උනන්දුවකින් සවන් දෙති. වතු රැස්‌වීම් පවත්වන්නට ගමේ සැලකිය යුතු පිරිසක්‌ නැත.

"අපේ මහත්තයා පරාද කරන්න ඒතරම් පහසු නැතැයි යන මානසික තත්ත්වයක්‌ ගැමි ජන පදනම තුළ මතු කරන ප්‍රාදේශීය 'හයිකාරයන්' ඇම්. ඩී. එච්. හමු වී තවත් කීයක්‌ හරි කපා ගන්නට මහන්සි ගනිති. ගම් මට්‌ටමේ සාකච්ඡාවලට නිතර පැමිණීමට තරම් සංවිධාන ජාලයක්‌ ද විවේකයක්‌ ද ඇම්. ඩී. එච්. ට නොතිබිණි. බස්‌ හිමියන්, ලොරි රථ හිමියන්, තොග හා සිල්ලර වෙළෙන්දන් ඉඩම් හිමියන් කෙතරම් සිටියත් තරුණ ජවයත්, ක්‍රියාකාරී සංවිධායකයනුත් නොසිටියහොත් මැතිවරණ සටනක්‌ මෙහෙයවීම ඉතා දුෂ්කර බැව් මිල මුදල් හා භෞතික සම්පත් හිමි කොටස්‌ දැන සිටියේ නැත. පාදුක්‌ක. ඉංගිරිය, නාරගල, බණ්‌ඩාරගම, බොල්ගොඩ, ගෝනාපොල, මොරගහහේන ආදී ගම් වලින් වට වූ හොරණ මැතිවරණ කොට්‌ටාසයේ සංවිධාන කටයුතු කිරීම ඒ තරම් පහසු නොවීය. හොරණ පළාත් ආණ්‌ඩු සභාව, කුඹුර පත්තුව ගම් කාර්ය සභාව, උඩුගහ පත්තුව ගම් කාර්ය සභාව සම්පූර්ණයෙන්මත් අධිකාරි පත්තුව, මුංවත්ත භාග පත්තුව (නැගෙනහිර සහ බටහිර) සීතාවක ගම්කාර්ය සභාවේ කොටසක්‌ 1956 දී හොරණ ඡන්ද කොට්‌ඨාසයට අයත් විය.

සාගර වාහන හිමියකු නොවීය. ඔහු ආවේ ගියේ මුනිsදාස වික්‍රමනායක මහතාගේ මෝටර් රථයෙනි. අවශ්‍ය ආරක්‍ෂාව, කෑම් බීම්, ඉඳුම් හිටුම් සියල්ල මුනිදාස වික්‍රමනායක මහතාගෙනි. එම වාහනයේම ගමන් ගත් මහා කවි පී. බී. අල්විස්‌ පෙරේරාගේ සබ්බ සකල වස්‌තුවම තිබුණේ කළු පැහැති හෑන්ඩ් බෑග් එකක්‌ තුළය. තම ආදරණීය හිතවතා සාගර හොරණ මන්ත්‍රී පදවියට පත් කර ගැනීම ඔහුගේ එකම පොදු අභිලාෂයිය. සාගර ද පී. බී. ද සියලු කාර්යයන් කළේ රට උදෙසා ය. අනුන් උදෙසා ය.

ලබන සතියේ නාගහමුල මංගල රැස්‌වීමට යමු

බන්ධුල ආර්. ගුලවත්ත

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.