කරන්දෙණියේ වෛද්‍යවරයා ඝාතනය
සාක්‌ෂිකරුවන්ට එල්ලවන තර්ජන ගැන
වහා පරීක්‍ෂණයක්‌ කර වාර්තාවක්‌ දෙන්න


අහුන්ගල්ලේ - කමල් ශ්‍රී ලියනගේ

කරන්දෙණිය බොරකන්ද රෝහලේ වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුවේ පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට සැකකරුවන්ගෙන් තර්ජන එල්ලවීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක්‌ පවත්වා වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස බළපිටිය මහෙස්‌ත්‍රාත් අසංක බෝදරගම මහතා පෙරේදා (19 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ මහේන්ද්‍ර ජිනප්‍රිය මහතා කළ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය. මෙහි සැකකරුවන් වන රසායනාගාර පරීක්‍ෂක කේ. ඩී. චින්තක රුවන් ජයසේන, යුද හමුදා කපිතාන් වයි. එච්. චන්දන වික්‍රමසිංහ, සෙබළ එස්‌. එච්. ජයලත්ද සිල්වා, එස්‌. එම්. ශාන්ත ද සිල්වා සහ විජිත් ආනන්ද ද සොයිසා යන අයව බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධ සියලු විමර්ශන ගොනු නීතිපති උපදෙස්‌ සඳහා යොමු කර ඇති බවත් ඒ පිළිබඳව මෙතෙක්‌ දැනුම් දීමක්‌ ලැබී නැති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සාක්‌කිකරුවන්ට සැකකරුවන්ගෙන් එල්ලවන තර්ජන සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වා වහාම වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් සැකකරුවන් ලබන ඔක්‌තෝබර් 03 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසත් නියෝග කළේය. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්‌ථාවේදී පොලිස්‌ භටයින් 60 දෙනෙකුගේ බලඇණියක්‌ රැකවල් සඳහා යොමු කර තිබූ අතර සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටීමක්‌ සිදු නොවීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.