ඇස්‌ දොස්‌ දුරුකරන රෝහලට ගොස්‌ බැලුවෙමු
- ජාතික අක්‍ෂි රෝහල කොළඹ

අපව සායනවලට එක්‌කන් ගොස්‌
ඇටෙන්ඩන්ලා සල්ලි ගන්නවා

- රෝගීහු චෝදනා කරති

වැරදි කරන සේවකයින් ඉන්නවානම් මට කියන්න
- ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ



කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ
වෛද්‍ය සිසිර ලියනගේ මහතා.

කොළඹ ඇස්‌ රෝහල හෙවත් ජාතික අක්‍ෂි රෝහල ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම ඇස්‌ රෝහල වෙයි. 1905 වර්ෂයේ ආරම්භ කර ඇති ඇස්‌ රෝහල 1950 දක්‌වා කාලය තුළ කොළඹ ජාතික රෝහලට ඇතුළුවන (පුරහල දෙසින්) රෝහල් චතුරස්‍රය ඇරැඹුම ඇති ස්‌ථානයට දකුණු පැත්තේ ඇති පැරැණි ගොඩනැඟිල්ලේ පිහිටා තිබිණි. එදා වික්‌ටෝරියා මෙමෝරියල් අයි හොස්‌පිට්‌ල් නමින් හඳුන්වා ඇත.

1950 වර්ෂයේදී වර්තමානයේ ඇස්‌ රෝහල පිහිටා තිබෙන භූමි පරිශ්‍රයට රැගෙනවිත් ඇති අතර එය මේ වන විට මහල් හතරකින් සමන්විතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ඇස්‌ රෝහල වර්තමානයේ හඳුන්වනු ලබනුයේ කොළඹ ජාතික අක්‍ෂි රෝහල යන නමිනි. මෙම රෝහලේ වත්මන් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය සිසිර ලියනගේ මහතාය. සිය හඬ අවදි කළ ඒ මහතා මෙසේ අදහස්‌ දක්‌වන්නට විය.

ජාතික අක්‍ෂි රෝහල කියන්නේ ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන පෙළේ ඇස්‌ රෝහල කිව්වොත් නිවැරදියි. මෙහි අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් නව දෙනකුද, අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනකුද, අක්‍ෂි වෛද්‍යවරුන් සිය දෙනකුද ඇතුළුව හයසිය දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්‌ඩලයක්‌ සේවය කරනවා. මේ සියලු දෙනා රෝගීන් වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ සිදුකරනවා.

දිනකට මෙම අක්‍ෂි රෝහලේ බාහිර රෝගී අංශයට ඇස්‌ සම්බන්ධ ප්‍රතිකාර ගැනීමට රෝගීන් දහසකට එහා පිරිසක්‌ පැමිණෙනවා. ඒ වගේම දිනකට සායනවලින් ප්‍රතිකාර ගැනීමට පන්සියයකට එහා පිරිසක්‌ එනවා.

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා මෙම රෝහලේ ඇඳන් හාරසිය තිස්‌හතරක්‌ තිබෙනවා. ඉතින් හැමදාම නේවාසික රෝගීන් හාරසියයක්‌ පමණ මෙහි නේවාසිකව හිඳ ප්‍රතිකාර ගන්නවා.

මහල් හතරක වූ ගොඩනැඟිල්ල තුළ තමයි මේ අක්‍ෂි රෝහලේ සෑම කටයුත්තක්‌ම සිදුකරගෙන යන්නේ. ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර අන් දිනවල සායන පැවැත්වෙනවා. මෙහි බාහිර රෝගී අංශය සෑම දිනකම උදේ 7.00 සිට රාත්‍රි 8.00 දක්‌වා පැවැත්වෙනවා. වගේම රෝහලේ හදිසි අනතුරු අංශය දිනපතා පැය විසිහතර පුරාම ක්‍රියාත්මකයි. මේක රජයේ නිවාඩු දිනවලද පවත්වාගෙන යන අංශයක්‌.

