ලිංගික හිංසන ගැන කියන්න සෞඛ්‍යයෙන් විනය කමිටු

අජිත් අලහකෝන්

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල සේවය කරන විවාහක කාන්තාවන්ට සහ අවිවාහක තරුණියන්ට සිදුවන ලිංගික හිංසනය පිළිබඳ පැමිණිලි කිරීමට ඒ ඒ ආයතනවල විනය කමිටු පිහිටුවන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින" ට පැවසුවේය.

මෙවැනි පැමිණිලි අටත් දහයත් අතර ප්‍රමාණයක්‌ සතියකට තමන්ට ලැබෙන බව කී ඇමැතිවරයා මින් ඉදිරියට සෞඛ්‍ය සේවිකාවන්ට මෙම විනය කමිටු වෙත තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි බවද කීය.

ඉදිරිපත්වන පැමිණිලි සම්බන්ධව විනය කමිටු විසින් පරීක්‍ෂණ පවත්වා පසුව වැඩිදුර පරීක්‍ෂණ කටයුතු පොලිසිය වෙත පවරන බව කී ඇමැතිවරයා අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ සෑම ආයතනයකම ලිංගික හිංසාවන් පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීමේ පෝස්‌ටර ප්‍රදර්ශනය කරන බවද කීය.

ඊට අමතරව ඉදිරි දිනවලදී මේ පිළිබඳ ක්‍ෂණික දුරකථන ඇමතුම් අංකයක්‌ හඳුන්වා දෙන බව කී ඇමැතිවරයා ඒ අනුව හිංසාවන්ට ලක්‌වන ඕනෑම සෞඛ්‍ය සේවිකාවකට එම අංකය ඔස්‌සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.