ශිෂ්‍යාවකගෙන් හසුනක්‌
මොනිකා රුවන් පතිරණ

බුද්ධදාස ගලප්පත්ති

සිල්ප සතර සාගරයේ
තනිවම සරනා සමයේ
ඔබේ පාළු හද කුටියට
මා කැඳවූ අඳුරු සඳුනි

මගෙ හද සෙනෙහස ලබමින්
විඩා තැවුල් දුරු කෙරෙමින්
එම සමුදුර තරණය කොට
මා හැර ගිය ඇදුරු සඳුනි

විසූ එසඳ ඔබේ සෙවණින්
ලද මඳ වූ සිප් සරණින්
ලියා අනෙක කව් නළු ගී
මගෙ දුක මම නිවා ගතිමි

එපුවත යළි සිහිපත් කොට
ඔබට මෙබස පවසන්නෙමි
ඔබෙ හද නොම දිනූ මෙළඳ
ඔබේ සිල්ප දිනුයෙම් වෙමි !

ගජමන් නෝනා කිවිඳියගෙන් පසුව සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රය වර්ණවත් කළ දීප්තිමත් තාරකාව මොනිකා රුවන්පතිරණ කිවිඳිය බවට කිසිදු විවාදයක්‌ වේ යෑයි නොසිතමි. ඇගේ දිදුලන කවිත්වයට නිදසුන් කොට දැක්‌විය හැකි නිර්මාණ රාශියක්‌ රැගත් කාව්‍ය සංග්‍රහ කිහිපයක්‌ම වන බව මගේ හැඟීමයි. අපි දෙන්නා සහ තවත් කීපදෙනෙක්‌ (1971) කාව්‍ය සංග්‍රහය පළකිරීමත් සමඟ සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රයේ නව යුගයක්‌ සේ සැලකෙන 70 දශකයේ කවියේ පුරෝගාමී කිවිඳිය මොනිකායි. ඈ විසින් දායාද කොට ඇති බොහෝ කාව්‍ය නිර්මාණ සංග්‍රහ අතර අංගුලිමාලගේ සිහින (1979) ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය (1975) වැනි කෘති විශේෂිතයි. කෙතරම් විශිෂ්ට කාව්‍ය නිර්මාණ බිහි කළ ද මේ කිවිඳියට උරුමව තිsබූ, හිමිවිය යුතුව තිබූ රාජ්‍ය සම්මානය ඇයට පුදන ලද්දේ ඇගේ කාව්‍ය ජීවිතයේ මෙන්ම සැබෑ ජීවිතයේ ද අගභාගයේ ද වීම එක්‌තරා ආකාරයක දුක්‌බර කතාන්දරයකි.

ගජමන් නෝනා කිවිඳිය සේම, මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ ජීවිතයේ අගභාගය දුක්‌ තැවුලින්, රෝග තැවුලින් පිරුණක්‌ම විය. මෙවර කවිමිහිර සඳහා මගේ තෝරාගැනීම වන්නේ 1972 දී ඈ විසින් ලියා ගොඩගේ ප්‍රකාශනයක්‌ සේ එළිදැක්‌වුණු තහනම් දේශයකින් නම් කාව්‍ය සංග්‍රහයේ එන ශිෂ්‍යාවකගෙන් හසුනක්‌ නම් නිර්මාණයයි. ගුරු ශිෂ්‍ය ප්‍රේමය අසම්මත එකකැයි යන්න සමාජයේ පොදු පිළිගැනීමයි. තමාගෙන් සිප් ලබනා සිසුවියකට පෙම් බැඳි ගුරුවරුන් පිළිබඳ නෙත කතා අපගේ පැරණි සාහිත්‍යයේ නිර්මාණ අතර හමුවන බවයි මගේ මතකය. සද්ධර්මාලංකාරයේ එන ස්‌වර්ණතිලකා වස්‌තුව එවැන්නකි. එම කතා පුවත අපූරු නාට්‍යමය අත්දැකීමක්‌ බවට පත්කොට සිංහල වේදිකා නාට්‍ය ඉතා අපූර්ව රංග කාර්යයක්‌ නිර්මාණය කළෝ මහැදුරු සරච්චන්ද්‍රයෝය. එතුමන් විසින් නිෂ්පාදිත පෙමතො ජායතී සොකො නාට්‍යයෙහි මූලික කාව්‍යමය අත්දැකීම වන්නේ උද්දාල බමුණා සහ කුලහීන යයි සම්මත ස්‌වර්ණතිලකාවන් අතර හටගන්නා වූ ප්‍රේමයත්, අවසන එය දුක්‌ඛාන්තයකින් නිමාවීමත්ය. එහෙත් ඉහත දක්‌වා ඇති පද්‍ය නිර්මාණයේ මූලික අත්දැකීම ගුරු ශිෂ්‍ය ආදරයක්‌ පිළිබඳ වුවද එය පෙමතො නාටකය මෙන් ශෝකාන්තයක්‌ම නොවේ. මේ නිර්මාණයේ ගුරුතුමා සිල්ප සතර සාගරයේ තනිවම සැරූ අවදියේ ඔහුගේ පාලු හද කුටියේ පාලුව මකාගැනීමට ඔහු විසින් මේ සිසුවියට ඇරයුම් කොට සිටී. ඈ සෙනෙහස ලැබීමෙන් ඔහුගේ විඩා තැවුල් දුරු වී සිල්ප සතර සාගරය තරණය කිරීමට ද මේ ඇදුරිඳුට හැකි වේ. එහෙත් සිසුවියට එවන් හපන්කමක්‌ කිරීමට නොහැකිය. ඇදුරිඳු සෙවණේ විසූ මුත්, ඈ සිප් ලද්දේ මඳ වශයෙනි. එහෙත් ඈ සිත ඉන් දුකට පත් නොවේ. නෙත කවි නළු ගී ලියමින් ඈ ඇගේ තැවුල නිවා ගනී. එපුවත සිහිකරමින් ඈ ඔහුට මෙසේ පවසයි. ඔහුqගේ හද දිනන්නට නොහැකිවූ මේ ගැහැනියට ඔහුගේ සිල්ප දිනාගන්නට සමත් වූ බව ඔහුට පවසයි. ඇගේ දුක්‌ තැවුල් නිවාගැනීමට කව්, නළු ගී ලියන්නට ඈ දස්‌කම් දක්‌වන්නී. ඔහුගෙන් ලද සිල්ප නිසා බැව් අපට අඟවන්නීය. මතුපිටින් සරල පෙම් සබඳතාවක්‌ ලෙස දිස්‌වූවත් මේ නිර්මාණය ඔස්‌සේ කිවිඳිය විසින් සුචනය කිරීමට උත්සාහ ගන්නා පෙම් පුවතෙහි අපූර්වත්වයක්‌ අපට පෙනේ.

