ආදිවාසීන්ගේ ගෘහ නිර්මාණ කලාව

දයානන්ද බිනරගම

අතීත වැදි ජනතාවගේ නිවාස වූයේ බොහොමයක්‌ ස්‌වාභාවික ගල්ලෙන් ය. බටදොඹලෙන, අළුලෙන, පාහියංගල, රාවණඇල්ල, බැන්ඩියගල්ගේ, ලුණුගල්ගේ, පීල්ලේගොඩ ගල්ගේ එයට උදාහරණ කිහිපයකි. කටාරම් සහිත ගල් ලෙන් 1235 ක්‌ පමණ ශ්‍රී ලංකාවෙන් දැනට සොයාගෙන ඇති අතර ඊට අමතර ව ලෙන් විහාරස්‌ථාන ලෙස සංවර්ධනය වී ඇති බොහොමයක්‌ ගල් ලෙන් අතීත වැද්දන්ගේ වාසස්‌ථාන වූ බවට සැකයක්‌ නැත. අතුපතර විහිදී ගිය රූස්‌ස ගස්‌ යට වැදි පවුල් ජීවත් වූ බවට තොරතුරු ද හමු වේ. ගංඟා අසල ගං ඉවුරුවල ගුහාවාසී ව වාසය කළ බවට ද තොරතුරු හමුවේ. ගල් තලාවල අතු දෙබලවල එකිනෙකට හරස්‌ කර ඒ මතට කොළ අතු දමා ආවරණය කර තාවකාලික නිවාස තනා ගත් බවට තොරතුරු හමු වේ. එමෙන් ම කුඩා පැල් පත් ලී දඬු සිටුවා ඒ මතට මානා හෝ ඉළුක්‌ වැනි ඉක්‌මනින් නොදිරන වියළි කොළ අතුවලින් සියල්ල ආවරණය වන ලෙස වසා කවුළුවකින් ඇතුළු වී වර්ෂාවට, දැඩි වියළි බවට හා දැඩි සීතලට ඔරොත්තු දෙන පරිදි එක්‌ පවුලකට ජීවත් වීමට ප්‍රමාණවත් පැල් පත් තනාගෙන තිබේ. ලී දඬු සිටුවා ඒ හරහා කුඩා ලී කෝටු වැල් පට්‌ටාවලින් බැඳ ඒ මත මැටි ගුලි රුවා කටු මැටි බිත්ති සහිත වහලට මානා සෙවිලි කොට ඇතුළුවීමට ප්‍රමාණවත් කුඩා කවුළුවක්‌ තබා පැල් පතක්‌ තනා ගැනීම වැද්දන්ගේ නිවාස තැනීමේ දියුණු අවධියකි. සතුන් ගෙන් ආරක්‍ෂා වීමටත්, අව්, වැසි, පිනි, ආදි ස්‌වාභාවික පරිසර බලපෑම්වලින් ආරක්‍ෂා වීමටත්, මෙම කුඩා පැල්පත් මහෝපකාරී විය. නිවාස තැනීමේ තාක්‍ෂණයේ මූලාරම්භය වැද්දන්ගේ මෙම කටු මැටි පැල්පත් වාසස්‌ථානවලින් අපට ලැබුණු මහඟු දායාදයකි.