මිනිසාගේ ඇස්‌වල පෙනීම අඩුවීම හා අන්ධ භාවය වැළැක්‌වීමට කටයුතු කිරීම ජාතික අක්‍ෂි රෝහලේ අරමුණයි. ඒ නිසා ඔබේ ඇස්‌වල යම්කිසි ගැටලුවක්‌ ඇත්නම් වහාම අපේ ඇස්‌ රෝහලට හෝ දිවයින පුරා ඇති රෝහල්වල තිබෙන ඇස්‌ සායනයන් වෙත යන්න.

විශේෂයෙන්ම ඇසේ සුද, ග්ලූකෝමා, දෘෂ්ටි විතානයේ ඇතිවන ප්‍රශ්න, දෘෂ්ටික ස්‌නායුවේ ඇතිවන ප්‍රශ්න හා ඇසේ ඉදිරිපස ඇතිවන තුවාල සම්බන්ධයෙන් ක්‍ෂණිකව ප්‍රතිකාර කරන්න කටයුතු යොදවනවා.

ඒ වගේම 2013 වර්ෂයේ සිට ඇසේ සුද සම්බන්ධයෙන් කාච බද්ධ කර ගැනීමට රෝහල් ගත වන රෝගීන්ගෙන් ඉතාමත් ආර්ථික අපහසුකම්වලින් හෙබි අයට නොමිලේ කාච බද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුවෙන්නේ. ඒ වගේම මේ සඳහා තවත් කාච ඇස්‌ රෝහලට පරිත්‍යාග කරන්න කැමැති පරිත්‍යාගශීලීන් ඉන්නවානම් අපි ඒවත් භාර ගන්නවා.

මේ අක්‍ෂි රෝහල තුළ ශල්‍යාගාර හයක්‌ තිබෙනවා. එම ශල්‍යාගාර තුළින් වසරකට අක්‍ෂි ශල්‍යකර්ම විසිදහසක්‌ විතර සිදුකරනවා. ඉන් ශල්‍යකර්ම දසදහසක්‌ම සිදුකරනුයේ ඇසේ සුද ඉවත් කිරීමටයි. මෙම ශල්‍යාගාර තුළ සෑම දිනකම ශල්‍යකර්ම සිදුකෙරෙනවා. එම ශල්‍යාගාර තුළ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනා පුදුම කැපවීමකින් රෝගියා වෙනුවෙන් ක්‍රියා කරනවා.

රෝගීන් ලියාපදිංචි කිරීමේ කටයුතු දිනපතා උදේ 6.00 ට ආරම්භ වෙනවා. ඉන් අනතුරුව රෝගීන්ගේ ඇස්‌ පෙනීම පිළිබඳව පරීක්‍ෂණ කරන අතර පසුව අක්‍ෂි වෛද්‍යවරුන් වෙත යොමු කෙරෙනවා.

ඒ වගේම රෝහලට පැමිණෙන රෝගීන්ට හැම විටකම ආදරයෙන් කරුණාවෙන් කතා කරන්න කියලා රෝහලේ හැම සේවකයකුම දැනුවත් කරලයි තිබෙන්නේ. දැන් ඒ කටයුත්තද ඉතා හොඳින් සිදුවෙනවා. රෝගියකු බලාපොරොත්තු වෙන්නෙත් මේ දේ තමයි.

මෙම රෝහල තුළ ලේසර් ප්‍රතිකාර ඒකකය ඇස්‌වල වපර පරීක්‍ෂා කරන ඒකකය පිහිටා තිබෙනවා. ඒ වගේම රෝහලේ 2011 දී ඇස්‌ බැංකුවක්‌ද විවෘත කළා. විශේෂයෙන් ජාතික රෝහලේදී මියයන රෝගියකුගේ ඇස්‌ පැය හයක කාල සීමාවේ ලබා ගැනීමට කටයුතු කරනවා. මියගිය අයගේ ඇස්‌ අපි ලබාගන්නේ එම ඥතීන්ගේ අවසරය මතයි. ඔවුන්ගේ අවසරයක්‌ නැත්නම් එම ඇස්‌ ලබාගන්නේ නැහැ. එම ඇසේ කුනීතයේ කොටස්‌ අරගෙන ආරක්‍ෂා කරගන්න දියරයක දමා එය ඇස්‌ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. ඒවා ජීවත්වෙලා ඉන්න ඇස්‌ පෙනීම දුර්වල අයට බද්ධ කරනවා. දැනට එවැනි කුනීත අටසියයක්‌ පමණ මේ ඇස්‌ බැංකුවේ තැන්පත් කර තිබෙනවා.