සාමාන්‍ය මෙවැනි පෙම් පුවතකදී නම්, ගුරුවරයා විසින් ශිෂ්‍යාව අමතක කොට දමා හැර පියා ගියේ නම්, සිදුවන්නේ කුමක්‌ද? ඈ මඳ කලක්‌ එම අතීතය සමඟ හඬා වැළපෙමින් ජීවත්වී සිට කාලයත් සමඟ එය අතීතයට භාරකොට නව ජීවිතයක්‌ ආරම්භ කිරීමයි. එහෙත් මේ කිවිඳිය පෙම් බැඳි ඇදුරු තෙමේ ඔහුගේ පාළුව ඇගේ සෙනෙහසින් මකාගත්තා පමණක්‌ නොව එය ඔහුට සිල්ප සාගරය තරණය කිරීමට අත්වැලක්‌ ද කරගත් සෙයක්‌ පාඨක අපට දැනේ. එහෙත් මේ සිසුවිය ඔහු කෙරෙහි වෛර බඳිනු වෙනුවට ශාප කරනු වෙනුවට ඔහු සෙවණේ සිටියදී සිප් සතර මඳ පමණින් ලැබූමුත්, කව් නළු ගී ලියන්නට ඔහු ඇසුර පිහිට වූවැයි ඉඟි කරයි. ඉන් ඈ ඇගේ හදවතේ සන්තාපය නිවාගන්නීය. සරල ප්‍රේම කතාව, චරිතද්වයක ආදරය පිළිබඳ ප්‍රතිවිරෝධය මතු කොට දැක්‌වීම අරබයා කිවිඳිය තම පරිකල්පන ශක්‌තිය මනාව යොදාගන්නීය. පැරණි හා නවීන භාෂාවේ යෙදුම් හා වදන් මනාව සම්මිශ්‍රණය කොට මවනා චිත්ත රූප ප්‍රබලය.

"විසූ එසඳ ඔබෙ සෙවණින්
ලද මඳ වූ සිප්සරණින්
ලියා අනෙක කව්, නළු ගී
මගෙ දුක මම නිවා ගනිමි...."

මේ නිර්මාණය තුළ හමුවන ඇදුරිඳු මෙන්ම සිසුවිය ද පරාජිතයෝ නොවෙති. ඇගේ සෙනෙහස ලබමින් විඩා තැවුල් දුරු කරගන්නා ඇදුරිඳු සිල්ප සාගරය ජයගෙන ඉන් එතෙර වන්නේ ඔහුට සෙනෙහස ලබාදුන් සිසුවියගේ ප්‍රේමය පිළිබඳ තැකීමකින් තොරවය. සිසුවියගේ සිතුම් පැතුම් ද ඊට නොවෙනස්‌ය. ඇයට ඔහුගේ හද දිනා ගැනීමට නොහැකි වූ මුත්, කව් නළු ගී ලියන්නට ඔහු විසින් ඇයට දුන් සිල්ප ජයගන්නට සමත් වන්නීය. ප්‍රේමය පිළිබඳ අපූර්ව විවරණයක නිsරත වන කිවිඳිය, ගුරු සිසු ආදරය වැනි සමාජය විසින් අනුමත නොකරන්නා වූ අපූරු ආදරයක්‌ දෙස නම්‍ය වූ දෘෂ්ටියකින් බැලීමට සමත් වන්නීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.