ස්‌වභාවික ගල් ලෙන්, ගල් ගුහා, ගං ඉවුරු, ගස්‌ යට ජීවත් වූ ප්‍රාථමික වැද්දොa බිම් වළවල්, රැකුම් කොටු, අතු වියන, යාලත්ත, බඩපලය, අලිගේ, ඉළුක්‌ සෙවිලි කළ ගෙපැල, පොතු බිත්ති ගෙපැල හා කටු මැටි ගේ දක්‌වා නිවහන් තනා ගැනීමේ විකාශනයක්‌ දැකිය හැකි ය. වැද්දොa වර්තමානය වන විට තාවකාලික හා ස්‌ථිර නිවාස තනා ගැනීම දක්‌වා සංවර්ධනය වී ඇත. දඹාන හා රතුගල වැනි වැදි ගම්මානවල තවමත් වැඩිපුර දැක ගත හැක්‌කේ තාවකාලික හා ඒකාකාරී වූ ප්‍රාථමික සරල සම්ප්‍රදායික නිවාස ක්‍රමයකි. බොහෝ විට කුඩා කරුවල කාමරයක්‌, මුළුතැන්ගේ හෙවත් කුස්‌සියක්‌, විවෘත ශාලයක්‌ වැනි සීමිත බිමකට වෙන් වී ඇති වැදි නිවසක්‌ සැම තැනම ඒකාකාරී වන අතර වෙනසකට ඇත්තේ සමහර නිවෙස්‌වල විවෘත ශාලයේ අඩි 3 ක්‌ පමණ උසට කොට බිත්තියක්‌ බැඳ තිබීම පමණි. සෘජුකෝණාස්‍රාකාර හැඩයක්‌ ගන්නා මෙම නිවෙස්‌වල බිම් සැලැස්‌ම තවමත් වෙනස්‌ කිරීමට නොහැකි වී ඇත්තේ පරම්පරානුගතව ආ නිවෙස්‌ තැනීමේ ශිල්ප ක්‍රමයේ පරිමාණයන්හි වෙනසකට භාජන කිරීමට දක්‌වන අකමැත්ත නිසා ය. එපමණක්‌ නොව ඉතාම සරල ලෙස මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පමණක්‌ ප්‍රමාණවත් ලෙස නිවෙස්‌ තනා ගැනීමට වැද්දන් දක්‌වන කැමැත්ත වේ. ඉතාම සරල වැදි නිවසක දැක ගත හැකි පොදු ලක්‍ෂණ කිහිපයක්‌ වන්නේ(- ගෙය ඉතා කුඩා වීම, විවෘත වීම, කාමර බෙදා නොතිබීම, අවශ්‍යතාවය මිස අලංකාරය පිළිබඳ නොතැකීම, අව්ව හා වැස්‌ස යන මූලික අපහසුතා මිස සුළඟ, සීතල, සතුන්ගෙන් වන හානි, බඩු බාහිරාදිය ආරක්‍ෂා කර ගැනීම වැනි අවශ්‍යතා ගැන නොතැකීම, ගෙය මුල් අවස්‌ථාවේ ඉදි කිරීමෙන් පසු නැවත නැවත පිළිසකර නොකිරීම, ගෙයි පැවැත්ම වසර කිහිපයකට සීමාවීම, තම නිවාස තමා අතින්ම නිමකර ගැනීම, දරුවන් වෙනුවෙන් නිවාස ඉදි නොකිරීම යන කරුණු වැද්දන්ගේ ප්‍රාථමික නිවාසයක ලක්‍ෂණ වේ.

වැද්දන් නිවසක්‌ තනා ගැනීමේ දී පළමුවෙන් ම සිදු කරන්නේ වැල් පොටකින් ප්‍රමාණය සීමා කර ගෙන සෘජුකෝණාස්‍රාකාර හැඩයට සිව් කොනේ පළමුව සමාන උසකින් යුත් කණු හතරක්‌ සිටුවීමයි. එයින් බලාපොරොත්තු වන්නේ සීමාව සටහන් කර ගැනීමයි. ඉන් අනතුරු ව එම සීමා භූමියට යක්‍ෂ දෝස ඇතිවීම වැළැක්‌වීමට අවශ්‍ය කටයුතු කරනු ලැබේ. ඉන් පසු පළල පැත්ත දෙකට බෙදා උස්‌ මුදුන් කණු දෙකක්‌ සිටුවා, ඒ හරහා මුදුන් යටලීය (ප්‍රධාන යටලීය) දමා, දෙපසට කණු හතර එකට බද්ධ වන ලෙස යට ලී හතරකින් සම්බන්ධ කරනු ලැබේ. ඉන් අනතුරුව මුදුන් යට ලීයේ සිට අඩි දෙකක්‌ පමණ සම දුරින් දෙපසට යට ලීවලට සම්බන්ධ වන ලෙස වට පරාල දමා නිල් වැල් හෝ කලවැල්වලින් ගැට දමා වෙලනු ලැබේ.