ඇස්‌ රෝහල තවත් දියුණුවට පත්කිරීම සඳහා මෙම ඇස්‌ රෝහල් පරිශ්‍රයේ පිටුපස අලුත් ගොඩනැඟිලි සංකීර්ණයක්‌ ඉදිකරන්න කටයුතු කරමින් පවතිනවා.

මම රෝගීන්ගෙන් එක්‌ දෙයක්‌ ඉල්ලා සිටින්න කැමතියි. ඒ තමන්ගේ ඇස්‌වල පෙනීමේ හෝ කුමන ගැටලුවක්‌ ඇත්නම් මේ ඇස්‌ රෝහලටම ආ යුතු නැහැ. ලංකාවේ අනෙක්‌ රජයේ රෝහල්වලද මේ ඇස්‌ සම්බන්ධ සායන පැවැත්වෙනවා. ඉතිං ඒවාටද ඔබට යොමුවන්න පුළුවන්.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, කනිෂ්ඨ කාර්ය සහායකයින් ඇතුළු හැම දෙනාගෙන්ම මට විශාල සහයෝගයක්‌ ලැබෙනවා. ඉතිං ඒ සියලු දෙනාටම මගේ ස්‌තූතිය පිරිනමනවා.

රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ කතාබහින් අනතුරුව අපි අක්‍ෂි රෝහල තුළ මදක්‌ සැරිසැරිවෙමු. එහිදී බාහිර රෝගී අංශයේ සිටි රෝගීහු කීප දෙනෙක්‌ම ගැටලු කීපයක්‌ ගැන අනාවරණය කළහ.

මේ ඇස්‌ රෝහලට ආවම වැඩකරන ඇටෙන්ඩන්ලා අපි ළඟට ඇවිත් අහනවා මොනවද වෙන්න ඕන කියලා. සායනයට ආවේ කිව්වා. ඒ අය අපිව ඒ තැන්වලට කැඳවාගෙන යනවා. පසුව අපෙන් ඒ අය රුපියල් සියයක්‌ එකසිය පනහක්‌ ඉල්ලනවා. රෝද පුටුවේ අරන් ගියාමත් එහෙමයි. අනිත් එක මේ සායනවලට ආවාම රස්‌තියාදු වෙනවා. පුදුම දුකක්‌ එක වෙලාවකට විඳින්නේ යෑයි එම රෝගීහු අපට කීහ.

මෙම චෝදනාවන් ගැන රෝහල් අධ්‍යක්‍ෂවරයාගෙන් අපි යළිත් විමසුවෙමු. ඔහු මෙසේ කීය.

යම් කාර්යයන් කිරීමට මුදල් ගන්න රෝහල් සේවකයින් ඉන්නවානම් මා ළඟට ඇවිත් කියන්න. මීට පෙරත් ඒ වගේ වැරදි කරපු සේවකයින් රෝහල් සේවයෙන් ඉවත් කරලා තිබෙනවා. මෙතනට එන්නේ දුප්පත් අහිංසක රෝගීන්. වැරදි කරන සේවකයින්ට විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවා.

සායනවලට එන රෝගීන්ට අංක ලබාදෙනවා. සායනවලට එන රෝගීන් නිසියාකාරව පරීක්‍ෂාවට ලක්‌කරන කොට චුට්‌ටක්‌ ඉවසන්නත් ඕනෑ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
ඡායා( උපාලි වෛද්‍ය ජීවක
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.