කුඩා දිග කෝටු සුද්ද කර ළඟ ළඟ සිටින සේ වැල්වලින් බැඳ ගනී. ඒ මත වහළේ පහත වරියේ සිට ඉළුක්‌ එක මත එකක්‌ සිටින සේ ක්‍රමාණුකූලව සෙවිලි කරයි. මෙම ඉළුක්‌ දිරායන බැවින් අවුරුදු තුනකට හෝ හතරකට වරක්‌ නැවත සෙවිලි කළ යුතු අතර නිවසක්‌ සෙවිලි කිරීම සඳහා ඉළුක්‌ මිටි 300 ක්‌ පමණ අවශ්‍ය වන බව කියයි. වැසි ජලය කාන්දු නොවන ලෙස වහළ සකස්‌ කර ගැනීමට වැදි ජනයා තුළ ඇත්තේ පුදුම එළවන සුළු දක්‍ෂතාවයකි.

වට බිත්ති සකස්‌ කිරීමේ දී ළඟ ළඟ ලී කණු සිටුවා ඒ හරහා කුඩා කෝටු දෙක බැගින් කොටු දැලක්‌ වැල් පටවල්වලින් බැඳ ගනී. කල වැල්, නිල් වැල්, පුස්‌ වැල්, පට්‌ටා මෙම වෙළුම් සඳහා යොදා ගනී. මේ කොටු දැල මත ගල් කැබලි හා මැටි තබා වරිච්චි බිත්ති බැඳ දෙවනුව දෙමැටි ගසා වැලි මැටි අතුල්ලා බිත්ති සකස්‌ කර ගෙන තිබේ. එක්‌ කවුළුවක්‌ ද (ජනේලයක්‌) පෑල දොරක්‌ සහ ඇතුළු වන එක්‌ දොරක්‌ සහිත කුඩා කාමරයකි. ඔවුන්ගේ සියලු ආම්පන්න ඇත්තේ මෙම කාමරය තුළ ය. බිම සිට අඩියක්‌ පමණ උස්‌ වන සේ ගේ වටා අගු පිලක්‌ ද, විවෘත ඉදිරි පස ශාලයේ එක්‌ කොනක අඩි 2 ක්‌ පමණ උසින් කොට්‌ට පිලක්‌ ද, (කුදහන පිල) සෑම නිවසක ම දැකිය හැකි පොදු ලක්‍ෂණයකි. සමහර නිවෙස්‌වල කොට්‌ට පිල දෙකක්‌ දැකිය හැකි වේ. කොට්‌ටපිල ගෙදර ප්‍රධානියාගේ නිදි යහන වන අතර ඉතා ගරු බුහුමන් ව දෙඅත් අල්ලා අමුත්තන් පිළිගෙන ඈඳි ගැනීමට දෙන්නේ ද මෙම කොට්‌ට පිලයි. ඉතා සරල ප්‍රාථමික ලක්‍ෂණ හෙබි මෙම නිවෙස්‌ තනා ගැනීම සඳහා කැලයෙන් ලබා ගත් ලී දඬු, වැල්, පට්‌ටා සහ ඉළුක්‌ ද, පොළොවෙන් ලබා ගන්නා ගල්, වැලි, මැටි ද, බිම පිරිමැදීම සඳහා ගවයන් ගෙන් ලබා ගන්නා ගොම මිශ්‍ර හුඹස්‌ මැටි ද, යන ස්‌වභාවික සම්පත් පමණක්‌ අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන නිමා කර ඇති වැදි නිවාසයක්‌ තුළ ඇත්තේ අධික සීතල හා අධික උෂ්ණත්වය සමතුලිත කර ගැනීමට හැකි සෞම්‍ය වාතාවරණයකි.

මෙම නිවසක්‌ තුළ ගත කිරීමේ දී ගතට මෙන් ම සිතට දැනෙන්නේ සිසිලසක්‌ හා අපරිමිත මානසික සැහැල්ලුවකි. මෙම නිසා ම වැද්දන්ගේ නිරෝගීතාවයට මෙය ද බල පා ඇති බව සිතේ. මා වැද්දන් පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා ගිය එක්‌ අවස්‌ථාවක වන්නියලැත්තන්ගේ කොටබකිනිය සිය නිවස අලුතින් ඉළුක්‌ කට්‌ටා තුන් හාර සියයක්‌ සෙවිලි කිරීමට කටයුතු කිරීම නිසා වැදි ජනයාගේ "ගෙවල් තැනීමේ ශිල්ප කලාවේ පරිණාමය හා විධික්‍රමය" පිළිබඳ බොහෝ තොරතුරු ලබා ගැනීමට හැකි විය. ඒ සම්බන්ධව වැදි නායකතුමාට මාගේ ස්‌තූතිය හා ප්‍රණාමය හිමි ය.

දඹාන කොටබකිනිය අවට පැරණි නිවාස හතක්‌ ඇති අතර එම නිවාස ආදිවාසී වැද්දන්ගේ අනන්‍යතාව ප්‍රකට කරන කැටපත් බඳු ය. දඹාන, ගුරුකුඹුර හා වතුයාය අවට වැදි නිවාස පන්සියයක්‌ පමණ ඇති අතර වැදි අනන්‍යතාව ප්‍රකට කරන නිවාස ඇත්තේ අතලොස්‌සක්‌ පමණි. අනෙකුත් බොහෝ නිවාස ටකරන් හා උළු සෙවිලි කර ඇති කටු මැටි බිත්ති සහිත ශාලයක්‌, කාමරයක්‌, කුස්‌සියක්‌ සහිත කුඩා නිවාස වන අතර සමහර නිවෙස්‌ සිමෙන්ති ගඩොලින් බැඳ ඇස්‌බැස්‌ටෝස්‌, ටකරන් හෝ උළු සෙවිලි කරන ලද හුණු පිරියම් කර වර්ණ ගන්වන ලද කාමර දෙක තුනකින් යුතු නවීන පන්නයේ නිවාස වෙයි.

හෙන්නානිගල බොහෝමයක්‌ නිවාස නවීකරණයට භාජනය වූ නව නිවාස වේ. පොල්ලේබැද්දේ වැදි ගම්මානය තුළ පැරණි නිවාස දැකගත හැකි අතර පොල්ලේබැද්ද පාසල හා ඒ අවට ඇති නිවාස නවීකරණයට භාජන වී ඇත. රතුගල රට උළු හා ටකරන් සෙවිලි කළ නිවාස මෙන් ම ප්‍රාථමික නිවාස ද දැක ගත හැකි ය. දළුකානේ ප්‍රාථමික නිවාස ස්‌වල්පයකි. බොහෝමයක්‌ ඇත්තේ නවීකරණයට භාජනය ව නව පන්නයේ නිවාස වේ. මේ අනුව බලන විට අනාගතයේ දී ලී දඬු, වැල් හා ඉළුක්‌, මානා, පිදුරු වැනි නිවාස තැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුව නිසාත්, අවම වශයෙන් වසර තුනෙන් තුනට හෝ ඉළුක්‌ දිරා යැම නිසා නඩත්තු කිරීමේ අපහසුව නිසාත්, වැද්දන්ගේ නිවාස තැනීමේ ක්‍රම වේදයන් වියෑකී යනු නියත ය. දඹානේ වැදිනායක වන්නියලැත්තෝ ද, රතුගල වැදිනායක සුදාවන්නියලැත්තෝ ද, පොල්ලේබැද්දේ වැදිනායක ගෝඹා ඇත්තෝ ද, හෙන්නානිගල වැදි නායක කළුඇප්පිලැත්තෝ ද, දළුකානේ වැදිනායක අමරසිංහ ඇත්තෝ ද, පවසන පරිදි දැනටමත් එම වැදි ගම්මානවල නිවාස නොමැතිකමින් එකම නිවසේ පවුල් කිහිපයක්‌ වාසය කරන අතර නිවාස ප්‍රශ්නය උග්‍ර ගැටලුවක්‌ බවට පත්ව තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.